පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඉකුත් 18/05/21 සිරස රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශකරන ලදී.
පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇතයි ලොවපුරාම ජනයා කියන්නට ගත්තේ නීතිපතිවරයා එසේ කියන්නට වසර දෙකකට පෙරය. එනම් පාස්කු ප්‍රහාරය එල්ලවූදා සිටය.
මහජනයාට එසේ හැගීගියේ පාස්කු ප්‍රහාරය එල්ලවී විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් Facebook ඇතුළු සමාජ මාධ්‍යයවලට මුදාහැර තිබූ ලිපියක් නිසාය. එකී ලිපියට අනුව ශ්‍රී ලංකා පොලීසියේ ඉහලම නිලධාරීන් පිරිසක් පාස්කු ඉරුදින ලංකාවේ පල්ලිවලට මෙන්ම අගනුවර හෝටල්වලටද ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි කලින් අනතුරු අගවා තිබුනු බව හෙලිවිය. ඔවුන් එය දැනගත්තද ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් නොකලේ ඇයිදැයි මහජනයා ප්‍රශ්න කරන්නට විය.
එකී පෙලගැස්මත් සමග මෙම ප්‍රහාරයේ අරමුණ රට තුල ප්‍රබල ආන්ඩු විරෝධී පෙලගැස්මක් ඇතිකර ඒවන විටත් අප්‍රසාදයට පාත්‍රව පැවැති යහපාලන රජය කෙරෙහි ජනතා අප්‍රසාදය තවතවත් ඉතා තීව්‍ර ලෙස වර්ධනයකර යහපාලන ආන්ඩුව ඉතිහාසයෙන්ම අතුගාදැමිම හෙවත් ප්‍රහාරය පිටුපස බල දේශපාලන පෙළගැස්මක් තිබුණිදැයි යන කසුකුසුවක් පැවතිනි. එවැනි කසුකුසුවකට හේතුවන්නේ අගමැති S.W.R.D. බණ්ඩාරනායක ඝාතනයේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ඇසක් අහිමිවිමේ බෝම්බ පිපිරිම දක්වා නිමක් නැති ඝාතන ලංකා දේශපාලනයේ මැතිවරණ සිතියම සමග ගැට ගැසී ඇති නිසාය.
එකී එලඹගැනීම් තවතවත් තහවුරු කරමින් ප්‍රහාරයෙන් සතියක් යන්නට මත්තෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කලේය. ඒ ඔහුව පොහොට්ටුවේ නිල අපේක්ෂාකයා ලෙස ඉදිරිපත් කිරීමට තියා, අඩුම වශයෙන් ඒ වනවිට පොහොට්ටුව සිය අපේක්ෂකයා තෝරාගැනීම සදහා රටපුරාම පවත්වමින් පැවති සමීක්ෂණයවත් අවසන්වී නොතිබි තත්වයකය. එමෙන්ම ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවයවත් ඉවත්කරගෙන තිබුනේ නැත. එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවී සතියක් යන්නට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනබව ලහි ලහියේ ප්‍රකාශ කිරීම බොරදියේ මාළු බෑමක්ද? නැතිනම් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක කූටාප්‍රප්තියක්දැයි මහජනයා සැකකරන්නට විය.
අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා 'ප්‍රහාරයක් සිදුවෙන බව දැන සිටියත් මෙතරම් විශාල ප්‍රහාරයක් සිදුවේ යැයි' නොසිතූ බව දැක්වීමද, හිටපු ජනාධිපතිවරයාට සහ පොලීසියේ ඉහල නිලධාරින්ට ප්‍රහාරය ගැන අනතුරු ඇගවීම් කලින්ම දැනුම් දුන් බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කිරීමද, පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දෲඩ කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව තවදුරටත් ඉස්මතු කරන්නටවිය.
මෙකී සැකය තව තවත් තහවුරු කරමින් සහරාන්ගේ මුස්ලිම් අන්තවාදි ක්‍රියාකාරකම් ගැන පරීක්ෂණ පවත්වමින්, සහරාන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කරගත් පොලිස් පරීක්ෂක නාලක සිල්වා මහතාව නාමල් කුමාර නම් ආදිසි පුද්ගලයෙක් හෙලිකල ඊනියා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ව්‍යාජ තොරතුරු ඔස්සේ අත්අඩංගුවටගෙන සහරාන් සහ ඔහුගේ පිරිවර අත්අඩංගුවට පත්වීම වැලැක්වීමට කටයුතුකල බව හෙලිවීමද පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව නැවැත නැවැත මතුකරන්නට විය.
