Thursday, 9 February 2017

සමලිංගිකත්වය සහ මනුෂ්‍යත්වය

සමලිංගිකත්වය පිළිබද විශාල සාකච්ඡාවක් සිංහල සමාජයේ දැන් දැකිය හැක. එය එක්තරා ආකාරයකට සමලිංගිකත්වය පිළිබදව ඇති නිතීමය තහංචි සහ සීමා පිලිබදව කතිකාවකින් ආරම්භවී පසුව එය  සිංහල සමාජයේ විවිධ පැතිකඩවල් පිළිබද විවේචනාත්මක කතිකාවක් බවට පත්ව ඇත. 

විශේෂයෙන්ම,  යටත්විජිත පාලකයන් විසින් හදුන්වාදුන් සමලිංගිකත්වය නීතී විරෝධීය යන නිතීමය රාමුව වෙනස් කිරීම තුල සමලිංගිකත්වය නීතිගත වන්නේද? නීතිමය වශයෙන් එය කවරාකාරවුවද එය සමාජයේ දිගින් දිගටම පැවති, තවමත් සක්‍රීයව පවතින, ලිංගික චර්යාවක් බැවින් එය තවදුරටත් නීතීය මගින් අවහිර කිරීම තුල  සිදුවන්නේ මානව හිමිකම් කඩ කිරීමක් නොවේද?  යනාදී ලෙස නීතීය සහ නීතීය වෙනස් කිරීම පදනම් කරගත් විවාදයක් මෙම කතිකාවේ එක් පැත්තකින් පැනනැගී ඇත. 

තවත් පැත්තකින් විවාදයට ලක්කර ඇත්තේ සමලිංගිකත්වය කෙතරම් ස්වාභාවිකද? සදාචාර සම්පන්නද? යන්නය. මෙහිදී සමලිංගිකත්වය ස්වාභාවිකද, නැත්ද, යන්න තීරණය කිරීමට අදාල වනුයේ ස්ත්‍රී+පුරුෂ විෂමලිංගික සම්බන්දතා  ප්‍රජනන ක්‍රියාවලියට දායක වන්නක්වීම නිසා සහ සමලිංගිකත්වය එසේ නොවන්නක් වීම තුලය.  එනයින්ම දරුවන් නොමැති, ප්‍රජනන ක්‍රියාවලියට දායක නොවන, විෂම ලිංගිකයන්ද ආන්තීයකරණයකට ලක්කර ඇති බව වටහාගත යුතුය. 

එමෙන්ම සදාචාර සම්පන්න භාවය තීරණය කිරීමෙහිලා බොහෝදුරට අදාලවී ඇත්තේ ආගමික ඉගැන්වීමය. ඒ අතුරින් විශේෂයෙන්ම ආබ්‍රහමික ආගම් (Abrahamic religion) වන ජුදා, ක්‍රිස්තියානි සහ ස්ලාම් ආගම්ය. සමලිංගිකත්වය පිලිබදව   ආබ්‍රහමික ආගම්වල (Abrahamic religion)  ස්ථාවරය වන 'පාපයක්' යන්නට වඩා වෙනස් ස්ථාවරයක් හින්දු සහ බෞද්ධ ආගම් තුල දරණ බව  පෙනේ. විශේෂයෙන්ම ඉන්දීය හින්දු සමාජය තුල සංක්‍රාන්ති ලිංගිකයන්(transgender) Hijra සහ Aravani ආදී ලෙසද, තායිලන්ත බෞද්ධ සමාජය තුල සංක්‍රාන්ති ලිංගිකයන් (transgender) සහ සමලිංගිකත්වයන් Kathoey හෝ katoey ආදී ලෙස සුවිශේෂී තත්වයකලා යම් ගරුත්වයක් ඇතිව සැලකීමද එයට උදාහරණය.   

