Friday, 22 March 2019

'බජාර්කාරයින්' අතටගිය මීගමුවේ දේශපාලනයට කාවින්දගේ ආගමනය

කලකට පෙර මීගමුවේ දේශපාලන නියෝජිතයන්වුයේ උගත්, බුද්ධිමත්, වැදගත්, කීර්තිධරයන්ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයාවූ D.S. සේනානායක මහතා මහජන නියෝජිතයෙක් ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1924දී ප්‍රථමයෙන් තේරීපත්වුයේ මීගමුවෙනි. ඉන් අනතුරුව ලංකාවේ ප්‍රථම මහා මැතිවරණයෙන් මීගමුව ආසනය ජයගත්  H. de Z සිරිවර්ධන මෙන්ම 1952 මැතිවරණයෙන් ජයගත් A.N.D.A. අබේසිංහ යන මහත්වරුන්ද ප්‍රදේශයේ ප්‍රකට දානපතියන්විය.  සත පහක දෙයක් දේශපාලනයෙන් හරි හම්බ කර නොගත් ඔවුහු සිය සේතම මීගමුවේ ජනයාට දායාද කලේය. 1956 මැතිවරණයෙන් මීගමුව ආසනය ජයගත්තේ  ලංකා සම සමාජ පක්ෂයේන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්‌ වූ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතාය. ඉන් අනතුරුව මීගමුව ආසනය වැඩිම කලක් නියෝජනය කල එක්සත් ජාතික පක්ෂයේ කුයින්ටින් ප්‍රනාන්දු ද, කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමතිවරයෙකු ලෙස කටයුතු කල ඩෙන්සිල් ප්‍රනාන්දු ද ප්‍රදේශයේ ප්‍රකට නීතීඥයින්විය. උගත්, වැදගත් පුද්ගලයින්වූ ඔවුන් කිසිදු චෝදනාවකට ලක්නොවූ කීර්තිමත් මහත්මා දේශපාලනයක නිරතවුවන් විය.  මේ ලැයිස්තුවේ අවසාන පුරුකවුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ නීතීඥ සරත්චන්ද්‍ර ගුණරත්නය. ඔහුගේ අකල් වියෝවේන් අනතුරුව මීගමුවේ  දේශපාලනයට කණකොකා හැඩලීම ඇරබුනි. ඔවුන්ගෙන් පසුව ජාතික මට්ටමින් මීගමුවේ දේශපාලකයන් ලෙස ප්‍රසිද්ධවුයේ හොදට නොව නරකට ප්‍රසිද්ධ කුප්‍රකට දේශපාලකයින්ය.   

මේම කුප්‍රකට ලැයිස්තුවේ ආරම්භකයා වන්නේ මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ආනන්ද මුණසිංහය. පසුව ඔහු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට 2002 දී පැත්ත මාරුකර අවසානයේ කොරියාවේ තානාධිපති ලෙස පත්වීමක්ද ලැබ ආනන්දයෙන් අමන්දානන්දයට පත්විය. ජීවතුන්ට පමණක් නොව මලවුන්ටද කරදරකල ඔහු මීගමුව පොදු සුසන භූමියේ (කැරකොප්පුවේ) පිහිටි ලාංකීය ගීත කොකිලාවවූ රුක්මනීදේවීගේ  සොහොනද කඩාදමා සිය පවුලේ සොහොන ලොකුකරගැනීමට මානබැලීම නිසා ඔහු අධිකරණය ඉදිරියේ චූදිතයෙක් බවට පත්විය. මේ පෙරහැරේ ඊලග කසකරුවාවුයේ සරත් ගුණරත්න මහතාය. මහින්ද රාජපක්ෂ යුගයේදී බැසිල් රාජපාක්ෂගේ අනුහසින් පාර්ලිමේන්තු ගිය ඔහු මීගමු කලපුව සංවර්ධනය කිරීමට දුන් මුදල් අයථා ලෙස භාවිතාකිරීම සම්බන්දයෙන් දැන් අධිකරණය ඉදිරියේ විභාගවෙන නඩුවක් නිසා කුමන හෝ මොහොතක සිරදඬුවම් විදීමට සිදුවේදෝයි යන සැකයෙන් අන්දුන්කුන්දුන්වී සිටී. මෙම ලැයිස්තුවට ඊලග ඇමිනුනේ ජව සම්පන්න තරුණ දේශපාලකයෙක්වූ නිමල් ලන්සාය. 

