Monday, 9 October 2017

Victoria and Abdul හෙවත් සුද්දාගේ ලෝකයට ආසියාතිකයා කඩාපාත්වීම.

වික්ටෝරියා සහ අබ්දුල් (Victoria and Abdul) යනු දැන් බ්‍රිතාන්‍යයේ තිරගතවෙන චිත්‍රපටියකි. එය 2010 වසරේදී Shrabani Basu විසින් එම නමින්ම රචනා කරන ලද (Victoria and Abdul) කෘතිය ඇසුරින් නිපදවූවකි. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින 74වන වියේ පසුවන විට 24 හැවිරිදි Abdul Karim නම් ඉන්දියානු සේවකයා සමග 'අසාමාන්‍ය ඇසුරක්' පවත්වාගෙන  ගිය බව Shrabani Basuගේ එම කෘතිය මගින් හෙළිකරන ලදී. වික්ටෝරියා රැජිනගේ මරණයත් සමග බලයට පත්වෙන හත්වන එඩ්වර්ඩ් රජගේ (Edward VII) අණ පරිදි එම සම්බන්දයට අදාල සියළු ලිපි ලේඛන විනාශකර දමා කාලාන්තරයක් තිස්සේ ලෝකයෙන් වසන්කර තබන ලද මෙම සම්බන්දය මහත් පරිශ්‍රමයකින් පසුව  Shrabani Basu විසින් මහජනයාට හෙළිකරන ලදී. ඇය 2010 වසරේ සිය Victoria and Abdul කෘතිය පළකර වසරක් ගතවන්නට මත්තෙන්  Abdul Karim ගේ පවුලේ ඥාතීන් විසින් එතෙක්‌ වසර 100කට ආසන්න කාලයක් ඉතා රහසිගතව රැකගෙන තිබු  Abdul Karim  හෙවත් Munshiගේ (උර්දු භාෂාවෙන් එහි අර්ථය ගුරුවරයා හෝ ලිපිකරු යන්නය) පෞද්ගලික දිනපොත ප්‍රසිද්දියට පත්කළේය. එමගින් වික්ටෝරියා රැජින සහ අබ්දුල් කරීම් නම් වූ ඉන්දියානු සේවකයා අතර පැවති අසාමාන්‍ය ඇසුර ගැන මෙතෙක් ලෝකයෙන් වසන්කල සියළු තොරතුරු හෙලිවන ලදී. දැන් තිරගතවන Victoria and Abdul චිත්‍රපටිය Shrabani Basu (2010) කෘතිය සහ Abdul Karimගේ දිනපොත ඇසුරින් තිරරචනය  කර ඇත.