ආබ්‍රහමික ආගම් සමලිංගිකත්වය පිලිබදව සිය මතය සකස්කර ගැනීමෙහිලා බොහෝදුරට යොදාගන්නේ සොඩොම් සහ ගොමෝරා (Sodom and Gomorrah) නගර විනාශයන් පිළිබද  කථාවස්තූන්ය. දෙවියන් විසින් එම නගර විනාශ කිරීමට හේතුව ලෙස දක්වන 'පාපයන්' අතර සමලිංගිකත්වයද පැවති බව දැක්වේ. කෙසේවුවද ආබ්‍රහමික ආගම් (Abrahamic religion) අතරින් වඩාත් ප්‍රචලිත ක්‍රිස්තියානි ආගම තුල ඉගැන්වෙන  'පැරණි ගිවිසුමේ' (Old Testament) දෙවියන් 'වරදට දැඩි දඩුවම් දෙන දෙවිකෙනෙකු ලෙස දැක්වුවද, එතුමාගේ පුත්‍රයාගේ ඉගැන්වීම් පදනම් කරගත් 'නව ගිවිසුම' (New Testament) තුල දෙවියන්වහන්සේව දක්වනුයේ සමාවදෙන, අසීමිත ප්‍රේමයකින් යුත් තැනැන්වහන්සේ කෙනෙකු ලෙසය. සමලිංගික ප්‍රජාව විනිශ්චය කිරීමට මම කවරෙක්ද? (Who am I to judge gay people?) යන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රකාශය පදනම්වන්නේ එම අදහස තුලය.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉහත ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු ලියූ ගිය වසරේ ප්‍රකාශයට පත්කල The Name of God is Mercy (2016)
කෘතියේ දක්වනුයේ 'ඇතැම්විට අපි අනෙකා විනිශ්චය කිරීමට, හෙලා දැකීමට වැඩි පෙලබවීමක් ඇති බවත් එය ජේසුතුමන්ගේ ඉගැන්වීමට ඉදුරාම වෙනස් බවත්ය'. (sometimes we, too, like to reproach others, to condemn others... that I may at least honour who you are, God of infinite bounty, invoking, accepting, and celebrating your sweet mercy...) 

පාප්තුමාගේ මෙම කෘතිය සම්බන්දයෙන් අදහස් දක්වා තිබු lesbian, gay, bisexual සහ transgender ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ලෝක ව්‍යාප්ත සමාජ ජාලයන් කිහිපයක්ම දක්වා තිබුනේ එය  'නුතන මිනිසාගේ ලිංගික ජීවිතයේ 'ස්වභාවිකත්වය' සහ 'සංස්කෘතිකත්වය' පිලිබදව ඇති නිමක් නැති විවාදය යම් තුලනාත්මක අන්තයක් දක්වා යොමුකිරීමට' මගපෑදිය හැකි කෘතියක් ලෙසය. 

නුතන මිනිසාගේ ලිංගික ජීවිතයේ 'ස්වභාවිකත්වය' සහ 'සංස්කෘතිකත්වය' පිලිබදව විවාදය ගැන අවධානය යොමුකිරීමේදී පෙනී යන එක් කරුණක් වනුයේ lesbian, gay, bisexual සහ transgender ප්‍රජාව අතර ඇති ඇතැම් ලිංගික චර්යාවන් ස්ත්‍රී-පුරුෂ විෂම ලිංගිකයන් අතරද ඇති නමුත් එම චර්යාවේම නිරතවන සමලිංගිකයින්ව විෂම ලිංගිකයන් විසින් හෙළාදකින බවය. මෙහිදී  හෙළාදැකීමට ලක්ව ඇත්තේ අදාල ලිංගික චර්යාව නොව තවත් මනුෂ්‍යයෙක්වම වීම තුල  යම් මනුෂ්‍ය සමාජයක ඇති අගතිගාමීත්වය  කියා පාන්නකි. 

සමලිංගික ප්‍රජාව අතර ඇති ලිංගික චර්යාවන් ස්ත්‍රී-පුරුෂ විෂම ලිංගිකයන් අතරද ඇති සමාජයක් විසින් සමලිංගික ප්‍රජාව සුළුතර ජනකොටසක් හෝ පීඩිත ජන කොටසක් හෝ ශාරීරික වශයෙන් අව-වර්ධිත ජන කොටසක් ලෙස සැලකීමද, එසේ සලකා සමලිංගික ප්‍රජාව විශේෂ/සුළුජන/පීඩිත/උපසංස්කෘතික ජන කොටසක් ලෙස නම් කර ඒ වෙනුවෙන් සුවිශේෂී නීති සම්පාදනය කිරීමද, මේ අනුව නිවැරදි නොවේ. 