ප්‍රහාරයෙන් පසුව සිදුකල විමර්ශනවලදී රටපුරාම ඉස්ලාමීය ත්‍රස්තවාදයක් උඩුදුවා ඇතිබවක්ද, ඔවුන් කඩු, කිනිසිවල සිට මරාගෙන මැරෙන බෝම්බ දක්වා අවිආයුධවලින් සන්නද්ධවී සිට ඇති බවද, ඔවුන්ගෙන් ඇතැමෙක් කලින් පැවැති රාජපක්ෂ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ලබා සිටි පිරිසක් බවද පෙනීයන්නට විය. එමෙන්ම ප්‍රහාරය එල්ලවන විට ජාතික ආරක්ෂාව බිදවැටී, යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සහ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දර මහතාව පවා ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැදවන තත්වයක් උද්ගතවී තිබුනි. එසේවුයේ හිටපු ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධීව පැවති රජය පැවතියෙදිම මහින්ද රාජපක්ෂ මහතා සමග නව රජයක් පිහිටවීමට ගොස් එය අසාර්ථකවූ තත්වයක් තුල ඇතිවූ විරසකය නිසාය. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාවේ හිඩසක් නිර්මාණයවී තිබූ බව සහ ඒ හිඩස ඔස්සේ ආරක්ෂක ජාලයන්ට මුවාවී කිසියම් හෝ ප්‍රහාරයක්, විනාශයක්, කිරිමේ හැකියාව වීවෘතව තිබුනු බව ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ පිලිබද අභ්‍යන්තර තොරතුරු දන්නා අයට රහසක් නොවූ බවද හෙළිවන්නට විය.
ඉන් උපරිම ප්‍රයෝජනය ගෙන ලොව පුරාම මධ්‍යකාලින යුගයේ මෙන් ඉස්ලාමීය ආගමික ක්ලිෆාට් රාජ්‍යයක් (Caliphate) බිහිකිරිම පිළිබද උනන්දුවූ සහරාන්ලා ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකරමින්, සිය දිවි නසා ගනිමින්, ඉස්ලාමීය ආගමික ක්ලිෆාට් රාජ්‍යයක් පිළිබදවු සිතියමට ලංකාවද ඈදීමට කටයුතු කලද, ප්‍රහාරය පිටිපස හෝ ප්‍රහාරය ගැන තොරතුරු කලින්ම හෙළිවී තිබියදීත්, ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකරමින් ප්‍රහාරකයින්ට වක්‍රකාරව හෝ සහය දැක්වූ වෙනත් බලවේග වුයේදැයි යන සැකයද නොබදව ඉතිරිව තිබුණි.
මේ සැකය වඩ වඩාත් මෝදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරය මහා බැංකු වංචාවත් අභිබවමින්, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ගේ සෝසුසුම් ගැන පවා අනුකම්පා විරහිතව, පොහොට්ටුවේ වේදිකාවල සිය දේශපාලනය ව්‍යාපෘතිය සදහා පාස්කු ප්‍රහාරය නිර්ලැජ්ජිතව ප්‍රචාරක වැඩපිළිවෙලක් ලෙස භාවිතා කිරිම තුලය. ''තුවක්කුව බැන්ඳේ කවුද කියා හෙලිවෙනවලු දඩයම කරතියන් යද්දී'' යැයි යන ප්‍රකට කියමන සමාජ සහ දේශපාලන වේදිකාවල සාකච්චාවට ලක්වෙන්නේ එවැනි පසුබිමකය. ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරය ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්දයෙන් පමණක් නොව ඉංදියාවේ මහමැතිවරණයේ ප්‍රතිපල සම්බන්දයෙන්ද අතිශයින් බලපෑම් කළේය. පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්දියාවේ මහාමැතිවරණ සමයේය. එකී මැතිවරණය තුල අගමැති මෝදීගේ භාරතිය ජනතා පක්ෂය මුළුමනින්ම පාහේ ස්ථානගතවී තිබුණේ මුස්ලිම් විරෝධයක් මතය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බව ඉන්දියාව දිගින් දිගටම අනතුරු අගවා තිබිම අගමැති මෝදී යටතේ ඉන්දියාව ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් කෙතරම් ඉදිරියක පසුවන්නේද, ශ්‍රී ලංකාව කෙතරම් පසුබෑමක පසුවන්නේද, යන්න ජනගත කිරිමට මෝදීගේ භාරතිය ජනතා පක්ෂයට හොද අවස්ථාවක් සැලසිණි. ඇතැම් විචාරකයින්ට අනුව ඉන්දියානු දේශපාලනය තුල මුස්ලිම් විරෝධය සහ ජාතික ආරක්ෂාව කේන්ද්‍රීය සාධකයක් බවට පත්වීමට සමාන්තරව එවැනිම මාතෘකාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තුල පොහොට්ටුවේ කේන්ද්‍රීය මාතෘකාව බවට පත්වීම එහි අපේක්ෂකයාවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය දේශපාලන පෙලගැස්ම යම් ආකාරයක් අනුමැතියක් අත්කර දෙන්නක්ද විය.
මේ ආකාරයට ක්‍රමයෙන් මූදුවෙමින් පැවති පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? තවදුරටත් එකී කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මකද? යන සැකය නැවත සාකච්චාවට පත්වෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම සක්‍රියකර එහි සාක්ෂි විභාගයන් නැවත අලුත්වටයකින් ඇරබීමත් සමගය. විවෘත කොමිසමක්ව පැවති එකී කොමිසමේ සාක්ෂි විභාගයේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ජනමධ්‍යට පවා විවෘත නොකර රහසිගතව ලබාගැනිමට කටයුතු කිරීම තුල මහජනයාට හෙළිනොකළ යුතු තොරතුරු සහ සාක්ෂි තිබේදැයි යන සැකයක් මතුවීම තුල පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතිනේද යන සැකය නැවත කරලිය කැදවන ලදී. එම සැකය වඩාත් තහවුරුකලේ කොමිසමේ අවසන් වාර්තාව පවා මහජනයාට විවෘත නොවීම තුලය. කාදිනල්තුමා ඇතුළු ශ්‍රී ලංකා කතෝලික සභාවටද මුළු වර්තාවම ලබාදුන්නේ ඒගැන හඩක් නැගිමකින් අනතුරුවය.
මෙලෙස මුල් බැසගෙන තිබූ පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? යන සැකය තවදුරටත් සැකයක් නොව, පැහැදිලිවම සාක්ෂි සටහන් ඔස්සේ නිගමනයකට පැමිණිය හැකි කාරණයක්ය යන්න විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශය තුල ගම්‍යවේ. ඇතැම්විට විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා එවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉල්ලිම් ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සහ නඩු විභාගවෙතටයෑමට ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය අවශ්‍ය තරම් වේගයකින් කටයුතු නොකිරීම සහ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික බුද්ධි අංශ ඔස්සේ එල්ලවන විවිධ නියාමනයන් නිසා වියහැක. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන්ගේ නම් කොමිසමේ වාර්තාව ඔස්සේ හෙළිවී ඇතිබව පාස්කු ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු විවාදයේදීද කියවිණි. එහෙත් මෙරට අපරාද නඩු 27, 000 ක් අවසන්කළා යැයි කියන විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවී ඇතයි යනුවෙන් කල ප්‍රකාශය කිසිසේත්ම සුළුවෙන් සැලකිය නොහැක්කකි. ඇතැම්විට පාස්කු ප්‍රහාරය ගැන කිසියම් නඩුවක් පැවරුනහොත් මිටත් වඩා තොරතුරු හෙළිවේ යැයි යන සැකයක් නිසා පාස්කු ප්‍රහාරය පිළිබද නඩු නොපවරණ තැනකට කිසියම් පාර්ටශවයක් කටයුතු කරමින් සිටින්නේදැයි යන සැකයක් එතුමාට තිබිමට පුළුවන.
එහෙත් පැහැදිලිවම ශ්‍රී ලංකා කතෝලික සභාව මේ පිලිබදව නිහඩව නොසිටිනු ඇත. දිගින් දිගටම නඩු නොපවරන තත්වයක් මතුවුවහොත් දැනට ඉදිරිපත්වී ඇති සාක්ෂි විමර්ශනය ගැන සටහන් සහ පාස්කු කොමිසමේ වාර්තාවවුවද නැවත සමාලෝචනය කිරීමට, නැවත විමර්ශනය කිරීමට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් වෙතයාමට ශ්‍රී ලංකා කතෝලික සභාවට හැකියාවක් ඇත. වසර තිහකට පෙර උතුරු අයර්ලන්තයේ Hugh Mullan පියතුමා ඇතුළු පිරිසක් ඝාතනය කල 'බැලිමර්ෆි සමුහ ඝාතනය' (Ballymurphy Massacre) ගැන තොරතුරු හෙළිකර ගත්තා වැනි ක්‍රියාමාර්ගයකටවුවද ප්‍රවේශවීමට ශ්‍රී ලංකා කතෝලික සභාවට ඕනෑ තරම් ඉඩප්‍රස්තාව තිබේ. එහෙත් පවත්නා කොරෝනා වසංගත තත්වය සහ නඩු පවරන්නේ යැයි ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ලබාදෙන පොරොන්දුව ඉටුකිරිමට ඔවුන්ටද කාලයක් දියයුතුව ඇත.
කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරයට මාස 25ක් ගතවෙන අදවන දිනයක අප නැවත මතක් කල යුත්තේ පාස්කු ප්‍රහාරය ගැන යුක්තිය ඉටුවීම ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට සහ කිතුනුවන්ට සැනසීමක් අත්කර දෙන්නක් වන අතර පාස්කු ප්‍රහාරය ගැන සෑම සියලු තොරතුරක්ම හෙළිවීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය තවුරුවීමට වඩ වඩාත් හේතුවන බවයි. ඒ සදහා අප සියල්ලන් එකට පෙලගැසෙමු.
මාකස් ප්‍රියන්ත පෙරේරා
21/05/21