Wednesday, 4 September 2019

මහාචාර්ය කාලෝ පොන්සේකා - ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ප්‍රතික්ෂේපවූ ඉහලම ප්‍රගතිශීලියෙක්

අසූ හය වසරක් (86) ආයු වළදා මහාචාර්ය කාලෝ පොන්සේකා මියගොස් තිබේ. වෛද්‍යවරයෙක්, මහාචාර්යවරයෙක්, ගුරුවරයෙක්, හේතුවාදියෙක්, සම සමාජකාරයෙක්, ජන අරගලවල ඉදිරියෙන් සිටියෙක් සහ සාහිත්‍යකරුවෙක් ලෙසද, විජය කුමාරතුංගගේ මෙන්ම රන්ජන් රාමනායකගේද මාමා කෙනෙක් සහ සීයා කෙනෙක් ලෙසද ප්‍රසිද්ධව සිටි කාලෝ පොන්සේකා මහතා,  බොහෝදුරට ලංකාවේ අඩුවෙන්ම ප්‍රතික්ෂේපවූ ඉහලම ප්‍රගතිශීලීන්ගෙන් කෙනෙකු ලෙස හදුන්වාදිය හැකි බව මගේ අදහසය. 

විශේෂයෙන් ලංකාව තුල මුල්බැසගෙන ඇති දේවවාදී මෙන්ම අදේවවාදී  සම්මතයන්ටද, පදනම් විරහිත විකාර සම්ප්‍රදායන්ට, ඊනියා පසුගාමී සංස්කෘතික නැබුරුවන්ටද, ගිනි පෑගීම, නිවන, නැවත ඉපදීම, පුනරුප්පත්තිය ආදී රට තුල මුලබැසගත් අදහස් සම්බන්දයෙන්ද, මිත්‍යාවටද විරුද්ධව ප්‍රසිද්ධියේ  අභියෝග කල, සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ජාතීන් අතර සමානාත්මතාවය සහ සම අයිතිවාසිකම් මුල්කරගත් රාජ්‍ය බලය බෙදාහැරීමේ පදනම සහිත රාජ්‍යයක් ගොඩනැගීමේ අදහස් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි, බටහිර-ක්‍රිස්තියානි සංස්කෘතික පදනමක් සහිතව ගොඩනැගුනු, වාමවාදී කාලෝ පොන්සේකා වැනි ප්‍රගතිශිලීන්ට වර්තමාන ලංකාව තුල සාමාන්‍යයෙන් උරුමවන්නේ ගැරහුම, නින්දාව සහ ප්‍රතික්ෂේප කිරීමය. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ-දේශීය-ජාතික ආදී බලවේග එකට එක් තැන්ව එක පෙරමුණකට එක්ව රෝදබැදගෙන ඇති තත්වයක් තුල පවා කාලෝ පොන්සේකාව සතුරෙක් ලෙස සලකා ප්‍රතික්ෂේපකලේ නැති තරම්ය. හතුරෙක් නොවී නමුත් ප්‍රතිපක්ෂ කදවුරක කෙනෙක් ලෙස ඔහු යහතින් වැජබුණි. මින් අදහස් වන්නේ ඔහු විවේචනයට හෝ ගර්භවයට පත්නොවූබව නොවේ. විශේෂයෙන්ම හින්දු-බමුණු පදනමක් සහිත ඉන්දියානු උප මහාද්වීපයේන් බොහෝදේ උරුමකරගත් සංස්කෘතික, එකී සමාජ, සංස්කෘතික සහ සම්ප්‍රදායන් මුල්බැසගත් ශ්‍රී ලංකාව තුල කාලෝ පොන්සේකා එල්ලකල අභියෝග, විවේචන, උපහාසයන් කිසිසේත්ම ප්‍රතිපක්ෂ කදවුරුවල නිර්ධය ප්‍රතිප්‍රහාරයන්ට ලක් නොවන ඒවා නොවිණි.