ලොකු කකුළුවන් ගිය පාරේ පොඩි කකුළුවෙක් ලෙස ඇදේටම  ගිය ඔහු දේශපාලනයට පැමිණ කෙටි කලකින්ම මීගමුවේ විශාල ධන කුවේරයෙක් බවට විය. හිටිය සියල්ලන්ටම වඩා ජව සම්පන්නවූ ඔහු මීගමුවේ කුණුකාණු සුද්දකර පොඩි වැස්සකටවුවද දනක් යටවූ නගරය වැල්ල පේන ගානට ගොඩගත්හ. එහෙත් ඉන් ලද අස්වැසිල්ල ඔස්සේ මීගමුවේ ජනයාට ප්‍රසන්නව ආශ්වාස-ප්‍රශ්වාස කලහැකි සුන්දර නගරයක් බවට මීගමුව පත්කරනු වෙනුවට නගරයේ වෙරළ කරෝල මුදලාලිලා කිහිපදෙනෙකුට පවරාදුන්හ. මුහුදු හුළග සමග හමාආ කුණුකරෝල දුගන්දය මීගමුව නගරයම වෙලාගත්හ.  නගරයේ පොදු අවකාශයවූ මීගමුව ග්‍රීන් පාර්ක් පිටිය පෙට්ටිකඩ පිටිය කරමින් නගරයට ඇතුල්වෙන එක් කොනක් ව්‍යාපාරකයින්ට පවරාදී මීගමුව තමිල්නාඩුවේ පෙදෙසක් බවට පත්කළේය.  පැරණි පෘතුගීසි-ලන්දේසි කොටුව වැනි මීගමුවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සංරක්ෂණය කර මතුපරපුරට දැක බලාගැනීමට සැලැස්වීම වෙනුවට ඒවා විනාෂවීමට ඉඩහැර මීගමුව කොටුවේ  ඉදිරිපස භූමිය රථගාලක් බවට පත්කළේය. මීගමුව නගර සභාවේ මුල්ම නගරශාලාව වූ, පසුව සිනමා ශාලාවක් බවට පත්වූ, ෙඑතිහාසික මීගමුව මීපුර පුරහල කඩා බිදදමන ලදී. තලමලක් සේ පිපීආ මේ තරුණ දේශපාලකයාගේ නිවාස හිටි හැටියේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී දැවැන්ත සොදිස්සි කිරීමට ලක්විය. රටම අවධානය යොමුකළ මේ සිද්ධිය නිසා ඔහුගේ පමණක් නොව ලක්ජන හද තුල සුන්දර මිනිසුන් පිරි සුන්දර නගරයක් ලෙස ප්‍රකටව පැවති මීගමුවේ නම ද කුඩුවිය.  

'කාල් අස්සේ අරික්කාල් ගහන්නේ මොකටදැ'යි කියා කියන්නට දෝ මෙන් ලංසලාට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළේද 'තකට තක' තිබිය හැක්කෙක්වූ රොයිස් ප්‍රනාන්දුය. ඔහු යන්නේ අතීත එක්සත් ජාතික පක්ෂ මීගමු නියෝජිතයන්වූ D.S, ඩෙන්සිල්, කුන්ටින්, සිරිවර්ධන, අබේසිංහ, සරත්චන්ද්‍ර ආදීන් ගිය නොකිටිලි, නිකලැල්, කීර්තිමත් මග ඔස්සේ නොව මීගමුවේ දේශපාලනය අවමානයට ලක්කළ ශ්‍රී. ල. නි. පක්ෂයේ  ආනන්ද, සරත්, ලාන්සා ආදීන් ගිය 'බජර්කාරයින්ගේ' මග ඔස්සේ බව පසක්කරමින් ඉදිරිපත්වූ ප්‍රථම ජාතික මැතිවරණයවූ බස්නාහිර පලාත් සභා මැතිවරණයේදීම පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ  අද දක්වාම විභාගවෙමින් යන මීගමුව ජුවෙල් ලංකා ආයතනය මංකොල්ලකෑම සම්බන්ද සිද්ධිය නිසාය. 

'ජාඩියට මූඩිය' මෙන් ලාන්සලාට ගේම දීමට නම් හරියන්නේ 'රොයිස් අයියා' වැන්නෙක් යැයි සිතූ එක්සත් ජාතික පාක්ෂිකයින් හිරේ සිටියදීම  බස්නාහිර පළාත් සභාවට තෝරාපත්කලා පමණක් නොව ඔහුව මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයටද පත්කර ගත්තේය. එහෙත් ජව සම්පන්න ලන්සලා සමග ඔහුට හැරීමටවත් නොහැකිවිය. ආණ්ඩු බලය තියාගෙන පවා  ඔහුට මීගමුවට අබමල් රේණුවක දෙයක් කිරීමට බැරිවිය. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාවන අකිල විරාජ් කාර්යවසම් මහතා යටතේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පැවති සමයේදී වසර ගණනාවක් නොසලකාහැර ඉතිහාසයේ වැලිතලාවට වැසීයෑමට ඔන්න මෙන්න කියා තිබූ මීගමුව කොටුව ප්‍රතිසංස්කරණයකර ගැනීමට අපේ අප්‍රතිහත මැදිහත්වීම නිසා මීගමුවට අවස්ථාව උදාවිය. තමන්ගේම ආණ්ඩුවක් යටතේ, තමන්ගේම පක්ෂයේ ලේකම්වරයාගේ අමාත්‍යාංශය විසින් සංරක්ෂණය කරමින් තිබු මීගමුව කොටුව ගැන සොයා බලන්නයැයි අපි  රොයිස් ප්‍රනාන්දු මහතාගෙන් අපි දිගින් දිගටම ඉල්ලා සිටියෙමු. එහෙත් ඔහු ඒ සම්බන්දයෙන් කිසිවක් නොකරන ලදී.  'මීගමුවේ කොටුව මීගමුවේ දේශපාලනය තීරණය කරන්නේ යැයි' අපි ඔහුට නැවත නැවත කිව්වෙමු. එහෙත් ඔහුට ඒ ගැන කිසිමවුවමනාවක් නොතිබිණි. අඩුම තරමින් මීගමුවේ ජනයා විශාල වැඩි ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරදුන් මීගමු නගර සභාවේ බලය පිහිටුවා මීගමුවේ ලාන්සා පාලනය අහෝසිකිරීමටවත් ඔහුට නොහැකිවිය. පැරදුනත් දින්න ලංසලා මීගමුවේ නැවත බලය පිහිටවීය. 'බජාර් දේශපාලනයක' වැඩ පෙන්වන්නට බැරි අය පරාපැටව් මෙන් කැපී යන බව මීගමු වැසියන්ට අළුතින් කියාදීමට අවශ්‍ය නොවිණි. පසුගිය පලාත් පාලන මැතිවරණයේදී මීගමුවේ ලන්සා පාලනය අහෝසි කරන්න යැයි අපි ජනයාට කීවිට මීගමුවේ ජනයා ඇසු ප්‍රශ්නයවුයේ ලන්සලාට වඩා රොයිස් වෙනස්වෙන්නේ කෙසේද? යනුවෙනි. ඉන් අදහස්වුයේ දෙකම 'එක වල්ලේ පොල්' නොවේදැයි  යන්නය.   

ගම්පහ දිස්ත්‍රිකයේ පමණක් නොව රටේම එක්සත් ජාතික පක්ෂයේ බලයක් පිහිටුවීමට නම් මීගමුව ආසනය විශාල වැඩි චන්ද ප්‍රමාණයකින් දිනවිය යුතුබව එක්සත් ජාතික පක්ෂ  නායකත්වය හොදින් දනී. ඒ සදහා  මීගමුවේ එක්සත් ජාතික පක්ෂ චන්ද පදනම ආරක්ෂා කර වර්ධනය කලයුතු බවද ඔවුන් දනී. එහෙත් ලාන්සලාට එරෙහිව රොයිස් ප්‍රනාන්දුව  එක්සත් ජාතික පක්ෂය විසින් මීගමුවට ඉදිරිපත්කරන  විකල්පය ලෙස පිළිගැනීමට මීගමුවේ උගත්, බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනයා සුදානම් නැත්තේ ලන්සා මෙන්ම රෝයිස්ද එකම කාසියේ දෙපැත්ත බව ඔවුන් දන්නා නිසාය. එමෙන්ම රොයිස් ප්‍රනාන්දු මහතා මැතිවරණයකට තරගකරන සෑමවිටම මීගමුවේ මුස්ලිම් ජනයා එ.ජා. පක්ෂයට චන්දයදීමේ අඩුවක් මෙන්ම මීගමුවේ ජන්ද ප්‍රතිශතයේ අඩුවීමක්ද වාර්තාවෙන බව පෙනීගිය දෙයකි. විශේෂයෙන්ම මීගමුවේ කාගේත් ගෞරවයට පාත්‍රවූ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්වූ ජුවෙල් ලංකා අධිපතිතුමාගේ ආයතනය කොල්ලකෑම සම්බන්දයෙන් රොයිස් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවීම මෙහිලා බලපෑබව නොරහසකි. තවද මීගමුවේ ලංසලා-රොයිස්ලා බඩපිනුම් ගහන 'මජර බජාර්' දේශපාලනයකට ප්‍රවිෂ්ටවීමට මීගමුවේ උගත්, බුද්ධිමත්, වැදගත් මධ්‍යම පාන්තිකයන් ඉදිරිපත් නොවන තත්වයක්ද තිබුණි. පසුගිය පළාත්පාලන මැතිවරණ සමයේදී මීගමුවේ අනාගතය බාරදිය හැකි උගත්, බුද්ධිමත්, වැදගත් මධ්‍යම පාන්තික දේශපාලන කලලයන් මීගමුව නගරසභාවට පත්වී තිබුණි. ඔවුන්වද මීගමුවේ ගොඩනැගී තිබුන 'මජර බජාර්' දේශපාලනයට වැටීමට ඉඩ නොදී යහපත් අන්දමින් ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිමක් සැකසීමටද වුමනාවී තිබුණි. මේ තත්වය තුල එක්සත් ජාතික පක්ෂ නායකත්වය හැරුනේ පසුගිය මහා මැතිවරණයේදී මීගමුවේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඊලගට වැඩිම මනාප චන්ද ප්‍රමාණයක් ලබාදී තිබු කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙතටය. 

ඒවන විටත් ජා-ඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායවරයා ලෙස කටයුතු කරමින් සිටි කාවින්ද ජයවර්ධනට ජා-ඇල හැරුණවිට ඊලට විශාලතම චන්ද පදනමක් තිබුනේ මීගමුවේය. එය ඔහුට පමණක් නොව ඔහුගේ පියාවූ දිවංගත දොස්තර ජයලත් ජයවර්ධන මහතාට පවා තිබු තත්වයකි. දොස්තර ජයලත් ජයවර්ධනගේ මනාප චන්දවලින් 35%ක් ලැබුනේ මිගමුවෙන්යැයි කියවේ. එම නිසා ඔහු සිය ප්‍රතිපාදනවලින් 35%ක් මීගමුව ආසනයේ වෙනුවෙන් යෙදවූ බව එම තොරතුරුවලින් කියවේ. ඔහු එසේ ප්‍රතිපාදන වෙනකල් මීගමුවේ ආයතන අතර පල්ලි, පන්සල්, කෝවිල්, මුස්ලිම් පල්ලි, දහම් පාසැල්, ධීවර සමිති, කන්‍යාරාම යටතේ පවත්වාගෙන ගිය ළදරු පාසැල්, ක්‍රීඩා සමාජ, මරණාධාර, සුභ සාධන සංගම් සහ මීගමුව මහනගර සභාව විසින් ක්‍රියාත්මක කල ව්‍යාපෘති ආදිය ඇතුලත් ලැයිස්තුවක් තිබේ. කෙසේවුවද, දොස්තර ජයලත් ජයවර්ධන මහතා කිසිකලක මීගමුවේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස පත්වුයේ නැත. එහෙත් ඔහුගේ පුත්‍රයා දොස්තර කාවින්ද ජයවර්ධන දැන් මීගමුවේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයා ලෙස පත්ව තිබේ. 

රෝයිසා-ලංසලා බඩ පිනුම් ගහන මීගමුවේ මජර දේශපාලනයට කාවින්ද ජයවර්ධන ගෙනත් දැමීමෙන් එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තුවන්නේ කුමක්ද? පැහැදිලිවම මීගමුවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමය. මැකී ගිය අතීත එක්සත් ජාතික පක්ෂ මීගමු නියෝජිතයන්වූ D.S, ඩෙන්සිල්, කුන්ටින්, සිරිවර්ධන, අබේසිංහ, සරත්චන්ද්‍ර ආදීන් ගෙන ගිය නොකිටිලි, නිකලැල්, කීර්තිමත් දේශපාලනයක් මීගමුවේ නැවත ඇති කිරීමය. 

ලංකාවේ ජනයා කාන්සියට ඇදී ආ, දෙස් විදෙස් රාජකීයන්ගේ, ප්‍රභූන්ගේ සහ බුද්ධිමතින්ගේ මහත් ඇගයීමට ලක්වූ චිත්‍රාකර්ශනීය මීගමුව නගරය නැවත ගොඩ නැගීමය. එහි සංස්කෘතික අගයන් නැවත මතුකරලීමය. 

මීගමුවේ අනාගතය බාරදිය හැකි උගත්, බුද්ධිමත්, වැදගත් මධ්‍යම පාන්තික දේශපාලන කලලයන් පෝෂණය කර නිසි ලෙස වර්ධනය කර ශක්තිමත්  යටි පෙළක් ගොඩනැන්වීමය. මීගමුවේ පැවති බජාර් දේශපාලනය තුල උගත්, බුද්ධිමත්, වැදගත් මධ්‍යම පාන්තික දේශපාලන යටිපෙලක් මීගමුව තුල ශක්තිමත්වීමට තියා මතුවීමටවත් මීගමුවේ 'බජර්කාර' දේශපාලකයින් ඉඩ නොතියන ලදී. 

මේ කරුණු ඉටුකරන කිසිවෙකු හෝ වෙතෝත් ඔහුට ආගම, ජාතිය, කුලය හෝ ගමේ කෙනෙකුද? නැද්ද යන්න ගැන තැකීමකින් තොරව මීගමුවේ ජනයා ඔහුට සහයදෙන බව ඉතිහාසය පුරාම ඔප්පුකර තිබේ. එවැනි අවස්ථාවක මීගමුවේ වැසියන් කටයුතු කල යුත්තේ කෙසේදැයි යන්න මීගමුවෙන් බිහිවූ විශිෂ්ඨතමයා වූ, ලංකාවේ ප්‍රථම කාදිනල්වරයාවන තෝමස් කුරේ කාදිනල්තුමා පේනවාදී ඇත.  මීගමුවේ නුපන්, කතෝලිකයෙක්ද නොවූ, හින්දු භක්තික විජේරත්නම් මහතා මීගමුවේ නගරාධිපතිකමට ඉදිරිපත්වූවිට ඔහුට විරුද්ධව නැගී සිටි අයට කාදිනල් කුරේ දුන් පිළිතුර ඥනාර්ථ ප්‍රදීපය පුවත්පතේ හිටපු කතුවරයෙකුවූ හෙක්ටර් වෙල්ගම් මහතා සිය කාදිනල් කුරේ චරිතාපදානයේ දක්වා තිබේ. කාදිනල් කුරේ දක්වා ඇත්තේ මීගමුවට සේවය කිරීමට  ගමේ මිනිහෙක්වත්, කිතුනුවෙකුවත්වීමට    වඩා  වැදගත්වන්නේ මීගමුවට වැඩ කළහැකි යහපත් මනුෂ්‍යයෙක්වීම පමණක් යැයි දැක්වූ බව එම කෘතියේ  183 පිටුවේ සටහන්වේ. 

ඇත්තවශයෙන් අද අපට අවශ්‍යවන්නේ මීගමුවට වැඩකල හැකි සංස්කෘතික වටිනාකම් සහිත යහපත් මනුෂ්‍යයන්ය.  ලන්සලාට කුමන චෝදනා පැවතියද ඔවුන් මීගමුවට වැඩක් කරන බව පොදු පිළිගැනීමක් ඇත. එහෙත් ඔවුන් පාරවල්, කාණු, බෝක්කු හැදුවද මීගමුවේ සංස්කෘතික වටිනාකම් අරක්ෂාකර වර්ධනය කරන්නේ නැත. එසේ කරන්නේ නම් මීගමුවේ කොටුවට, මීපුර පුරහලට, මීගමුවේ පැරණි අලංකාර පැරණි විදුලි පහන්කණු ආදීයට අද අත්වී ඇති ඉරණම අත්වන්නේ නැත. මීගමුව වෙරළ කරෝල ජාවාරම්කරුවන්ට වනසන්නට ඉඩදෙන්නේ නැත. මෙවැනි සංස්කෘතික අංගයන් ගැන ඔවුන්ට කැක්කුමක් නැත. 

එහෙත් කාවින්ද ජයවර්ධන මහතාට එවැනි සංස්කෘතික වටිනාකම් ගැන යම් රුචිකත්වයක් ඇතිබවක් පෙනෙන්නට තිබෙනබව පෙනේ. ඔහු මෙතෙක් මීගමුවේ හැදීවැඩුන දේශපාලකයින් පවා කිසි ගැම්මකට නොගත් මීගමුව දුම්රිය පොලේ දැන් අක්‍රීයව ඇති 'මාළුවා රැගත් ස්ත්‍රීයගේ වතුරමල' නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවක් වාර්තාවේ. එමෙන්ම පසුගියදා මීගමුවේ නගර සංකේතය වන මීගමුවේ පෞරාණික පෘතුගීසි-ලන්දේසි කොටුව ගැන සොයා බැලූ බවද වාර්තාවිය. අප දිගින් දිගටම ඉදිරිපත්කරන ඉල්ලීමක්වූ මීගමුව කොටුව ඉදිරිපිට ඇති, දැන් භාවිතයට නොගන්නා, රථගාල ඉවත්කර මීගමුව කොටුව මහජනයාට නැවත නිසිලෙස දැක බලාගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ගැන පමණක් නොව මීගමුවට විශාල අඩුවක්ව ඇති කෞතුගාරයක් ඉදිකිරීම ගැනද කටයුතු කිරීමට පියවර ගන්නා බව දක්වා තිබේ. අපට අවශ්‍යවන්නේ මෙවැනි සංස්කෘතික වටිනාකම් හදුනාගත් දේශපාලකයින්ය. එවැනි සංස්කෘතික වටිනාකම් සහිත මිනිසුන්ය. එමෙන්ම ඔහු මේ වනවිටද ආණ්ඩුවේ විවිධ දෙපාර්තුමේන්තු, ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් ගෙන්වාගෙන මීගමුවේ අඩුපාඩු පේනවාදී ඒවාට විසදුම් ඉල්ලාසිටින බවක් ඔහුගේ facebook පිටුවේ දැකගැනීමට හැකිවිය. තමන්ගේ ආණ්ඩුවක් යටතේවත් රොයිස් ප්‍රනාන්දුලා නොකළේ මේවාය.  මීගමුවේ හිටපු සංවිධායකයා ලෙස කළයුතුව තිබුනේ මෙවැනි දෑය. කාවින්ද යටතේවුවද එවැනි දෑ සිදුවන්නේ නම් සෙත සැලසෙන්නේ අපේ මීගමු නගරයටම බව කිසිසේත්ම අමතක කලයුතු නැත. 

ඒ සමග කිව යුතු තව දෙයක් වෙයි එනම් මීගමුව යනු හැදෙන මිනිස්සුන්ට හැදෙන්නත්, නැතිවෙන මිනිස්සුන්ට නැත්තටම නැතිවීමටත් හොද හැටි ඉඩප්‍රස්ථා ඇති නගරයකි. තරුණ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මීගමුවට උදාර සේවයක් කර මීගමුව නගරයත් සිය දේශපාලන ඉදිරිගමනත් ඔසවාතබා ගන්නවාද? නැතහොත් දේශපාලන කවන්ධයක් පමණක් බවට පත්වෙන්නේද? යන්න ඔහුගේ තෝරාගැනීමකි.  ඒ තීන්දු දෙකෙන් කොයික ගත්තද අප ඔහුට සුභ පැතීමට පසුබට නොවෙමු !!! All the best !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
22/03/2019. 

1 comment:

  1. I was expecting a post on katuwapitiya attack and Muslim and catholic community in Negombo. your silence is a big vacuum.

    ReplyDelete