Shrabani Basu ගේ වික්ටෝරියා සහ අබ්දුල් (Victoria and Abdul) කෘතියත්, ඒ ඇසුරින් නිර්මාණයවූ චිත්‍රපටියත්  බ්‍රිතාන්‍යය සමාජය තුල යම් සාකච්ඡාවක් ජනනය කිරීමට හේතුවිය. විශේෂයෙන් වික්ටෝරියානු යුගයේ සමාජ සබදතා සහ වික්ටෝරියා රැජිනගේ  සමාජ ආකල්ප සියුම්ලෙස විග්‍රහකිරීමට එමගින් යම් අවස්ථාවක් උදාකර දී ඇත. ඒ සියල්ලටම වඩා බ්‍රිතාන්‍යයේ වෙසෙන ආසියාතිකයන්ට අනෙකෙකු (the other) ලෙස සුද්දාගේ ලෝකයට ප්‍රවිෂ්ටවීමේදී ඔවුන්ගේ ආදිතමයන්  මුහුණපෑ  දුෂ්කරතාවන් කවරාකාරද යන්න සිහි කැදවීමෙහිලා මෙම කෘතිය (එමෙන්ම චිත්‍රපටියද) යම් දායකත්වයක් සපයන බව මාගේ අදහසයි. Shrabani Basu ගේ වික්ටෝරියා සහ අබ්දුල් කෘතියට අමතරව ඇය 2008 දී ලියූ 'Spy Princess' කෘතියද එවැනිම ඉඩ ප්‍රස්ථාවක් සහ සමාජ කතිකාවක් නිර්මාණය කිරීමෙහිලා දායක විය. මෙතෙක් වැඩි දෙනෙක් නොදැන සිටි දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යය වෙනුවෙන් ක්‍රියාත්මකවූ ඉන්දියානු සම්භවයක් ඇති බුද්ධි අංශ ක්‍රියාකාරිකාවක් වූ Noor Inayat Khanගේ ජිවන චරිතය ඇසුරෙන් රචනාකරන ලද   එම කෘතියේ බලපෑම කෙතෙක්ද යත් බ්‍රිතාන්‍යය රජය ඇය වෙනුවෙන් මුද්දරයක් පමණක් නොව ඇගේ පිළිරුවක්ද ඉදිකිරීමට කටයුතු කළේය. දැන් Noor Inayat Khanගේ වික්‍රමාන්විතය බ්‍රිතාන්‍යයේ පාසැල් විෂය නිර්දේශයට අදාල අතිරේක කියවීමක් ලෙසද නිර්දේශවී ඇත.  එම කෘතිය (Spy Princess) ලිවීමේදී මෙන්ම  වික්ටෝරියා සහ අබ්දුල් (Victoria and Abdul) කෘතිය ලිවීමේදීද Shrabani Basu අනුගමනය කර ඇත්තේ ඉතිහාස ප්‍රවේශනය (historical approach) නම් ශාස්ත්‍රීය අධ්‍යයන ක්‍රමවේදයය. එනම් පැරණි වාර්තා, දත්ත, තොරතුරු සහ වෙනත් එමකාලීන සමාජ-දේශපාලන තත්වයන් පිළිබද හැදෑරීමේන් අදාල නිර්මිතයන්ට පැමිණීමය. එහිලා Basu විශාල පරිශ්‍රයක් දරා අධ්‍යයනයන් රාශියක නිරතවී ඇත. වින්සර් මාලිගයේ (Windsor Castle) සහ බ්‍රිතාන්‍යයේ ඇති වෙනත් රාජකීය ලේඛනාගාරයන්ගේද, 
අබ්දුල් කරීම්ගේ සොහොන පිහිටි ඉන්දියාවේ අග්‍රා නුවරටද, ඉන්දියාව බෙදා පාකිස්ථානය බිහිකිරීමෙන් පසු අබ්දුල් කරීම්ගේ ඥාතීන් පලාගොස් දැන් ජීවත්වෙන පාකිස්ථානය දක්වාද ඇගේ මෙම අධ්‍යනයන් විහිදී තිබිණි. 

අදාල විස්තරයන්ට අනුව අබ්දුල් කරීම් ඉන්දියාවට පැමිණ ඇත්තේ වික්ටෝරියා රැජිනගේ පදවි පාත්‍රියට 50වසරක් පිරිම (Victoria's Golden Jubilee) නිමිත්තෙන් 1887 පැවති ජුබිලි උත්සවයට ඉන්දියාවෙන් යැවූ සේවකයන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙසය. ලංකාව, ඉන්දියාව ඇතුළු බ්‍රිතාන්‍යයට අයත්ව තිබු විවිධ යටත් විජිතයන්ගෙන් එම උත්සවයට පැමිණි බොහෝ සේවකයන් අතරින් අබ්දුල් කරීම් වික්ටෝරියා රැජිනගේ නෙත්-සිත් දිනාගනුයේ  ඔහුගේ උස, දුබුරුවන් හම, ඇල්බට් අධිපාදියාගේ (වික්ටෝරියා රැජිනගේ වල්ලභයා වූ ඔහු ඒ වනවිට මියගොස් වසර 30ක් ගතව තිබිණි) මෙන්වූ රැවුලට අමතරව සුද්දන් පවා එක එල්ලේ කෙලින් බැලීමට භය-භීරන්තවූ වික්ටෝරියා  රැජින දෙස කෙලින් බලා, ඇය පාමුල  වැදවැටී, ඇගේ දෙපා නැමද (මෙතෙක් සුද්දන්ට ආගන්තකවූ ක්‍රම සහ විධි මගින්) ඇයට ගරුබුහුමන් දැක්වීම වැනි දකුණු ආසියාතික/ඉන්දියානු සියළු උපාය-උපාංග ක්ෂණයකින් විහිදා පෑමට ඔහු සමත්වෙන නිසාය. 
එමගින් අබ්දුල් කරීම් අත්කරගන්නා ක්ෂණික ප්‍රථිපලය වනුයේ මාස කිහිපයකට පමණක් (1887 ජුබිලි උත්සවයට) එංගලන්තයට පැමිණි කරීම්ට  සිය ජීවිතයේ වසර 15ක කාලයක් (1901 දක්වා) එංගලන්තයේ ගෙවීමට සිදුවීමය. එංගලන්තයේ වෙන කොහෙවත් නොව රජ මාලිගයේ ගෙවීමට හැකිවීමය. වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සේවකයන්ගෙන් කෙනෙකු ලෙස සිටීමට හැකිවීමය. එහිලා කරීම් කරනුයේ වික්ටෝරියා රැජින කිසිදා සිහිනයෙන් හෝ නොගිය ඉන්දියාව ඇය ඉදිරියේ ෆැන්ටසිගත කිරීමය. ඉන්දියානු සාරය උරගා පෙන්වීමය. ඉන්දියානු කුළු බඩුවල සුවදේ සිට අඔ ගෙඩියේ රස රුව ගැනද, ඉන්දියානු ඉතිහාසය, ශිෂ්ටාචාරය, ගෘහනිර්මාණ ශිල්පය  සහ භාෂාවන්  පිළිබදවද වශීකෘත කිරීමය. වික්ටෝරියා රැජිනගේ සිත-සතන් ඉන්දියානු ආඛ්‍යානයන්ගෙන් පුරවා දමන කරීම්,  සිය සැමියාගේ මරණයෙන් පසු කළු රෙදි දවටාගෙන, හුදු ඒකාකාරී නීරස ජීවිතයක් ගතකරමින් සිටි  ඇයට නව ජීවනයක් රැගෙන එන ලදී. 


එමගින් වික්ටෝරියා රැජිනගේ නැතිව බැරි සේවකයා වන අබ්දුල් කරීම් ඇයගේ බොහෝ ගමන් බිමන්වල සගයෙකු ලෙසද, උර්දු ගුරුවරයා ලෙසද ඉන්දියානු කටයුතු පිළිබද උපදේශකයා ලෙසද පත්කර ගනී. විටක ඇය තම පවුලේ සමාජිකයෙකු ලෙස ඇය ඔහුව සැලකු බව දැක්වේ. මේ සියල්ල සිදුවනුවේ ඔහුගේ උගත්කම, තරාතිරම හෝ සුදුසුකම් පිළිබද කිසිදු පරීක්ෂණයකින් තෝරා බේරා ගැනීම තුල නොව හුදෙක් වික්ටෝරියානු රැජිනගේ ප්‍රියමනාපත්වය තුලය. එය එක්තරා ආකාරයකින් සෙසු සියල්ලන්, විශේෂයෙන්ම සුදුසුකම් සහ  ධුරාවලියන් අනුව එතෙක්  ඉදිරියෙන් සිටි තැනැත්තන්ව  අභිබවා යෑමකි. තත්වය වඩා උත්සන්න වනුවේ අබ්දුල් කරීම්ට නයිට් නාමයක් දීමට වික්ටෝරියා රැජින තීරණය කිරීමත් සමගය. එහි ප්‍රථිපලය වනුවේ වික්ටෝරියා රැජිනට බ්‍රිතාන්‍යය සමාජයේ සියළු ඉහල තනතුරු දැරූවන් සහ ඇයගේ කාර්යමණ්ඩලයද එයට එරෙහිව  නැගී සිටීමය. සුළු සේවකයෙක් ලෙස ඉන්දියාවේ සිට එංගලන්තයට පැමිණෙන අබ්දුල් කරීම් ගිය දුර පිලිබදව රජමාලිගයේ සේවකයන්ගේන් පැහැදිලි ඊර්ෂ්‍යා සහගත හැගීමක් ප්‍රකාශවේ. ඔවුන්ගේ එම හැගීම් අබ්දුල් කරීම්ගේ හමේ පාට, පවුල් පසුබිම, ඉතිහාසය ආදිය තුල තවතවත් තිවුර වන අයුරැ චිත්‍රපටියේ මෙන්ම  Shrabani Basu ගේ කෘතියේද මැනවින් සටහන්වේ. 

එහෙත් නැගී එන විරෝධය සම්බන්දයෙන් වික්ටෝරියා රැජින කිසිලෙසකින් නොසැලේ.  චිත්‍රපටියේ පෙන්වන එක් ජවනිකාවකින් පෙන්වා දෙනුවේ වික්ටෝරියා රැජින හමුවීමට පැමිණෙන ඇයගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානීන් සහ කිරුල හිමි ඇයගේ පුත්‍රයා ( Bertie /Edward VII ) දක්වනුවේ  රැජින අබ්දුල් කරීම්ට හිතවත්වුවද කරීම් රැජිනට හිතවත්කම් දක්වනුයේ රැජිනගෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලැබීමට පමණක් බවය. වික්ටෝරියා රැජින පෙරලා ඔවුන්ගෙන් අසනුයේ "ඔබලා ඔහුට වඩා වෙනස් වන්නේ කෙසේද?" (what does it make a difference from you?) යන්නය. අබ්දුල් කරීම්ට ඇති විරෝධය සම්බන්දයෙන් වික්ටෝරියා රැජිනගේ ප්‍රතිචාරය කෙසේවිදැයි ඇයගේ පෞද්ගලික දින පොතේ සටහන් ඇසුරින් උපුටා දක්වන  Shrabani Basu ගේ Victoria and Abdul කෘතිය එක් ආකාරයකට බ්‍රිතාන්‍ය සමාජයේ ඉහල තීරුවේ චර්යාව පමණක් නොව ඔවුන්ගේ ඉතිහාසයද විනිවිද යන බව  පහත සටහනින් පෙනේ. 
අබ්දුල් කරීම්ද වික්ටෝරියා රැජිනගේ හිතවත්කමින් අයුතු ප්‍රතිලාභ ලබමින් තමන්වැනිම, තම පන්තියේම සෙසු සියල්ලන්ට වඩා ඉහලින් සිටිමින් ඔවුන්ගේ අධිපතියා ලෙස කටයුතු කරයි. එම තත්වය කෙතක් වර්ධනයවූයේද යත් ඔහු එවකට ඉන්දියාවේ සිටි රජවරුන්ට, සිටුවරුන්ට, කුමාරයන්ට පමණක් නොව ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයාට පවා (viceroy) පෞද්ගලික සුබ පැතුම්, නත්තල් පත් යවන තත්වයකට පත්වේ. ඒ සියල්ලටමත් වඩා ඉන්දියාවෙන් මෙන්ම බ්‍රිතාන්‍යයේද විශාල දේපොළකට හිමිකම් කියන සිටුවරයෙකු බවට පත්වේ. බ්‍රිතාන්‍යය සමාජයට ක්‍රමයෙන් අනුගතවෙනු වෙනුවට බ්‍රිතාන්‍යය සමාජ ඉන්දියානු ක්‍රමයට හැඩගැසෙන්නෙන් නම් මැනවයි සිතා කටයුතු කරයි. ප්‍රථිපලය වනුයේ වික්ටෝරියා රැජිනගේ මරණයෙන් අනතුරුව බලයට පත්වෙන  හත්වන එඩ්වර්ඩ් රජ (Edward VII) විසින් අබ්දුල් කරීම්ගේ  (Abdul Karim  හෙවත් Munshi) පවුල සහ ඔවුන්ගේ සියළු ආවතේකරුවන් ඇතුළු සියල්ලන්වම නැවත ඉන්දියාවට පිටත් කර හැරීම. 1901 වික්ටෝරියා රැජිනගේ මරණයෙන් පසු ඉන්දියාවට ආපසු යවන කරීම් ඉන් වසර 08කට පසු, 1909 දී, වසර 46ක් ආයුවලදා මිය පරලොව ගියේය. හත්වන එඩ්වර්ඩ් රජගේ අණ පරිදි, කරීම් මරණයෙන් පසු  කරීම්ගේ නිවසට පිවිසෙන ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය නිලදාරීන් පිරිසක් කරීම් සහ වික්ටෝරියා රැජිනට සම්බන්ද සියළු ලිපිලේඛන, ජයාරූප සහ වෙනත් සියළු දෑ බ්‍රිතාන්‍යයේ රාජකීය ලේඛනාගාරයට යැවිය යුතු යැයි කියමින් සිය භාරයට ගෙන බ්‍රිතාන්‍යයට ඒවා ඇත. මෙලෙස කරීම් සහ වික්ටෝරියා රැජින අතර පැවති අසාමාන්‍ය, විශේෂ සම්බන්දය ඉතිහාසයෙන් අතුගා දැමීමට බ්‍රිතාන්‍යය රජකීයයන් කටයුතු කරනුයේ එය ඔවුනට කැළලක් ලෙස සලකන නිසාය.  

එහෙත් ක්‍රමයෙන් ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණයවුවන් අබ්දුල් කරීම්ගේ කතාවස්තුව පුරාවෘතයක්  ලෙස මුඛ පරම්පරාවෙන් රැගෙන යන ලදී. කිසිවෙකු හිසකෙලින් කර කෙලින් බලා කථාකිරීමටවත් පැකිලෙන වික්ටෝරියා රැජිනගේ සමීපතම කිට්ටුවන්තයෙක්වීමට තම වර්ගයේ කෙනෙකුට හැකිවීම පිලිබදව ඔවුන් තුල සියුම් ආඩම්බරයක් ඉතිරිව තිබුනාට කිසිම සැකයක් නැත. 1960 දශකයෙන් පසු ක්‍රමයෙන් බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවූ ඉන්දියානු සංක්‍රමණිකයන් සමග හතුපිපෙන්නාක් මෙන් මතුවූ 'කරි හවුස්'  (curry house) තුලින් ජනප්‍රියවූ chicken korma, chicken tikka, lamb Rogan Josh ආදී ඉන්දියානු කෑම වර්ග සමග කරීම්ගේ (Karim) නමද මතුවුනි. ඒ ඔහු බ්‍රිතාන්‍යය රජවාසලටත් ඉන්දියානු ව්‍යංජන(curry) හදුන්වා දුන්නෙක් ලෙසය.

Shrabani Basu සිදුකලේ එතෙක් මුඛ පරම්පරා ගතව පැවත එන අබ්දුල් කරීම් සහ වික්ටෝරියා රැජිනගේ කථාවස්තුව නිසි අධ්‍යනයකින් පසු නැවත සමාජ ගතකිරීමය. කරීම්ගේ පවුලේ ඥාතීන් විසින් එතෙක් ඔවුන් රහසිගතව රැකගත් කරීම්ගේ දින පොත ඇතුළු ඔවුන් සතු සියළු තොරතුරු ප්‍රසිද්ධ කරමින් Shrabani Basuගේ ඉහත අධ්‍යනය නැවත තහවුරු කරන ලදී. දැන් Stephen Frears විසින් අධ්‍යක්‍ෂනය කරන ලද Victoria and Abdul චිත්‍රපටිය මගින් එය තව තවත් ජීවමාන කර ඇත. එමගින් සුද්දාගේ ලෝකයට කඩාපාත්වෙන ආසියාතිකයාගේ අරගලය සහ ඔවුන්ගේ අභියෝගාත්මක නැගීසිටීම පිලිබදව විවිධ පැතිකඩයන් ඔස්සේ නැවත විමර්ශනය කිරීමට සුද්දාට මෙන්ම අසියාතිකයාට ඉඩප්‍රස්ථාවක් විවිර කර ඇත. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/10/2017

9 comments:

  1. Neruge oya wagema hora love ekak thibba neda

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ඇති. මම මුකුත් ඒගැන කියවා නැහැ. විස්තරයක් තිබුනොත් share කරන්න.

      Delete
    2. http://postcard.news/really-happened-jawaharlal-nehru-lady-mountbatten/

      Delete
  2. හොඳ විවරණයක්.. පොත interesting වගේ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හරිම interesting පොතක්, කියවලා බලන්න.

      Delete
  3. වටිනා විස්තරයක්. මාත් කොහෙන් හරි කියවල තිබුන . මේක ලවු එකක්ම කියන්න බැරි විශේෂ හිතවත්කමක් වෙන්න බැරිද. අධ්‍යාත්ම්ක බැඳීමක් වගෙ. නොදුටු ලොවක් තමාට පෙන්වන ගුරුවරයෙක් වගෙ ගෞරවක් රැජිනට තිබුන වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්තටම වික්ටෝරියා රැජින බොහොම වයස්ගත කාලෙදී ඇගේ තනියට සිටි බොහොම ලෙන්ගතුම මිනිසා තමයි අබ්දුල් කරීම්. ඇය ඔහුට විටක අම්ම කෙනෙක් ලෙසත්, පවුලේ කෙනෙක් ලෙසත් සලකනවා. යම් ආකාරයක මානසික බැදීමක්, දුක සැප බෙදාගත්ත කිට්ටුවන්තයෙක්

      Delete