එක් උදාහරණයක් ලෙස හින්දු සම්ප්‍රදායක්වන කතරගම ගිනිපෑගීම ආදියට ඔහු අභියෝගකලවිට දේවවාදී සම්ප්‍රදායන්  ප්‍රතික්ෂේප කරන බෞද්ධ සමාජයෙන් මෙන්ම බෞද්ධ භික්ෂූන් කෙරෙන් සිදුවිය යුතුව තිබුනේ කාලෝ ආදීන් වඩ වඩාත් ඔසවා තැබීමය. එහෙත් සිදුවුයේ පත්තරවල පිටු ගණන් කාලෝව විවේචනය කිරීමය. කාලෝ ඒ විවේචන හමුවේ අඩියක් හෝ පස්සට ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු වඩ වඩාත් දරුණු සහ උපහාසාත්ම ප්‍රහාර එල්ල කළේය. වරක් ඔහු දක්වා තිබුනේ තමා ''තරුණ කාලයේදී කතරගම ගොස් ඌරුමස් කා අරක්කු බිවූ නමුත් කතරගම දෙවියන්ට ඔහුට කිසිවක්  කිරීමට අද තව වෙනතුරු නොහැකිවූ බවයි''. මීට සමාන ප්‍රකාශයක් W.D. ජයසිරි  අනුරාධපුරයේ 'ජයසිරි මහ බෝධිය' සම්බන්දයෙන්ද මෑතකදී සිදුකල බව අපට මතකය. එහිදී ඔහුට එල්ලවුණු විවේචන, නින්දා-අපහාසවලට නොඅඩු ප්‍රමාණයක් කාලෝ පොන්සේකාගේ කතරගම අරක්කු බී ගැන කියවුණු ප්‍රකාශය සම්බන්දයෙන්ද එල්ලවිය. එහෙත් ඒ කිසිවකින් කාලෝව නතරකිරීමට හෝ කාලෝ  යන නාමය කෙසේවත් යටගැසීමට ඔවුනට නොහැකිවිය. සිදුවුයේ ''දෙවියෝ සහ භූතයෝ'', ''මා කල ගවේශන'' ආදී පොත් ලියූ ඒබ්‍රහම් ටී කොවුර්ටත් වඩා හේතුවාදියෙක් ලෙස කාලෝ පොන්සේකා ලාංකික සමාජතුල මුල් බැසගැනීමය. 

හේතුවාදියෙක් ලෙස ප්‍රකටවුවද, කාලෝ උපතින්ම කතෝලිකයෙක් විය. මීගමුව මාරිස්ටෙලා සහ කොළබ 10 සා. ජෝශප් යන ප්‍රකට කතෝලික විදුහල්වලින් අධ්‍යාපනය ලැබුවෙක් විය. ඔහු පල්ලියෙන් ඈත්වන්නේ උසස්පෙළ අවධියේදීම ලංකා සමසමාජ පක්ෂයේ ඔස්සේ මාක්ස්වාදය-ට්‍රෝට්ස්කිවාදය පෙරටුකරගත් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනයට ප්‍රවිෂ්ටවීමත්,  වෛද්‍යවරක්වීමට  වෛද්‍ය පීඨයට ඇතුල්විමෙනුත් අනතුරුවය. එහෙත් ජේසු ක්‍රිස්තුස් වහන්සේ යනු සිය ජීවිතයේ හමුවූ මුල්ම විප්ලවිය චරිතය යැයි ඔහු  විජේ කුමාරතුංග රගපෑ ''ක්‍රිස්තු චරිතය'' චිත්‍රපටිය ගැන අදහස් දක්වමින් පවසන ලදී. සිය ලෝක දැක්ම සකස්කර ගැනීම සම්බන්දයෙන් ක්‍රිස්තියානි ආගම ඉවහල්වුයේ කොයි ආකාරයටද යන්න ඉන් ඉගිකරන බවක් පෙනීයැයි.  

පසුකාලීනව ඔහු  මහාචාර්ය වයි. කරුණාදාසගෙන් බෞද්ධාගම ඉගෙනගත්තද ඔහු බුද්ධාගමේ බොහෝ සංකල්ප ගැන දරණ ලද්දේ ද විවේචනාත්මක ආකල්පයකි. නිවන, කර්මය, නැවත ඉපදීම ආදිය ගැන ඔහු දැරූ මතයන් ඊට උදාහරණය. එහෙත් බුදුන් දේශනා කළ සද්ධර්මය සහ පුද්ගල අධ්‍යාත්මික විමුක්තිය ගැන මෙන්ම සමාජ විශෝධනය ගැන අදහස් ද ඔහු ඉතා ඉහලින් අගය කරන ලදි. 

එක් අතකින් ඔහු නියෝජනය කල  වාමවාදී සහ හේතුවාදී ස්ථාවරයන් ඔහු බෞද්ධයෙක් හෝ ක්‍රිස්තියානිකාරයෙකු ලෙස ආගමික අනන්‍යතාවයක් සහිත පුද්ගලයෙක් නොව අනාගමිකයෙක්ය යන ප්‍රතිරූපයක් ගොඩනගන ලදී. අනෙක් අතින් ලංකාවේ මුල්බැසගත් සම්ප්‍රදායක සමාජ සම්මතයන්, ආගමික වත්පිළිවෙත්, භක්ති අභ්‍යාස සහ මිත්‍යා විශ්වාස ගැන ඔහු දැරූ විවේචනාත්මක ප්‍රවේශයන් නිසාම ඔහුට කිසියම්ම හෝ ආගමික අනන්‍යතාවයන් සහිත ආයතන සමග හෝ සමීපව කටයුතු කිරීමට ඉඩක් නොවිණි. එම නිසාම ඔහු හැදීවැඩුන, ඔහුගේ ළමා කාලය පෝෂණයකල කතෝලික පල්ලියට, එහි ආයතනවලට, ඔහු  උගත්  මීගමුව මාරිස්ටෙලා විදුහලට හෝ කොළබ 10 සා. ජෝශප් කතෝලික විදුහල්වලට ඔවුන් බිහිකළ විශිෂ්ඨ ශිෂ්‍යයෙක් ලෙස සිය විදුහල්වල කටයුතුවලට යොදාගැනීමට සහ ඔහුගේ සාර්ථකත්වයෙන් පෙරලා ආලෝකයක් ලැබීමටවුවද නොහැකිවිය. අඩුම වශයෙන් එකී පාසැල්වල තෑගී බෙදා දීමේ උත්සවයකට හෝ ඔහු සහභාගීවූ බවක් මම අසා නැත. එහෙත් ඔහු තමන්ගේ එකී පසුබිම අමතක කල, ඉන් සම්පුර්නයෙන්ම මිදීගිය, එකී පසුබිම ප්‍රතික්ෂේපකල තැනැත්තෙක්ද නොවීය. සිය සංස්කෘතික පදනම් සකස්වීම සම්බන්දයෙන්  කතෝලික පල්ලිය ප්‍රවර්ධනය කල බටහිර සංස්කෘතියේ බලපෑම ඔහු ලියු ගී සිංදුවල මෙන්ම රච්නාවලද නිරතුරුව ප්‍රදර්ශනය විය. ඔහුගේ බොහෝ ගී සිංදුවල තාලයන් බටහිර පියානෝ වාදනයන් සහ පල්ලියේ කන්තාරු ගායනා මත සකස්වූ ඒවා විය. විජය කුමාරතුංගගේ අවමගුල් උත්සවයේදී ''කාලෝ පොන්සේකා ජුලියස් සීසර් නාට්‍ය රඟ පපා, මාක් ඇන්ටනී වාගේ කතා කළා. වර්තමාන බෲටස් පිස්සෙක්ය කියන්නට ඔහු උත්සාහ කළා'' යැයි සිරිල් බී පෙරේරා ලියු 'විජයගේ කැරිස්මාවේ බීජය කොතනද?' නම් ලිපියේ (චිචිත්‍ර රේඛා 1988.06.25 කලාපය) දැක්වේ. කාලෝ පොන්සේකාට සිය ජීවිතය තුලවූ විශාලතම ඛේදවාචකය විජයගේ මරණය බව ඔහු අවස්ථා කිහිපයකම දක්වා තිබුණි. විජය වැනි මානව දයාවෙන් පිරි උතුම් මිනිසෙකු අහිමිවීම පමණක් නොව ලංකාවේ වාමාංශික පක්ෂ එකතුකල හැකි පුද්ගලයෙකු අහිමිවීමේ අඩුවද ඔහුට තදින් දැනෙන ලදී. විජයගේ මල ගෙදර ගැන තවදුරටත් දක්වන සිරිල් බී පෙරේරා ලියා තිබුනේ අපේ රටේ සම්මත මළගෙවල්වල ස්වභාවය පවා විජයගේ අවමගුල් උත්සවයේදී වෙනස්වූ බවට ගාමිණි පොන්සේකා  පවා චෝදනාකල බවයි. ඇත්තවශයෙන්ම අප සිරිල් බී පෙරේරා අනුව යමින්  විජයගේ කැරිස්මාවේ බීජය කොතනද, කාලෝ පොන්සේකාගේ කැරිස්මාවේ බීජය ඇත්තේද එතනමයි යනුවෙන් තර්ක කල හැක. සිරිල් බී පෙරේරාට අනුව විජයගේ කැරිස්මාවේ බීජ ඇත්තේ ඔහු වටාවූ පරිසරය (මීගමුවේ වෙරළ අද්දර සිට හොරගොල්ල) සහ ඔහුගේ අධ්‍යාපන පසුබිමය (බටහිර, කතෝලික, ආගම, පල්ලිය, st. බෙනඩික් පාසැල). කාලෝටද එය එසේමය. 

කාලෝගේ ජීවිතයේ හොරගොල්ල  හමුවන්නේ විජයගේ බිරිද චන්ද්‍රිකා ඔස්සේය. ඇය ජනාධිපතිවරිය ලෙස කටයුතු කරද්දී ජනවාර්ගික අර්බුධයට විසදුමක් සෙවීමේ උත්සහයට කාලෝ නන්අයුරින් සහයවිය. බලය බෙදා රට නොබෙදීම සම්බන්දයෙන්වූ උත්සහයන් වෙනුවෙන්වූ කාලෝගේ දායකත්වය සම්බන්දයෙන්වුවද  ඔහුගේ ප්‍රතිපක්ෂ කදවුරු කාලෝව සහමුලින්ම ඉල්ලක කරගෙන ප්‍රහාර එල්ලකල බවක් නොපෙනේ. අනෙක් අතට ඊට ඉදුරාම වෙනස් ක්‍රියාමාර්ගයකට ගිය  මහින්ද රාජපක්ෂ රජය සමග ඇතැම් ක්‍රියාමාර්ගවලට එලබීමෙදීද කාලෝ එතරම් විවේචනයකට ලක්වූ බවක් නොපෙනේ. 

ඒ අනුව ගත්කල කාලෝ යනු පැහැදිවම ප්‍රතික්ෂේපවීමට ලක්වීමට ඉඩ තිබු ක්‍රියාධරයන්ගෙන් කෙනෙකි. එහෙත් ඔහු පොදු ජනයා අතර ප්‍රතික්ෂේපවීමට ලක්වුයේ ඉතා අඩුවෙනි. මා සිතන්නේ කාලෝ අඩුවෙන්ම ප්‍රතික්ෂේපවීමට හේතුව ඔහු ගතකල සරල චාම් ජීවිතයත්, ඔහු සියල්ල කලේ සිය පෞද්ගලික ප්‍රතිලාභයන් වෙනුවෙන් නොව සමාජ පරිවර්තනයන් වෙනුවෙන් බව පොදු අදහසක් ගොඩනැගී තිබීම නිසාය යන්නය. විශේෂයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සයිටම් අරගලය වැනි ලාංකික ජන සමාජයේ පොදු මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සිය අවසාන මොහොත දක්වාම හඩ නැගීම ඔහුට සිය දිවිය අවසන දක්වාම මහජනයා අතර යම් ගෞවරවයක් ඇතිකිරීමට හේතුවූ බව පෙනේ. එනයින් බලන කල කාලෝ පොන්සේකා යනු  ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ප්‍රතික්ෂේපවූ ඉහලම ප්‍රගතිශීලියෙක් බව මාගේ අදහසයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
04/09/2019
   
    

3 comments:

  1. සහරාන්ගේ බෝම්බෙන් උඹවගේ හිතන සිංහල ක්‍රිස්තියානිකාරයෝ කිප දෙනෙක් මැරෙන්න ඇති. මට ඒ නිසා තමයි. බෝම්බේ ගැන දැනගත්තාම ආතල් එකක් ආවේ.

    ReplyDelete
  2. හැලියේ ඉන්කන කුළුවෝත් ඔය වගේ, හැබැයි ඒ වතුර උතුරනකම් විතරයි.

    ReplyDelete
  3. සමහරුන් ජීවත් වුණත් ඉන්නේ මැරිලා.

    තව සමහරු මැරුණට පස්සෙත් ජීවත් වෙනවා. කාලෝ ෆොන්සේකා මහත්තයාත් දෙවෙනි ගොඩේ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete