Monday, 21 September 2020

පාස්කු ප්‍රහාරයට මාස17යි, කොමිසම බලධාරීන් නිදහස්කර නිලධාරීන් හිරකරයිද?

අද, 2020සේ සැප්තැම්බර් 21ක්වන දිනය විට පාස්කු ප්‍රාහාරයට මාස 17ක් ගතවී ඇත.  එහෙත් අප කිසිවෙකුගේ හදවත් තුලින් පාස්කු ප්‍රහාරය පිළිබද ඛේදනීය මතකය හෝ ඒ වේදනාබර අත්දැකීම තවමත් වියැකී ගොස් නැත. මීට වසර 2020කට පෙර මරාදැමු ක්‍රිස්තුන්වහන්සේගේ මරණය සහ දුක්ප්‍රාප්තිය සිහිකරන ක්‍රිස්තු අනුගාමිකයින්වන කිතුනුවන්, විවිධාකාර වදහිංසාවන්ට ලක්කරමින් මරාදැමූ ක්‍රිස්තියානි ආගම වැලදගත් ජනයා සාන්තුවරුන් ලෙස සදාසමරන කිතුනුවන්, ඉකුත් වසරේ අප්‍රියල් 21 දින සිය දේවස්ථාන තුල මරාදැමු කිතුනුවන්ව කිසිසේත්ම අමතක කරන්නේ නැත. ඔවුන්ව මෙන්ම ඔවුන් මුහුණදුන් පාස්කු ප්‍රහාරයද කිසිසේත්ම කාලයේ වැලිතලාවට වැළලීයෑමට ඉඩදෙන්නේ නැත. පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනයා ඔවුන්ට 'නම් නොකල' සාන්තුවරුන්ය. ඔවුන් සිය ජීවිත පුජාකළ භූමීන් ශුද්ධවූ භූමීන්ය.

ඒ කිතුනුවන්ගේ පැත්තෙනි.

එහෙත් පාස්කු ප්‍රහාරය ගැන මතකය බොහෝ ශ්‍රී ලාංකිකයින්ට යලි යලිත් අවදිකරනු ලබන්නේ දැන් ක්‍රියාත්මකවන පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු නිසාය. ඇත්තවශයෙන්ම, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිහිටවූ පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම කලින් පැවැත්වූ සියළු විමර්ශනයනයන්ට වඩා පුළුල් සහ ගැබුරට විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනබවක් පෙනේ. ඒ ඊට කලින් පැවති කොමිසන් සහ විමර්ශන ඔස්සේ හෙලිනොවූ කරුණු රාශියක් හෙළිවීම නිසාය. 

විශේෂයෙන්ම, රාජ්‍ය බුද්ධිඅංශ ප්‍රධානීන් සහ අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් අතර පැවති ආකාර්යක්ෂම සහ වගකීම්විරහිත ක්‍රියාකලාපය කෙතරම් ජනජීවිත ප්‍රමාණයක් අනතුරේ හෙලාඇද්ද යන්න කොමිසමේ සාක්ෂි වලින් මොනවට පැහැදිලිවේ. එහෙත් සිසිර මෙන්ඩිස් මහතාවත් නිලන්ත ජයවර්ධන මහතාවත්, හේමසිරි ප්‍රනාන්දු මහතාවත් වෙනත් රාජ්‍ය ආරක්ෂක ප්‍රධානියෙක්වත් ඒගැන කණගාටුවෙන බවක් හෝ සාතීශීය වශයෙන් මනස්ථාපනය වනවගක් ඔවුන්ගේ සාක්ෂිවලින් නොපෙනේ. ඔවුන් එක්තරා ආකාරයකට සිදුකරමින් සිටින්නේ හිටපු ජනාධිපති සිරිසේන මහතා සිදුකලා මෙන් ''මන් මොකටද සමාව ඉල්ලන්නේ මම දැන ගෙන සිටියේ නැහැ නේ..'' බදු ක්‍රියා මාර්ගයකි. වෙනස ඇත්තේ ''ඔව් අපිට දැන ගැනීමට ලැබුනා, මම ඒක අරයට පැවරුවා එත් එයා ඒක කලේ නෑ'' වැනි ක්‍රියාමාර්ගයක් ඉහත නිලධාරීන් අනුගමනය කිරීමය. ඔවුන් සිදුකරමින් සිටින්නේ එකිනෙකාට බෝලේ පාස්කිරීමය. එසේ කරමින්  සිය වගකීම්වලින් නිදහස්වීමට උත්සහ කිරීමය.

ඔවුන් සිය වගකීමෙන් නිදහස්වීමට  එකිනෙකාට ඇගිලි දික්කර ගන්නවා මිස අපේ ජනයාගේ ජීවත්වලට සිදුවූ හානිය ගැන, විපතට පත් ජනයා ගැන, වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. 

අපේ ජනයාට සිදුවූ විනාශය ගැන වගකීම් බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැද්ද?

තොරතුරු දැන දැනත් ඔවුන් ඒ ජනයා විනාශ මුඛයට යාමට ඉඩදී බලාසිටියේ ඇයි? 

සියල්ල මරාගෙන මැරුණු බෝම්බකරුවන්ට සහ සහරාන්ට බාර කරමින් ඔවුන් හදන්නේ අත හොදාගැනීමටද?  

අපිට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරයට තමා සම්බන්ද නැතයි යනුවෙන් දක්වමින් සිය දෑත සෝදාගත් පමණින් 'පිලාත්' වුවද නොදොස්වන්නේ නැත. ඒ අනුව එක් එක් නිලධාරීන් සිය වගකීම තව කෙනකුට පැවරීමෙන් සමස්ත වගකීමෙන් ඔවුන්ටද නිදහස් වියනොහැක. ඉන් මිදිය නොහැක. සියළු තොරතුරු දැන දැනත් මේ අපරාධය වැලක්වීමට කිසිවක් නොකිරීම ගැන ඔවුන්ට පැහැදිලිවම දඩුවම් හිමිවිය යුතුය. 

මේ අතර හිටපු ආරක්ෂක ඇමති මෙන්ම හිටපු ජනාධිපති සිරිසේන මහතාද හීන් සීරුවෙන් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස්වන බවක් පෙනේ. එයට හේතුවන්නේ කොමිසමේ  සාක්ෂි අනුව ඔහු කිසිවක් දැන නොසිටි බවක් පෙන්වාදීමට උත්සහයක් ක්‍රමයෙන් දියත්වෙමින් තිබීමය. 

ඔහු දැන සිටියද? නොසිටියද? රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළුවේ ඔහුය. ඔහු සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ බල අරගලය  රටේ ආරක්ෂාව අනතුරේ හෙලුවා පමණක් නොව ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාවද, අගමැතිවරයාවද, පොලිස්පතිවරයාද  ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට පවා ගෙන්වා නොගත්තේය. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සිදුවනවිට රටේ නොසිටි ජනාධිපතිවරයා වෙනුවට ආණ්ඩුවේ ඊලග ප්‍රධානියාවූ අගමැතිවරයාගේ රැස්වීමකටවත් නොයන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන තරමට නහීන තත්වයකට ජනාධිපතිවරයා පත්ව සිටියේය. ඔවුන්ගේ බල පොරයට බිලිවුයේ අපේ අහිංසක ජනයාය.

රනිල්ගේ බලලෝහී තක්කඩි දේශපාලනයට ජනතාව නිසි පිළිතුරක් දී ඇතත් හිටපු ජනාධිපති සිරිසේන සුපුරුදු නූල් සුස්තරයෙන්ම ඇග බේරාගැනීමට ගන්නා නිවට උත්සහය පරාජය කල යුතුය. ජනතාව අනතුරේ හෙලු  පාලකයන්ට, බලධාරීන්ට, නිලධාරීන්ට පැහැදිලිවම නීතියානුකුලව දඩුවම් හිමිවිය යුතුය. එසේ නොවේ නම් නැවත නැවත ලාංකීක සමාජය අනතුරේ හෙලීම වැළක්විය නොහැකිවෙනු ඇත. 

සිය වගකීම නිසි පරිදි ඉටුනොකරමින් කටයුතු කල සියල්ලන්ගේම නිරුවත පැහැදිලිවම හෙළිවිය යුතුව ඇත. සිය පියාගෙන් හෝ ලැබූ තොරතුරක් ගැන කිසිවක් නොකල හරීන් ප්‍රනාන්දු සිය වගකීම හරි හැටි ඉටුනොකරමින් සිය වගකීම් විරහිත ක්‍රියා කලාපය වසාගැනීමට කාදිනල් මැල්කම් රංජිත්ට ඇගිල්ල දික්කිරීමට ගත් උත්සහය පරාජය කිරීමට ලැබීම පසුගිය සතියේ කොමිසමේ ක්‍රියාකාරීත්ව තුල ලංකික කිතුනුවන් ලද ජයග්‍රහණයකි. 

හරීන් ප්‍රනාන්දු වගකීමක් ඇති මහජන නියෝජිතයෙක් නම් සිය පියාගෙන් ලද තොරතුර හමුවේ ඔහු එක්කෝ ඒ පිලිබදව අදාල අංශවලින් විමසීමක් කල යුතුව තිබුණි. නැතහොත් සිය පක්ෂ නායකයා දැනුවත්කර ඒ පිළිබවද කටයුතු කල යුතුව තිබුණි. නැතිනම් කාදිනල්වරයාට දුරකථන ඇමතුමක් ඔස්සේ හෝ දැනුවත් කල යුතුව තිබුණි. නැතහොත් තමා ඉගෙනගත් සා. ජෝසප් විදුහලේ විදුහල්පති පියතුමාවත් දැනුවත් කල යුතුව තිබුණි. එහෙත් ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකර වගකීම් විරහිතව කටයුතු කල කතෝලික මහජන නියෝජිතයෙක්වූ හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරයෙන් පසුව සිය පියාද ප්‍රහාරය ගැන දැනසිටි බව කිව්වේය. 

දැන දැනත් තමා කිසිවක් කිරීමට ඉදරිපත් නොවීම ගැන, කිසිවක් නොකිරීම ගැන ඔහු කනගාටුවන බවක්ද නොපෙන්වීය. පසුව සිය 'කයිචාන්ඩු' භාෂා විලාශයෙන් නිවේදන නිකුත්කරමින් කාදිනල්වරයා ප්‍රමුඛ කතෝලික සභාවට චෝදනා එල්ල කිරීමට පැමිණියහ. එසේවුයේ ''ඇමති පුතා බේරුනා අපේ දරුවෝ මිය ගියායැයි'' කදිනල්වරයා කර තිබු ප්‍රකාශය නිසාය. කොමිසම හමුවේ දිගහැරී ඇති කරුණු අනුව කාදිනල්වරයා කර ඇති ප්‍රකාශය පැහැදිලිවම සත්‍ය ලෙස පෙනීයනුවේ හරීන් ප්‍රනාන්දුගේ අගනුවර ප්‍රකට කතෝලික විදුහලක ඉගෙනුම ලබන ඥාති පුත්‍රයෙකු පවා එදින පැසිපන්දු පුහුණුවකට සහ පසුව යෙදීමට නියමිතව තිබු කොච්චිකඩේ සා.අන්තෝනි පල්ලියේ  යැදුමකට සහභාගීවී නොසිටීමය. සිදුව ඇත්තේ අනතුර ගැන තොරතුරු ලැබුන නිසා හරීන්ලා  සිය දරුවන් බේරාගැනීමට කටයුතු කලද සෙසු ජනයා බේරාගැනීමට කටයුතු නොකිරීමය. එය මහජන නියෝජිතයෙකු වශයෙන් ඔහුට පැවරුන වගකීමෙන් කරඇරීමක්ය. ඔහු කර ඇත්තේද සෙසු ජනයා අනතුරට ලක්වනතුරු කිසිවක් ගැන කිසිවක් නොකරමින් බලාසිටීමය. ඔහු එසේ කලේ සිය පක්ෂය තුල රනිල්ට කෙලවා සජිත්ව බලයට ගෙන ඒමට දැයි අපි නොදනිමු. එහෙත් ඔහු දැන දැනම කදිනල්වරයාගේ නම විනාශ කිරීමට නම් කටයුතු කළේය. 

ඒ කාදිනල්වරයා පාස්කු ඉරුදින පුජාව පැවැත්වුයේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කිරීමෙනි. කාදිනල්වරයා පුජාව තියන්නේ පාස්කු ඉරිදා උදෑසන නොව ඊට පෙරදා එනම් ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බව ඔහු නොදැන සිටින්නේ කෙසේද? පාස්කු දා පමණක් නොව නත්තල් දා වුවද කාදිනල් පුජාව තියන්නේ නැති බවත් ඔහු පුජාව තියන්නේ ඊට පෙරදින, දෙසැම්බර් 24, මධ්‍යම රාත්‍රීයේ බවත් හරීන් කවදාවත් දැන සිටියේ නැද්ද? ඔහු නම් පුදුම කතෝලිකයෙකි. තමන් ලද තොරතුර ගැන කිසිවක් නොකරමින් සිය වගකීම පැහැර හැරීම සම්බන්දයෙන් මහජන නියෝජිතයෙක් වශයෙන්, විශේෂයෙන්ම කතෝලික මහජන නියෝජිතයෙක් වශයෙන්, හරීන් ප්‍රනාන්දු මනස්ථාපානය වන්නේ කවදාද?

ඒ සියල්ල එසේ වනවිට, පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම ගැනද, එය ගමන් කරන දිසාව ගැනද, වචනයක් සදහන් කළයුතුවම ඇත. 

මට පෙනී යන ලෙස කොමිසම නිලධරීන් වගකීම් පැහැර හැරීම ගැන සිය අවධානය සම්පුර්ණ ලෙසම යොමු කරනවා මිස සහරාන්ගේ ඉස්ලාමීය අන්තවාදීන් සන්නද්ධවුයේ කෙසේද? ඔවුන් පුපුරණ ද්‍රව්‍ය රැස්කර ගත්තේ කෙසේද? ඔවුන්ගේ ඉලක්කය සකස් කලේ, නැතහොත් පාස්කු ඉරිදා දිනයේදී ප්‍රහාරය එල්ලකිරීමට කටයුතු කලේ ඇයි? සහ, ඒ සදහා උපදෙස් දුන්නේ කවුද? යන්න ගැන ප්‍රමාණවත් විමර්ශනයක් සිදුකරන බවක් නොපෙනේ. එමෙන්ම දැන් හෙළිවී ඇති කරුණු අනුව මීගමුව කටුවපිටියේ බෝම්බකරුගේ බිරිදවූ 'පුලස්ති' ඉන්දියාවට පලාගියේ කෙසේද? විමර්ශන කටයුතු සදහා ඇයව ලංකාවට භාරදෙන මෙන් ඉල්ලා සිටීනවාද? ආදිය ගැන හෝ ඒ සම්බන්දයෙන් හෙළිවී ඇති කරුණු පිලිබදව විමර්ශනය කිරීමට කොමිසම අවධානය යොමුකරන බවක් නොපෙනේ.

එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවූයේ ඉන්දීය මහා මැතිවරණ සමයේය. ප්‍රධාන අපේක්ෂකයාවූ අගමැති මෝදී දැඩි මුස්ලිම් විරෝධී මැතිවරණ ප්‍රචාරයක නිරතවෙමින් සිටියදීය. ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන වැඩියෙන්ම අනතුරු ඇගේව්වේද ඉන්දියාවය. මෙහි ඇති සහසම්බන්දතා ගැන කොමිසම අවධානය යොමුකරන්නේ නැද්ද? 

ඒගැන කොමිසමේ අවධානය යොමුකිරීමට කාදිනල්තුමා ප්‍රමුඛ  ශ්‍රී ලංකා කතෝලික පල්ලිය කටයුතු කරන්නේ නැද්ද? පාලකයින්, බලධාරීන් නිදහස්වී නිලධාරීන් පමණක් වරදකරුවන්කර කොමිසමට සිය විමර්ශන කටයුතු බාගෙට අවසන් කිරීමට ඉඩ දී බලාසිටිමුද? එය අප කිසිවෙකුගේ බලාපොරොත්තුව නොවේ. පාස්කු ප්‍රහාරය පිටුපසින් ඇති සියළු අංශයන් ගැන පුර්ණ ලෙසම තොරතුරු හෙලිකරගැනීමට කටයුතු කලයුතුමය. එසේ නොමැතිව සැකසෙන ආරක්ෂාවක් වත්, ජාතික ආරක්ෂාවත් නැත. 

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ ජනයා වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් දිගින් දිගටම හඩනගමු !!! ඔවුන් වෙනුවෙන් අඛණ්ඩව නැගී සිටිමු!!!


මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/09/20.

No comments:

Post a Comment