Friday, 5 February 2021

බුරුමයේ කරුමය

මේ මස උදාවත්ම සිදුවූ (01/02) හමුදා කුමන්ත්‍රණයකින් බුරුමය හෙවත් මියන්මාරයේ හමුදාව නැවතත් එරට බලය පැහැරගත්තේය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක් ලෙස සලකන අවුන්සන් සූකී නැවතත් නිවාස අඩස්සියට පත්කර තිබේ.

මීට පෙරද, 1988 සිට 2011 මැතිවරණය තෙක්ම, අවුන්සන් සූකී සිටියේ නිවාස අඩස්සියේය. එකල ඇය නිදහස් කරගෙන බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට බුරුමය තුල මෙන්ම ඉන් පිටතද ක්‍රියාත්මකවූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් තිබුණි. අවුන්සන් සුකී සිරකරගෙන බලහත්කාර මිලිටරි පාලනයක් ගෙනගිය බුරුම හමුදා පාලනයට විරුද්ධව බුරුමය තුලත් ඉන් පිටතත් ක්‍රියාත්මකවෙමින් අවුන්සන් සුකී නිදහස් කරගැනීමේ (Free Aung San Suu Kyi Movement) ගාමක බලවේගයවූයේ බුරුම ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය පෙරමුණ (All Burma Students' Democratic Front - ABSDF හෙවත් බුරුම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය ලෙස සැලකු The Fighting Peacock ව්‍යාපාරය ය. එහි ඇතැම් නායකයින් මට ආසියානු ශිෂ්‍ය සංගමයේ (ASA) රැස්වීම් පැවැති බංග්ලාදේශයේදී, හොංකොං හිදී සහ තායිලන්තයේදී  හමුවී තිබේ. බුරුම-තායිලන්ත දේශසීමාවේ පවත්වාගෙන ගිය ඔවුන්ගේ කදවුරක පැවැති වැඩසටහනකටද වරක් මා සහභාගීවූවෙමි. බුරුම ශිෂ්‍ය ව්‍යාපාරයේ නායක සමාජිකයින් සමගවූ කතාබහ මෙන්ම විටෙන්විට බුරුමයේ විවිධ කන්ඩායම් සමග ඇසුරද, බුරුමය සම්බන්ද කියවීම්වලට වඩා බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා මායිම් ගැන යථාභූත අවබෝධයක් ලබාගැනීමට මට මහගු උපකාරයක් විය.

බුරුමයද ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ රටකි. බුරුමයටද ලංකාවේ මෙන්ම බුද්ධාගම පැමිණියේ ඉංදියාවේ අශෝක අධිරාජයාගෙන් බව කියවේ. එහිද ත්‍රිපිටකයක්, බුද්ධාගම, ජාතිය සහ රාජ්‍යය එකිනෙකට සම්බන්ද කරමින් ලියවුනු වංශ කතා සාහිත්‍යයක් සහ රාජ්‍යයේ සහ ජාතියේ පදනම එරට මුල්බැසගත් ථෙරවාදී බුද්ධාගම විසින් ගොඩනැගුවේ යැයි පිලිබිබුවන ඉතිහාසය ගැන දැක්මක්ද බුරුමය තුල තහවුරුව තිබේ.

එහෙත් මෙකී ජාතිය, ආගම සහ රාජ්‍යය පිලිබද බුරුම මතවාදයන් වඩ වඩාත් තීවුරව මතුවීමට ගත්තේ පසුගිය සියවස් දෙකක කාලය තුල මිස ඊට පෙර සිට නොවේ යැයි බුරුම වාර්ගික- ආගමීක-ජාතිකවාදය ගැන කතිකාවලදි නිතර සදහන් කරන්නකි.

ආක්‍රමණික බ්‍රිතාන්‍යය හමුදා මුලු බුරුමයම යටත්කර ගැනීමට පෙර පැවති බුරුමයේ කොන්බග්ගුන් රජ පෙලපතේ (Konbaung dynasty) පාලනය ලංකාවේ අමරපුර නිකාය ආරම්භකල බුරුමයේ අමරපුරෙන් වරම් ලැබුවද බුරුමය තුල ථෙරවාදී බුද්ධාගම මුල්කරගත් බුරුම වාර්ගික-ආගමීක-ජාතිකවාදය හිස ඔසවන්නේ 1824 ඇරබී බුරුමයේ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනය සමය තුලය.

ඇත්තවශයෙන්ම, බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය බුරුම ජාතිකවාදයත්, බුරුමයේ විවිධ ජන වර්ගයන්ගේ අනන්‍යතාවයත්, බුරුම ථෙරවාදී බුද්ධාගමේ ප්‍රබෝධයත් එකවර තුන් ආකාරයකට අවදිකලේය. එහෙත් බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය ලංකාවේ බ්‍රිතාන්‍යය පාලනය තරම්වත් එරට සමාජ, දේශපාලන සහ ආර්ථික විපර්යාසයන් සිදුකල පාලනයක් නොවිනි. ලංකාවේ බ්‍රිතාන්‍යය පාලනය සිදුකල ආර්ථික සමාජ සහ දේශපාලන වෙනස්කම්වල බලපෑම යාපනේ සිට මාතර දක්වා වෙරළ තීරය දක්වාත්, රට අභ්‍යන්තර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් දක්වාත් දිව ගියාක් මෙන් බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය සිදුකල ආර්ථික සමාජ සහ දේශපාලන වෙනස්කම්වල බලපෑම දිවගියේ එරට ඉරවඩි ගං තීරුව දෙපසට පමණක් යැයි කියනු ලැබේ.

1824 ආරම්භවු බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය 1937 දක්වාම බ්‍රිතාන්‍යය ඉංදියානු පාලනයේ කොටසක් ලෙස තිබුනද, බ්‍රිතාන්‍යයන් සුදුකල ආර්ථික, සමාජ දේශපාලන විපර්යාසයන්ගේ බලපෑම එතරම් මුල් බැස නොගත්තද: බුරුම රජ්‍යය සහ ආගමීක සැකැස්මට බ්‍රිතාන්‍යය පාලනයේන් ප්‍රබල බලපෑම් එල්ලවුයේය.

බ්‍රිතාන්‍යයන් බුරුම රජ බලයෙන් පහකල අතර ආගම රාජ්‍යය පාලනයෙන් වෙන්කලේය. ඉන් වඩාත්ම බලපෑම එල්ලවුයේ එරට සංඝ සමාජයටය. බ්‍රිතාන්‍යය පාලනය යටතේ සංඝ සමාජයට රාජ්‍ය අනුග්‍රහය අහිමුවු අතර රජට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් ඔවුන් හෙබවූ සුවිශේෂී සමාජ අස්ථානයද ඔවුන්ට අහිමිව ගියේය. එමෙන්ම එතෙක් බුරුමය තුල වෙනත් ආගම්වලට හිමිනොවු නිදහසක් බ්‍රිතාන්‍යය පාලනය සමයේදී අනෙක් ආගම්වලට හිමිවිය. ඒ අවසරයෙන් ක්‍රිස්තියානි, හින්දු මෙන්ම මුස්ලිම් ආගම්ද , මහායාන බෞද්ධ සම්ප්‍රදායන්ද බුරුමය තුල හිස ඔසවන්නට විය. මේ සියල්ල එරට එතෙක් මුල් බැසගත් බුරුම ථෙරවාදී සංඝ සමාජයේ සංවේගයටත්, ආවේගයටත් හේතුවිය.

ථෙරවාදී භික්ෂූන් නිරාහාරව සත්‍යක්‍රියාවල නිරතවෙමින් මිය‍යන තත්වයටත්, බ්‍රිතාන්‍යය පාලනයට මෙන්ම එරට ක්‍රමයෙන් පැතිරයමින් තිබූ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගම්වලටත් එරෙහිව නැගීසිටීම ක්‍රමයෙන් වාර්තා වෙන්නට විය. 1911 වනවිට ලංකාවේ පානදුරාවාද මෙන් ක්‍රිස්තියානි පාදිලිවරුන් සහ බෞද්ධ භික්ෂූන් අතර විවාදයන් එරටද ඇතිවිය. මෙකී වාද විවාදයන් ක්‍රමයෙන් වචනවලට සීමා නොවුනි. 1920 වන විට පල්ලිවලට ගිනි තියන, ක්‍රිස්තියානීන් ඝාතනය කරන තත්වයක් දක්වා වර්ධනය විය. විශේෂයෙන්ම ප්‍රෙතස්තන්ත්‍ර බැප්ටිස් ක්‍රිස්තියානි ආගම වැලදගත් කැරන් (Karen's) ජනයාට එරෙහිව එල්ලවූ ම්ලේච්ඡ ප්‍රරහාර වැලැක්වීමට බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනයට පවා නොහැකිවිය. එමෙන්ම ක්‍රිස්තියානි මෙන්ම හින්දු ආගම වැලදගත් කචින් (Kachin), චින් (Chin) සහ කයින් (Kayin) ජනයාට මෙන්ම යුරෝපීයානු, ආසියානු මිශ්‍ර ජනකොටස්වලට (Eurasians) වලටද දැඩි ප්‍රහාර එල්ලවන්නට විය.

බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ඇෆ්ගනිස්තානයේ සිට බුරුමය දක්වා දිවගිය ඉංදියානු උප මහද්වීපික පාලනයෙන් බුරුමය ඉවත්කර 1934 සිට එය වෙනම රාජ්‍යයක් ලෙස පාලනය කිරීමට යොමුවීමට බුරුමය තුල ක්‍රමයෙන් උත්සන්නවෙමින් තිබු ඉහතකී නොසන්සුන්තාවයන්ද හේතුවන්නට විය. එමෙන්ම එම යුගයේ හිස ඔසවමින් තිබූ චීන කොමියුනිස්ට් අතපෙවීම් සහ බුරුමයේ සමාජවාදී දේශපාලනය ක්‍රියාකාරකම්ද, බ්‍රිතාන්‍යය රාජ්‍ය අභිලාෂයන්ද එහිලා හේතුවන්නට විය. එහෙත් දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානය බ්‍රිතාන්‍ය -බුරුමය ආක්‍රමනය කල නිසා බුරුමයේ බ්‍රිතාන්‍යය පාලනය වැඩිකල් නොගොස්ම බිදවැටුනේය.

ආක්‍රමණික ජපන් හමුදා බුරුමයේ එවකට අගනුවරවූ රැන්ගුන් නුවර අල්ලාගත්තා පමණක් නොව බ්‍රිතාන්‍යයන් බෙංගාල දේශසීමාව දක්වා පලවාහැරීමටද සමත්විය. දැන් බලය අත්කරගෙන සිටින හමුදා පාලනය විසින් බලයෙන් පහකල අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) සිටියේද මෙකී ආක්‍රමණික ජපන් හමුදාව සමගය. ඔහු පමණක් නොව ආක්‍රමණක ජපන් හමුදාවල සහයට බෞද්ධ භික්ෂූන්ද ඉදිරිපත්ව සිටියේය. ජපන් අක්‍රමනයට පෙර අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) පමනක් නොව බොහෝ භික්ෂූන්ද චීනයේ කොමියුනිස්ට්වාදී පිලිවෙතටද, සමාජවාදයටද නැබුරක් පෙන්වා තිබුනි. ඔවුන්ගේ පොදු හතුරාව සිටියේ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලකයන්ය. චීන හෝ ජපන් සහයෙන් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වීම අධිරාජ්‍යවාදී පාලනයෙන් සහ ඔවුන්ගේ ගැත්තන්ගෙන් නිදහස්වීමක් ලෙස බුරුම නිදහස්කාමීන් සිතුහ. එහෙත් ජපන් ආක්‍රමණිකයන් සමග බ්‍රිතාන්‍යයන්ට එරෙහිව පෙරමුණ ගෙන සිටි අවුන්සන් සුකිගේ පියාවූ අවුන් සන් සහ බුරුම භික්ෂූන්ගේ සහය ලැබු බුරුම සහයක හමුදා අක්‍රමණික ජපනුන්ට සහය දෙන අතරම බුරුමයේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධවද වර්ගවාදී ප්‍රහාරයන් දියත් කිරීමට යෑම ජපනුන්ගේ උදහසට හේතුවිය. ජපනුන් එකී බුරුම කොටස්වලට දැඩි දඩුවම් පැමිණිවීම ආක්‍රමණයක ජපන් හමුදාවට බුරුම සහය අහිමි කලේය.

පසුව අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) ඇතුලු බුරුම සහයක හමුදා ජපනුන්ට විරුද්ධව බ්‍රිතාන්‍යයට සහයදිය. ජපනුන් පරදා බ්‍රිතාන්‍යයන් නැවත බුරුමය අත්කර ගත්තද බ්‍රිතාන්‍යයන් ඉන්දියානු කලාපයෙන් ඉවත්වීමට තීරණය කල බැවින් ඉංදියාවෙන්, බුරුමයේ මෙන්ම ලංකාවේද බ්‍රිතාන්‍යය පාලනය අවසන් කිරීමට පිබුරුපත් සැකසිණි. එහිලා අවුන්සන් සූකීගේ පියාවු අවුන් සන් (Aung San) ගේ ප්‍රධානත්වයෙන් බුරුමයේ නව පාලනයක් ස්ථාපිත කිරිමට කටයුතු පිලියල කෙරුණි. ඒ අනුව ලංකාවේ මහනුවරට පැමිනි අවුන් සන් බෞද්ධයන්ගේ මුදූන් මල්කඩවූ මහනුවර ශ්‍රි දන්ත ධාතූන් වහන්සේ වැදපුදාගෙන බුරුමයට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස හිමි වෙන මහනුවර සම්මුතියටද අත්සන් කලේය.

එහෙත් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වී බුරුමය තුල නව පාලනයක් ස්ථපිත කිරීමට පෙර අවුන් සන් (Aung San) සහ ඔහුගේ කැබිනට් මන්ඩලය ඝාතනය විය. අදටද මේ ඝාතන පසුපස සිටි පුද්ගලයන් සහ බලවේග‍යන් කවුදැයි හදුනාගෙන නොමැත. ඒම ඝාතන පිටුපස අවුන් සන් (Aung San) ගොඩ නැගූ බුරුම නිදහස් හමුදාවේ ඇතැම් නායකයින්ද, එමෙන්ම එකී හමුදාව බ්‍රිතාන්‍යයන් ගොඩ නැගූ බුරුමයේ ජාතික ආරක්ෂක හමුදාවට හා මුහු කිරීමට විරුද්ධවූ බුරුමයේ නිල ජාතික හමුදාවේ නිලධාරින්ද, විරුද්ධ පාර්ශ්වයන්ද සිටින බව කියවේ.

එහෙත් නිදහස ලබන සමයේම සිදුවූ මෙකී ලේවැකි කුමන්ත්‍රණය නිදහසින් පසු බුරුමයේ නොනැවතින ලේවැගිරීම් රැසකට මංපෑදීය. 1948 නිදහස ලබා 1962 දක්වා ක්‍රියාත්මකවූ සිවිල් පාලන සමය තුලද බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල නොහැකි සමයක් විය. අවුන් සන් (Aung San)ගේ ඝාතනයෙන් පසුව එකක් පසුපස එකක් ලෙස වැල නොකැඩී දේශපාලනය ඝාතන සිදුවන්නට විය. එමෙන්ම 1948 බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීමත් සමග එරට ථෙරවාදී බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස නම් කල අතර ථෙරවාදී බෞද්ධාගමේ වර්ධනය, ප්‍රවර්ධනය සහ ථෙරවාදී සංඝ සභාවේ උන්නතිය රාජ්‍යයේ ප්‍රමුඛ කාර්යක් ලෙස ව්‍යාවස්ථානුකුලවම තවුරුවිය. එය එක්තරා ආකාරයකට බුරුම රාජ්‍ය පාලනය සම්බන්දයෙන් එරට ථෙරවාදී බෞද්ධාගමට සහ ථෙරවාදී සංඝ සභාවට හිමිකම් පැවැරීමක් ලෙස විස්තර කරයි. ක්‍රිස්තියානි පොතපත පමනක් නොව ක්‍රිස්තියානි ධර්ම ප්‍රරචාරක කටයුතුද තහනම කරන ලද අතර ක්‍රිස්තියානින්ට රජයේ තනතුරු දැරීම තහනම් කර ඇත. එරට ක්‍රිස්තියානි බහුතර ප්‍රජාවක් වු කැරන් (Karen's) ජනයාට විරුද්ධව වර්ග සංහාරයක යුද්ධයක් ආරම්භ කෙරුනි. පසුව එය සිවිල් ගැටුම් ලෙස කචින් (Kachin), චින් (Chin) සහ කයින් (Kayin) ජනයාට මෙන්ම යුරෝපීයානු, ආසියානු මිශ්‍ර ජනකොටස්වලට (Eurasians) වලට එරෙහිව දියත්වෙන ලදි. ඒ එරට වෙනත් සුලු ජන කන්ඩායම් පෙඩරල් පලනයක් හෝ ස්වයං පාලනයක් ඉල්ලා සටන් කරන අතරය.

ප්‍රජාතන්ත්‍රවාදි පාලනය දුර්වලව, අභ්‍යන්තර වශයෙන් වියවුල්ව, සිවිල් යුද්ධ රාශියකට සහ ආගමීක ඒකාධිකාරයකට හිරව අකර්මණ්‍යව සිටි නිදහස් බුරුමයේ රාජ්‍ය පාලනය 1962 දී එරට හමුදාව අත්කර ගන්නා ලදි. 1962 සිට දැඩි හමුදා පාලනයක් පැවැතියද, බුරුම‍ය ලෝකයේ දිලිදුම රටවලින් එකක් බවට පත්වුවද, මානව හිමිකම් කඩ කරමින් ලොව පුරාම සම්බාදකයන්ට ලක්ව තිබුනද, බුරුමයේ බෞද්ධ භික්ෂූන්ගේ සැලකිය යුතු සහයත්, ජනතාවට වෙනත් විකල්පයක් නොවීමත්, චීනයේ සහයත් තුල 2011 දක්වාම එරට දීර්ඝකාලයක් තිස්සේ හමුදා පාලනයකට නතුව පැවතිනි.

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව යම් හෝ උනන්දුවක් ඇතිවූයේ 1988 අවුන්සන් සූකී නැවත බුරුමයට පැමිණ එරට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ දියත් කිරිමෙන් අනතුරුවය. හමුදාව ටික කලකින්ම ඇයව අත් අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත්කලේය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදවු ඇය දැල්වූ බලාපොරොත්තුව වේගයෙන් වර්ධනයවූ අතර ශිෂ්‍යයගේ, භික්ෂූන්ගේ සහ මහජනයාගේ පිබිදීම් ක්‍රමයෙන් හිස ඔසවන්නට විය. ඊට විරුද්ධව හමුදාව දැඩි මර්දනයක් දියත් කිරීමත් විශේෂයෙන්ම 2007දී එරට භික්ෂූන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා දියත්කල මහජන උද්ඝෝෂණ මාලාවට (Saffron Revolution) එරෙහිව හමුදාව දියත්කල ම්ලේච්ඡ ප්‍රරහාරත් නිසා බුරුමයේ දිගුකලක් බලයේ සිටි මිලිටරි ජුන්ටාව බිදවැටුනි.

2011දී බුරුය ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීරනව මහා මැතිවරණයක් පැවැත්වූ අතර එරට බොහෝ ප්‍රදේශවලින් පත්වූ මහජන නියෝජිතයින්ගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් පිහිටවීමට හැකිවිය. එහෙත් එරට දිගුකලක් පාලන බලය රදවාගෙන සිටි හමුදාව තවත් වසර ගනනාවක් යනතුරුම අවුන්සන් සූකීගේ නායකත්වයෙන් යුතු පාලනයක් බිහිකීරීමට ඉඩ නොදුන්නහ. අවසානයේ මීට වසර 5කට පෙර ඇගේ නායකත්වයෙන් යුතු රජයක් බිහිකලද පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් හතරෙන් එකක් හමුදාව යටතේ තබාගැනීමට හමුදා පාලකයන් කටයුතු කලේය.

ඇත්ත වශයෙන්ම, අවුන්සන් සූකීට ද බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට රැගෙන ඒමට නොහැකිවිය. ඇය එක් පසෙකින් හමුදාවේ බලපෑමටද අනෙක් පසින් වාර්ගික- ආගමීක-ජාතිකවාදයෙන් අවි අමෝරාගෙන සිටින සටන්කාමී භික්ෂූගේද ගිරයට අසුවු පුවකක් මෙන් විය.

විශේෂයෙන්ම එරට සටන්කාමී බෞද්ධ භික්ෂූන්ගේ දායත්වය වඩවඩාත් ඉස්මතුව පෙනුන රෝහින්‍යා අභ්‍යන්තර ගැටුම නිසා බුරුමය යනු එරට බෞද්ධ නොවන කැරන් ක්‍රිස්තියානී මෙන්ම රෝහින්‍යා වැනි ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනයාව වර්ග සංහාරයකට ලක්කරන වර්ගවාදී රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සලකන්නට විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එරටට කටයුතු කිරීමට යෑම තුල භික්ෂූන් ක්‍රියාකාරීත්වයන්ගේ ඉහලයාමත් අවුන්සන් සූකීගේ රජයේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීනවිමත් සිදුවිය. එම තත්වය තුල ජාතියේ, ආගමේ සහ රාජ්‍යයේ ආරක්ෂකයා ලෙස හමුදාව නැවතත් සිය අවකාශයන් පුලුල් කරගැනීමත් දැකිය හැකිවිය. එසේවුවත් පසුගිය වසරේ පැවැති මැතිවරණයෙන්ද අවුන්සන් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජය ලැබීය. එහෙත් දැන් එරට හමුදාව එකී ප්‍රතිපල ප්‍රතික්ෂේපකර නැවත රාජ්‍ය බලය අල්ලාගෙන තිබේ.

බුරුම ජනයාට නැවැතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට සිදුව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමට නොහැකිවීමේ කරුමයට මුහුනදීමට බුරුමයට නැවත වරක් සිදුව ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
06/02/2021

4 comments: