Wednesday, 30 December 2020

ෂෙල්ටන් මුතුනමගේ නියෝජනය කල මීගමුවේ අනන්‍යතාවය කුමක්ද?

මීගමුව නගර මධ්‍යයේ පිහිටි බන්දුල වෙලද සංකිර්ණයට අනුයුක්තව මාළු කඩ බිහිවීමට පෙර මීගමුව නගර මාධ්‍යයේ පැවැති මාලු කඩයවූයේ වර්තමානයේ බාටා ප්‍රදර්ශනාගාරය පැවතින, කලින් නැෂනල් බේකරිය පැවැති, ගොඩනැගිල්ලට යාබදව පැවැති 'කුට්ටි දූවේ සලමන් අයියා'ගේ මාලු කඩය.

මීගමුව ලෙල්ලමේන්ද, වෙරලේ හෝ කලපුවේ හෝ හැමිල්ටන් ඇලේ හෝ නවතා ඇති බොට්ටුවලින් සුලබව මාලූ මිලදී ගතහැකි බැවින් මාලු කඩයක් දැමීමට මීගමුවේ ධිවර ප්‍රජාව අතරින් කවරෙකු හෝ උනන්දුවන්නේ නම් ඔහු සැබවින්ම රැල්ලෙන් පිට පීනන, තරමක් වෙනස් තැනැත්තෙක්වනු නොවනුමානය.

කුට්ටි දූවේ සලමන් අයියාගේ පුත්‍රයාවූ ෂෙල්ටන් මුතුනමගේද තරමක් එවැන්නෙකි. ඔහු පියාගේ මාලූ වෙලද ව්‍යාපාරය පවත්වාගෙන යෑමට හෝ ධිවර කර්මාන්තයේ නිරතවීමට වඩා ප්‍රියකලේ සංගීතයටය.

ඔහුද මීගමුවෙන් බිහිවෙන බොහෝ කලාකරුවන් මෙන්ම සංගීතයට මුල්ගල තබන්නේ පාසැලෙන් සහ පල්ලියෙනි. මුලින්ම මීගමුවේ සා. මරියා පාසැලට ගිය ෂෙල්ටන් මුතුනමගේ පසුව මීගමුව සා. පීතර විදුහල බිහිකලවිට එයට ඇතුල්වූ මීගමුව සා. පීතරයේ ප්‍රාරම්භක සිසු පරපුරේ අසහය සිසුවෙකු විය. ඇත්තවශයෙන්, මීගමුව සා. පීතර විදුහල ආරම්හයේදී කතෝලික සභාවට අයත් පිරිමි පාසැලක් විය. ඒවන විට මීගමුවේ පාසැල් 6ක් හැර අනෙක් සියලුම පාසැල් කතෝලික පල්ලියට අයත්විය. එකී පාසැල්ද ගැහැනු පාසැල් සහ පිරිමි පාසැල් ලෙස වර්ගකර තිබුනි. එහෙත් ඒ වනවිටද මිශ්‍ර පාසැල් බිහිකිරීමට යුරෝපයේ කතෝලික අධ්‍යනවේදීන් කටයුතු කරමින් සිටි අතර ශ්‍රී ලංකා කතෝලික සභාවද ඒ අනුව යමින් මිශ්‍ර පාසැල් ක්‍රමය ප්‍රවර්ධනය කරන්නට කටයුතු කලේය. එහි ප්‍රතිපලයවුයේ එතෙක් පිරිමි පාසැලක් ලෙස පැවැති මීගමුව සා.පීතර විදුහල මිශ්‍ර පාසැලක් බවට පත්වීමය. ඒම නිසාම ෂෙල්ටන් මුතුනමගේට පමනක් නොව ඔහුගේ සහෝදරියටද එම විදුහලේම ඉගැනිමට අවස්ථාව උදාවිය.

පාසැල් සමයේ සිට විවිධ සංගීත සහ ගායනා කටයුතුවලට ෂෙල්ටන් මුතුනමගේ සහභාගීවී සිටියද ඔහු ගායකයෙකු ලෙස ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙන්නේ මීගමුවේ සංගීත කණ්ඩායමක් වූ ෂර්ලි මෙන්ඩිස්ගේ, 1963 පිහිටවූ, “ලොස් මුචාචෝස්” ( පෘතුගීසි සහ ස්පාඤ්ඤ භාෂාවලින් Los muchachos යනු ඉංග්‍රීසි භාෂාවෙන් the boys/mates යන්න) කැලිප්සෝ සංගීත කන්ඩායමට එක්වීමෙනි. කලක් එම සංගීත කන්ඩායම සමග ‘මුළු ගතම වෙහෙසුනා’ ගීතය ගැයු මීගමුවේ ජෝ.බී. පෙරේරා මහතා ඒවන විට “ලොස් මුචාචෝස්” කන්ඩායමෙන් ඉවත්ව 1966 දී 'මී මැස්සෝ සංගීත කන්ඩායම පිහිටුවාගෙන තිබුනි. ඉන් වසර කිහිපයකට පසුව “ලොස් මුචාචෝස්” කණ්ඩායමේ ගායනයට එක්වෙන ෂෙල්ටන් මුතුනමගේ මහතා කලින් ජෝ.බී. පෙරේරා මහතා ගායනා කල ‘මුළු ගතම වෙහෙසුනා’ ගීත ගයමින් ගායන ලොවට පිවිසි බව කියවේ.

තමාගේ ගීතයක් ගායනා කරමින් තවත් කලාකරුවෙක් හිස ඔසවනවාට මීගමුවේ ජෝ.බී.පෙරේරා මහතා කිසිසෙත්ම විරෝධය දැක්වීමක් හෝ බාල්දි පෙරලීමක් සිදුකර නොමැත. ඒ වෙනුවට තව තවත් ගායන ශිල්පීන් හදුන්වා දෙමින්, ඔහුගේ හඩට ගැලපෙන අනෙකුත් ගීතද හදුන්වා දෙමින් ෂෙල්ටන් මුතුනමගේට කලා ලොවේ තව තවත් ඉදිරියට යෑමට උදව් කර තිබේ.

ඇත්ත වශයෙන්ම, ඔය කාලය වනවිට මීගමුව කුරණ ප්‍රදේශයේ සංගීත කන්ඩායම් රාශියක්ද නෙවිල් ප්‍රනාන්දු, ජෝ. බී පෙරේරා ආදී ප්‍රකට ගායකයින් ගනනාවක්ද මුල් බැසගත් ප්‍රදේශයක් විය. ෂෙල්ටන් මුතුනමගේ සහ එකී සංගීත කන්ඩායම් සහ සංගීත ශිල්පීන් අතර වැඩි ගිය බැදීම කෙත්රම්ද වූවේදයත් පසුව ඔහු ස්ථීර පදිංචියට තොරාගන්නේද මීගමුව කුරණය.

කැලිප්සෝ කණ්ඩායම් ගායකයෙකු ලෙස කටයුතු කරමින් සිටි ෂෙල්ටන් මුතුනමගේ මහතාගේ ගායන ජීවිතයේ මීලග වෙනස සිදුකල තැනත්තා වුයේ ප්‍රියා සුරියසේන මහතාය. මිල්ටන්, ප්‍රියා, පුන්සිරි ත්‍රිත්වය 1980 දශකයේ ප්‍රවර්ධනය කල රොමැන්ටික් ගීත ශෛලියට ඔබින ලයාන්විත කඩහඩක් ෂෙල්ටන් මුතුනමගේට ඇතිබව නිතර පසක් කරදුන් ප්‍රියා සුරියසේන ඔහුට ඔවුන්ගේ ආරයේ ගීත ගායනය වඩා උචිතබව ඒත්තු ගන්වන ලදී.

ජෝර්ජ් රොබින්සන් ද සිල්වා රචනාකල 'දීග නොයන් රත්තරනේ', 'මේ දෙව් මැදුරේ පුදසුන අභියස ඉද', 'සමාව ඉල්ලා දෙපා සිබින්නට'... ආදී ප්‍රකට ප්‍රේමාන්විත ගීත ඔහුගේ මුවින් ගැයෙනුයේ එකී පසුබිමකය. එම ගීත එක්තරා ආකාරයකට මිල්ටන්, ප්‍රියා, පුන්සිරි ත්‍රිත්වය ඇරබු රොමැන්ටික් රැල්ලේ දෙවන පරපුරේ නවතම රැල්ල බිහිකලා පමණක් නොව එක්තරා ආකාරයක නව විලාෂයක්ද නිර්මාණය කළේය. ඒ අතරම ෂෙල්ටන් මුතුනමගේ තමන්ගේමවූ අනන්‍යතාවයක් නිර්මාණය කරගත් 'මහසයුරේ ගැබුරු දියේ', 'වාරුනගෙන් සිත', 'අවන්හලක ඉපදී මා මියයනවා නම්', 'මනෝහාරී කථා නැති තියා කුන්කුමන්', ආදී ගීතත් ඒ අතරවිය. එම බොහොමයක් ගීත මීගමුවේ අනන්‍යතාවය, මීගමුවේ හද ගැස්ම, මීගමුවේ ඇති නානාවිධ විවිධ්ත්වන්ගේ මිත්‍රශීලී මිශ්‍රනය කැටිකොට ගත්තක්විය. එහි ලා ඔහුගේ ගීත පබදවු 'ජයන්ත බුවා' ගේ දායකත්වය කිසිසේත්ම අමතක කල නොහැක. ෂෙල්ටන් මුතුනමගේ මහතා ඉදිපත්කරන අදහසක් හෝ ඔහුගේ කටු සටහනක් සිත් කාවදින ජනකාන්ත ගීතයක පදවැල් බවට පත්කිරීමට ජයන්ත බුවා සමත්ව සිටියේය. ඇත්තවශයෙන්ම, අවහන්හලක ඉපදී මා මිය යනවා නම් ගීතය ලියවී ඇත්තේ ජයන්තගේ මාමා කෙනෙක්වූ 'කෙනත්' ගැනය. එම ගීතයේ කියවෙන ''මේ සසරේ පින්කර ඇති එකම 'කෙනා' මන්'' යන්නෙන් ජයන්තගේ 'කෙනත්' මාමාව හැදින්වීමට භාවිතා කල කෙටි යෙදුමක් වූ බව ඔහු දක්වා තිබුණි (සාරවිට. LK 26/06/2018)

කෙනාලා, ජයන්තලා පමණක් නොව ප්‍රියාලා, ජෝතිලාද ෂෙල්ටන් මුතුනමගේ සමග සෙට් වෙන්නට බොහෝ සෙයින් ප්‍රියකර තිබුණි. ජෝති ෂෙල්ටන් මුතුනමව හැදින්වුයේ 'මීගමුවේ මගේ බොක්ක ලෙස' බව සත්සර පත්තරයට 'මීගමු සවාරිය' නම් මීගමුවේ කලාකරුවන් ගැන දිර්ග ලිපි පෙළක් ලියු ආනන්ද පද්මසිරි දක්වා තිබුණි. මීගමුවේ කලා කරුවන් සොයා ආනන්ද පද්මසිරි සමග මීගමුව පුරාම ඇවිදීමට ෂෙල්ටන් මුතුනමගේ මහතා විශාල කාලයක් මිඩංගු කර තිබුණි.

ඇත්තවශයේන්ම, 1980 දශකය අග භාගයවන විට ෂෙල්ටන් මුතුනමගේ යනු ලංකාවේ සංගීත සංදර්ශන වේදිකාවට නැතිව බැරි ගායකයෙක්වී තිබුණි. 1989 J.V.P. කැරලිකාර සමයේදී උඩුබද්දාවේ දීද, L.T.T.E යුද්ධ සමයේදී මුලතිව් හිදීද සංගීත සංදර්ශනවලට නොබියව සභභාගීවී සිය ජීවිතය රැකගෙන ආපසු පැමිණීමට ඔහුට හැකිවිය. ගායකයෙක් ලෙස මෙන්ම අවංක කුළුපග මිතුරෙකු ලෙස සංගීත ශිල්පින් අතර නමක් දිනාගෙන සිටීම නිසාම ෂෙල්ටන් මුතුනමගේ මහතා දක්ෂ සංගීත ප්‍රසංග සංවිධායකයෙක් හා සාර්ථක සම්බන්ධීකාරක වරයෙක් වශයෙන් වසර ගණනාවක් කටයුතු කළේයේ. මීගමුව අවට පලාත්වල නිතර සංවිධානය කරන සංගීත ප්‍රසංගවලට දුර ඈත සිට සභභාගීවෙන ශිල්පීන් සදහා ඔහු සිය නිවසේ නවාතැන් පහසුකම් පවා සලසාදීමට කටයුතුකල සොදුරු මිනිසෙක් විය. 'කානිවල් නම් මීගමුවේ කොටුව පිට්ටනිය තමයි' ලෙස ප්‍රකට මීගමුව කොටුව පිට්ටනියේ අන්තිමට පැවති සැණකෙළියේද සංගීත ශිල්පීන් සහ සංගීත කණ්ඩායම් සම්බන්දී කරණය කලේ ෂෙල්ටන් මුතුනමගේ මහතා සහ රුවන් ශ්‍රී ලාල් දල්පදාදුගේ පියා විසින් බව සැලය.

කෙසේවුද, සිය බිරිද අසනීපවීමත් සමග සියළු කටයුතුවලින් ඉවත්වූ ෂෙල්ටන් මුතුනමගේ මහතා නැවත යම් ආකාරයක ක්‍රියාකාරීත්වයක් දැකිය හැකිවුයේ 2015 මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ ශ්‍රවනාගාරයේ පැවති ෂෙල්ටන් මුතුනමගේ ගේ සංගීත දිවියට වසර 35 පිරීමේ උපහාර උළලේදී සහ 2018 මීගමුව කුරණ පැවති සනිධප ප්‍රසංගයේදීය. ඒ අතරින්-පතර රූපවාහිනී ප්‍රසංග වැඩසටහන් කිහිපයක්ද ඔහු ගී ගායනා කර තිබුණි. එහෙත් සිය අසනීපවූ බිරිද සහ එකම දියණිය දමා සංගීත ප්‍රසංගයකට හෝ ඈතක යාමට ෂෙල්ටන් මතුනමගේ මහතා කිසිවිටක එකග නොවෙන ලදී. ඔහු ඒ තරමට සිය පවුල සහ දරුවා කෙරෙහි ලෙන්ගතු සැමියෙකු සහ පියෙක් විය. එහෙත් සිය බිරිදගේ සෞඛ්‍ය තත්වය යහපත්වෙන විටම ෂෙල්ටන් මුතුනමගේ මහතා දියවැඩියා රෝගයට ගොදුරුවිය. වසර ගන්නනාවක් පැවති මෙම රෝගය ක්‍රමයෙන් උත්සන්නව ඔහුට වසර 73 වෙනවිට ඔහුගේ ජීවිතය උදුරාගත්තේය. ඒ පසු ගිය දෙසැම්බර් 28දාය. ඔහුගේ කුළුපග මිතුරෙක්ව සිටි කලකට පෙර මියගියඇ සංගීත ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා මියගියේ දෙසැම්බර් 29 වෙනිදාවකය.

කලාකරුවන්ගේ පාරාදීසයක් බදුවූ මීගමුවේන් බිහිවූ තවත් ජනකාන්ත කලාකරුවෙකුවූ ෂෙල්ටන් මුතුනමගේ මහතා කලා ලොවින් සමුගන්නේ සිය ජීවිතකාලය පුරාම ජීවත්කරවූ මීගමු සලකුණු ලාංකික හදවත් තුල සනිටුහන් කරමිනි.  

"අවන්හලක ඉපදී මා මිය යනවානම්, මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං" කියලා කිව්වේ මීගමුවේ ඉපදිලා මීගමුවේම මියයනවා කියන එකටද ෂෙල්ටන් අයියේ???
May you Rest In Peace Shelton Aiyya!!! 
Our deepest sympathies!!!
 මෙහි ඇති සුළු කලක විනෝදේ... මතු දෙවියන් යැයි රඟන මෙවේලේ... මළ පසු මට හිමි සොහොන් කොතේ... මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ... මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ..
ඔබට මොක්සුව අත්වේවා !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
30/12/20 


6 comments:

  1. සුන්දර මිනිහෙක් පිලිබඳ සුන්දර මතකයන්.....ස්තුතියි මාකස්.

    ReplyDelete
  2. හොඳ ලිපියක්. මුතුනමගේ කියන නම කලා ලෝකයට හරි යන්න පස්සෙ ගත්තද, නැත්නම් family nameද? (මුල්ම photo එකේ මාර හැන්ඩ්සම්නේ, photos පේලිය ජීවිතයේ වෙනස්වීම ගැන ලොකු කතාවක්)

    ReplyDelete
    Replies
    1. මුතුනමගේ කියන නම තමයි මුල ඉදලාම භාවිතා කරලා තියෙන්නේ. ඔය වාසගම තියෙන මිනිස්සු ඉන්නවා ඒ පැත්තේ. ඇත්ත, Photo ටික නම් එයාගේ මුලු ජිවිත කතාවම කියනවා තමයි.

      Delete
  3. මගේ පියා ගැන මෙවැනි ලිපියක් කලකිරීම පිළිබඳව මාගේ හෘදයාංගම ස්තූතියි ඔබට!(වයංගා මුතුනමගේ)....

    ReplyDelete
  4. ස්තුතියි වය‍ංගා, අපි තවමත් ඔබේ පියාගේ ගීත රසවිඳින, මීගමුවේ කලාකරුවෙක් ලෙස හැමදාම අවධානය යොමුකරන රසිකයින්.ඒ වගේම අපි කාලයක් තිස්සේ ෂෙල්ටන් මුතුනමගේ මහතාව පෞද්ගලිකවත් හදුනනවා. මුතුනමගේ මහතා මගේ පියා සමග එකට පාසැල් ගිය මහවීදිය මීසමේ එකට හැදි වැඩුන බොහෝ සමීප මිතුරන්.

    ReplyDelete