සිදුවිය යුත්තේ ඔව්හුද මනුෂ්‍යන් බව ඒත්තුගැනීමය. සෑම මිනිසෙකුටම එක සමාන අයිතීන් ඇති බව පිළිගැනීමය. 

වෙනත් වචනයෙන් කියතොත් අද යහපත් මනුෂ්‍ය සමාජයක් ලෙස පිලිගැනෙනුයේ මහත්මා ගාන්ධිගේ අදහස් (Yes I am, I am also a Muslim, a Christian, a Buddhist, and a Jew) ගලපමින්, කුමාර් සංගක්කාර කල "මම දෙමළ,සිංහල,මුස්ලිම් සහ බර්ගර්. මම බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි" යන්නේම තවදුරටත් ඉදිරියට ගිය සමාජයකි. එනම් "මම විෂම ලිංගික, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, මිශ්‍ර ලිංගික, ස්වයන් වින්දකයන්, gay, lesbian, bisexual සහ transgender'' යැයි කීම පිළිබද විචිකිච්ඡාවක් නොමැති සමාජයක් මිස එසේ කීවිට අනෙකාගේ කකුල් දෙක මැද්ද ගැන විමසිලිමත් වන විලම්භීත සමාජයක් නොවේ. 
*ඉහත දැක්වෙනුවේ බ්‍රිතාන්‍යයේ 6 වසරෙන් ඉහල පාසැලක (secondary school) බිත්තියක තිබු බිත්ති සගරාවකි. එය සමලිංගික ප්‍රජාවද එදිනෙදා ජීවිතයේදී මුණගැසෙන සාමාන්‍ය මනුෂ්‍යයන්ම බව ඉගැන්වීමට යොදාගත්තකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(09/02/17).

6 comments:

  1. බොහොම වටිනවා... මගේ අදහසත් සමලිංගිකත්වයට නීතියෙන් බාධා පැමිණවිය යුතු නැත යන්නයි... ආගම් ගත්තොත් යුදා ආගමේ තමා මේවා තියෙන්නේ... යුදා ආගමට මේවා ආවෙ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්... පැරණි ගිවිසුමේ ගොඩක් කතා එන්නෙත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්... ( දවස් හතෙන් ලෝකය මැවීම, නෝවා වගේ කතා..)

    ReplyDelete
  2. /* සමලිංගිකත්වය පිලිබදව ආබ්‍රහමික ආගම්වල (Abrahamic religion) ස්ථාවරය වන 'පාපයක්' යන්නට වඩා වෙනස් ස්ථාවරයක් හින්දු සහ බෞද්ධ ආගම් තුල දරණ බව පෙනේ. */

    බුද්ධාගමේ මොනව තිබුණත් නැතත් ලංකාවේ සමහර බවුඩ්ඩයින්ට ඒවා වැඩක් නෑ. හොමෝෆෝබියාව දරුණු ලෙස!

    ReplyDelete
  3. අපේ අය හයේ පන්තියේ නෙමේ, වල පල්ලට ගිහින්වත් ඉගෙනගන්නේ නැති පාඩම් කොච්චර තියෙනවද මාකස්......

    ReplyDelete
  4. මා විසින් ලියන ලද සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය පිළිබඳව හෑගොඩ විපස්‌සි හිමියන් විසින් කරන ලද විවේචනය සම්බන්ධවයි
    http://transyl2014.blogspot.ca/2017/02/blog-post_74.html

    ReplyDelete
  5. Thanks Marcus, Excellent writing..:)

    ReplyDelete
  6. නීතිය සහ රීතිය කියලා දෙකක් නියෙනවා.
    ලංකාවේ නීතියට අනුව lesbian, gay, bisexual ක්‍රියා තහනම්. නමුත් රීතියක් හැටියට ඒවා සුළු දුරාචාර.
    ලංකාවේ නීතියට අනුව transgender තත්වය අනුමතයි. චාමි අසංකා කියන හැටියට එයාට සතියක් ඇතුලත ගැහැණියක් ලෙස ලියාපදිංචි වීමට හැකිවුනා. නමුත් සමාජය එවැනි අයව පිලිගන්න සූදානම් නෑ.

    ඕකම අනිත් පැත්තට වෙන රටවළුත් ඇති.

    මම හිතන්නේ අපේ ක්‍රමය හොඳයි.

    ReplyDelete