Sunday, 22 January 2017

මීගමුව කටුවපිටිය ගම, එහි ශා. සෙබස්තියන් පල්ලිය සහ කතෝලික පල්ලියේ දේශීය ලක්ෂණ

සෑම වසරකම ජනවාරි 20 දා ලොවපුරා කතෝලිකයන් ශා. සෙබස්තියන් මුනිදුන්ගේ මංගල්‍ය සමරයි. කතෝලික පල්ලියේ පැරණි සම්ප්‍රදාය අනුව යමින් කදාන ශා. සෙබස්තියන් පල්ලිය මෙන්ම මීගමුව කටුවපිටිය  ශා. සෙබස්තියන් පල්ලිය ද, මොරටුව  සා. සෙබස්තියන් පල්ලියද සිය වාර්ෂික මංගල්‍ය පවත්වනුයේ ජනවාරි 20 දිනට යෙදෙන ශා. සෙබස්තියන් දිනයේදීමය. එඩේරමුල්ල සහ කටුනේරිය ඇතුළු රටපුරාම පිහිටි අනෙකුත් සා.සෙබස්තියන් දේවස්ථානවල මංගල්‍යය යෙදෙන්නේද ඊට ආසන්න දිනවලය.

ඇත්තවශයෙන්ම, මීගමුව කටුවපිටිය පල්ලියේ මංගල්‍යය වූ කලී නත්තලෙන් පසුව  ඇරබෙන මීගමුවේ පල්ලිවල මංගල්‍යය සමයේ ආරම්භය සටහන් කරන්නකි. ජනවාරි 11වෙනිදා කොඩිගස එසවීමෙන් ඇරබෙන කටුවපිටිය මංගල්‍යයෙන් අනතුරුව වැල්ලවීදිය, කට්ටුව, බෝලවලාන, පිටිපන ආදී ප්‍රදේශවල පිහිටි පල්ලිවල මංගල්‍යය යෙදේ. 
ක්‍රි. ව. 256 දී නිරිත දිග ප්‍රංශයේ පිහිටි වෙරල අද්දර කුඩා නගරයක් වන නර්බෝනා (Narbonne) නගරයේන් බිහිවූ ශා. සෙබස්තියන්තුමා  රෝම අධිරාජ්‍යය වෙනුවෙන් සටන්කල සෙන්පතියෙක් විය. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල රෝම අධිරාජ්‍ය තුල ක්‍රිස්තියානි ආගම ඇදහුන්ට මරණීය දණ්ඩනය පමුණුවන ලදී. එහෙත් ක්‍රිස්තියානි ආගම ඉන් යටපත් කිරීමට නොහැකිවිය. රහසිගතව පැතිරගිය ක්‍රිස්තියානි ආගමීක විශ්වාසය රෝම අධිරාජ්‍යයේ සෙන්පතියෙක්වූ සෙබස්තියන් කරාද පැමිණියේ වරක් ඔහු රෝගීව මරණාසන්නව සිටියදී ඔහුට ආවතේවකල සේවකයෙකුගෙන් බව කියවේ. පසුව ක්‍රිස්තියානි ආගම වැළදගෙන එය සෙසු අයටද හදුන්වාදීමට කටයුතු කිරීම නිසා රෝම පාලකයන්ගේ අත් අඩංගුවට පත්වී ඇත. ක්‍රිස්තියානි ආගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සෙසු ක්‍රිස්තියානීන්වද අල්ලාදෙන්නේ නම් ඔහු නිදහස් කොට නැවත සිය තනතුරේම පිහිටවිය හැකි බව රෝම නායකයින් ඔහුට දැන්වුවද ඔහු සිය විශ්වාසය සහ ආගම වෙනුවෙන් දිවිපිදීම තෝරාගෙන තිබේ. ඒ අනුව ගසක බැද හේවායින් විසින් දුනුවිද මරාදැමීමට ක්‍රියාකර ඇත. එමගින් මාරාන්තික තුවාල සිදුවුවද ඔහු මරණයට පත්නොවිණි. ක්‍රිස්තියානීන් විසින් ඔහුව නැවත සුවපත්කර තිබේ. ඉන් වසර කිහිපයකට පසු, එනම් ක්‍රි.ව. 288 දී, නැවතත් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරමින් සිටියදී  ඔහුව අත් අඩංගුවට පත්වී ඇති අතර එහිදී දියෝකිලේටියන් අධිරාජ්‍යගේ(Emperor Diocletian) අණ පරිදි මැරෙන තුරු කටු සැමිටියෙන් (scourge) පහරදී මරණයට පත්කර තිබේ. එසේ ප්‍රාණ පරිත්‍යාගවරයෙක් ලෙස දිවිපුදු සෙබස්තියන්තුමා මරාදැමු ස්ථානයේ දේවස්ථානයක් ඉදිකර ඔහු වෙනුවෙන් යැදීම සහ ඔහුගෙන් පිහිට ඉල්ලා යැදීම ක්‍රිස්තියානීන් පුරුද්දක් කරගෙන තිබේ. විශේෂයෙන්ම වසංගත රෝග සහ වෙනත් රෝගාබාධ වලින් පීඩා විදින්නන්ගේ පිහිටාරක්ෂකයා ලෙස මෙතුමා සලකුණු ලැබේ. ඒ ඇතැම්විට ඔහුගේ ජීවන චරිතය ඇසුරින් විශ්වාසය තුල ශක්තිමත්ව සිටීම තුල සුවය ලැබීම නිසා විය හැක. මේ සියළු තත්වයන් සැලකිල්ලට ගෙන ක්‍රි. ව. 4 වන සියවසේදී මෙතුමාව ශාන්තුවරයකු ලෙස නම් කෙරුණි.

ක්‍රිස්තියානීන් අතර  ශා. සෙබස්තියන් තුමා ලෙඩ රෝග සුවකරන මුනිවරයෙකු යැයි යන විශ්වාසය මාධ්‍යතන යුගයේ දකුණු යුරෝපයේ සහ පෘතුගාලය සහ ස්පාඤ්ඤ ඇතුලත් අයිබිරීයානු අර්ධද්වීපයේ (Iberian Peninsula) බොහෝදුරට මුල් බැසගත් මතයක්යැයි කියවේ. මේ මතය පෘතුගීසි යුගයේ ලංකාව තුලද ක්‍රිස්තියානි ආගම දේශනාකල කතෝලික පියතුමන්ලා විසින් සිය බැතිමතුන් අතර ප්‍රචලිත කර ඇත. එම නිසාම ශා. සෙබස්තියන් මුනිදුන් නමට කැපකළ  දේවස්ථානයක් මෙන්ම ඊට අනුබද්ධව රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපකල ළිදක් ද දැකිය හැකිවිය.  කදාන, මීගමුව, එඩේරමුල්ල,මන්නාරමේ සහ ලංකාවේ ඇති වෙනත් ප්‍රධාන  ශා. සෙබස්තියන් දේවස්ථාන සියල්ලේම පාහේ රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපකල ළිදවල් පැවතීම මෙහිලා උදාහරණය.

පෘතුගීසි යුගයේදී මීගමුවේ ඉදිකල පල්ලි අතර මරියතුමිය වෙනුවෙන් ඉදිකල පල්ලි රාශියක් තිබුනද ශා. සෙබස්තියන් පල්ලියක් පැවති බවට සදහනක් නැත. ඉන් පසුව පැවැති කතෝලික ආගමිකයන්ට පීඩාකල ලංදේසි පාලන සමයේදී ජුසේවාස්, ගොන්සාල්වෙස් ඇතුළු ඔරතෝරියානු පියතුමන්ලා රෝගාබාධ සුවකරන විවිධ සාන්තුවරන් පිලිබද ඇදහිල්ල රට තුල ප්‍රචලිත කල යුගයේදී මීගමුවේද කුඩා ශා.සෙබස්තියන් පල්ලියක් බිහිකල බව කියවුනද  ඒ කොහේදැයි නිශ්චිතව හදුනාගෙන නැත. කෙසේවුවද, අද පවතින ශා. සෙබස්තියන් දේවස්ථාන මෙන්ම, ශා. සෙබස්තියන් වන්දනාවත් රට තුල වඩා ප්‍රචලිතවුයේ ඉංග්‍රීසි යුගයේදී ඉතාලි සහ ප්‍රංශ පියතුමන්ලා ලංකාව තුල සේවය කරමින් සිටි යුගයේදීය.  අද වනවිට මීගමුවේ මුලික වශයෙන් ශා.සෙබස්තියන් දේවස්ථාන  දෙකක් තිබේ. ඒ කටුවපිටිය සහ වැල්ලවීදිය ප්‍රදේශවලය. ඊට අමතරව තවත් ශා. සෙබස්තියන් පල්ලි කිහිපයක්ම තිබේ. ඒ අතර ගිය වසරේ (2016) ජනවාරි 31 දින ශා.සෙබස්තියන් සුරුවම සොරාගත් මීගමුව ඇළපාර ශා. සෙබස්තියන් කුඩා දේවස්ථානයද වේ. ඒගැන මම ලියූ 'ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්' යන ලිපිය මෙතනින් කියවිය හැක. 

ප්‍රංශයේ රේයිම්ස් දේවස්ථානයේ (Reims Cathedral in France) අනුරුවකට අනුව 1936 පෙබරවාරි 02 දින ඉදිකිරීම් ඇරබූ මීගමුවේ වැල්ලවීදිය දේවස්ථානය (ඒ ගැන මා ලියූ සටහන මෙතනින් කියවිය හැක) පැවති භූමියේම පැරණි ශා. සෙබස්තියන් මුනිදුන්ට කැපකළ පල්ලියක් තිබී ඇති මුත්, මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානය මීගමුවේ දැනට ඇති වඩාත් පැරණිම ශා. සෙබස්තියන් දේවස්ථානය ලෙස සැලකේ. මන්ද යත් එම පල්ලිය සතු දත්තවලට අනුව මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය 1869 සිට වර්තමාන දේවස්ථානය පැවති භූමිය තුලම කුඩා දේවස්ථානයක් වශයෙන් පැවැති බවට වාර්තාවී තිබීමය. එහි ඇති රෝගීන් ස්නානය කරන ළිද ද ඒතරම්ම පැරණිය. එය අදටත් භාවිතයට ගන්නා රෝගීන් අතර සුවය පිළිබද ඉහල විශ්වාසයක් තිබේ. පැහැදිලිවම මීගමුව වැල්ලවීදිය ශා. සෙබස්තියන් දේවස්ථානයේ ඇති ළිදට වඩා කටුවපිටිය දේවස්ථානයේ ඇති ළිද රෝගීන් අතර වඩාත් ප්‍රචලිතය. 
කෙසේවුවද, අනාධිමත් කාලයක සිට වසංගත රෝග සදහා දේව පිහිට පැතීමේ සම්ප්‍රදායික සමාජ චාරිත්‍රය මීගමුවේද ප්‍රබලව පැවති බවට තවත් උදාහරණයක් මීගමුව වැල්ලවීදිය පාරේ ඇති වසර 200 කට වඩා පැරණි මුතුමාරි අම්මාන් හින්දු කෝවිල තුලින් අදටත් සොයාගත හැක. අදටද මීගමුව වැල්ලවීදිය පාරේ ඇති පැරණි මුතුමාරි අම්මාන් හින්දු කෝවිල හින්දු භක්තිකයන් අතර වසංගත රෝග සදහා බාරහාර වෙන, සුවපත්වූ පසු බාරහාර සදහා දානය දෙන කෝවිලක් ලෙස ප්‍රසිද්ධය. එම දානය භුක්තිවීමට යාචකයන් දිවාකාලයේදී දේවාලය අසල රැදී සිටීම සුලබහ දසුනකි. 

මෙවැනි සම්ප්‍රදායක සමාජ චාරිත්‍ර ලාංකික කතෝලික ජනයා අතර ද නොනැසී පවතින බවත්, මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානය එවැනි වසංගත රෝග සදහා බාරහාර වෙන ස්ථානයක් ලෙස ප්‍රචලිත බවත්,  හලාවත, ඉරණවිල, අඔකදවල, ආදී ඈත එපිට ප්‍රදේශ වල  සිටින ජනයා පවා වසංගත රෝග සහ වෙනත් ලෙඩ රෝගපීඩා සුවවීම සදහා මෙම දේවස්ථානයට බාර වෙන බවත්, සුවවූ පසු ඔවුන් මීගමුව ශා. සෙබස්තියන් දේවස්ථානවලට පැමිණ එහි ළිදෙන් නා දානයක් දී යෑම සිදුකරන බවත්  R. L. Stirrat (2006) ලියූ  'Power and Religiosity in a Post-Colonial Setting: Sinhala Catholics in contemporary Sri Lanka' යන කෘතියේ 157 පිටුවේ දැක්වේ. 

මීගමුව නගර මාධ්‍යයේ සිට කිලෝමීටර් දෙකක් පමණ රට තුලටවීමට පිහිටි ඇති කටුවපිටිය ගම සහ කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය පිහිටි පරිසරයද මෙවැනිම පැරණි සමාජ චාරිත්‍ර සදහා වඩා ගැලපෙන නිස්කලංක පෙදෙසකි. ලෝක ප්‍රකට ක්‍රිස්තියානි සමාජ චින්තකයෙකු මෙන්ම වරක් කතෝලික පල්ලිය තුල විශාල ආන්දෝලනයක් ඇතිකළ  'Mary and Human Liberation' (1990) කෘතිය සහ විවාදයට තුඩුදුන් 'Sri Lanka Economy in Crisis' (1981) සහ 'Eucharist and Human Liberation' (2004) යන කෘතින් ලියූ මරදාන මෙන්ම මීගමුව සමාජ සහ ආගමීක කේන්ද්‍රයේ නිර්මාතෘ (Centre for Society and Religion-CSR-Colombo and Negombo) ගරු තිස්ස බාලසුරිය පියතුමාගේ උපන්ගම වූයේද මෙම කටුවපිටිය ග්‍රාමය ය. අද මීගමුව සමාජ සහ ආගමීක කේන්ද්‍රය පිහිටා ඇත්තේ කටුවපිටිය පල්ලිය පාරේ පිහිටි එතුමාගේ මහ ගෙදරය.  තිස්ස බාලසුරිය පියතුමාගේ ජීවන චරිතය හා ඔහුගේ ගම සමග බැදී ඇති විස්තර කථාකර ඇති සෑම විටම මට පෙනීගියේ මීගමුව කටුවපිටිය ග්‍රාමය යනු දියකඩිතිවලින්, වෙල්යායන්ගෙන් සහ රූස්ස ගස්වලින් වැසුණු මීගමුවට ආසන්නයේ පිහිට සුන්දර ගම් පෙදෙසක්වූ බවය. අතීතයේදී කරත්තවලින් පැමිණි බැතිමතුන් කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලියේ කුඩා කුඩාරම් තනාගෙන එහි රැදී සිට උයාපිහාගෙනකා, දිනගණන් ආගමික වතාවත්වලට නිරතවී නැවත ගිය බව සදහන්වේ. මීට වසර ගනනාවකට පෙර මෙම දේවස්ථාන භූමිය ඉතා විශාල වෘක්ෂයන්ගෙන් වැසී ගිය රතු පස් තිබු විශාල භූමියක් විය. අද ඉතා ජනාකීරණව පැවතියද කටුවපිටියේ ග්‍රාමයේ සහ ශා. සෙබස්තියන් පල්ලිය අවට ප්‍රදේශයේ තවමත් එම සුන්දර පාරිසරික ලක්ෂණ අතරින්පතර හෝ දැකිය හැක. 

යටත්විජිත යුගයේදී මීගමුව කටුවපිටිය අවට පොල් සහ වෙනත් වගාවන් වැවූ වතුයායවල් තිබී ඇත. එම වතුවලට යෑම සදහා මහහුණුපිටිය, නුගගහමුල්ල සහ කටුවපිටිය යන ප්‍රදේශ සම්බන්ද කර යටත්විජිත පාලකයින් ඉදිකළ මංමාවත් 1968දී නැවත අළුත්වැඩියා කිරීමට සහ තවත් දිගු කිරීමට සැලසුම් කල බව 1968 රජයේ අදායම් වාර්තාවේ සදහන්වේ Estimates of the Revenue and Expenditure of the Government of the Republic of Sri Lanka Ceylon  (1968)
මේ සියළු තොරතුරු ඇසුරින් මීගමුව කටුවපිටිය ග්‍රාමය පැවති ආකාරය ගැන යම් චිත්‍රයක් අපට ගොඩනගා ගත හැක. එහෙත් මෙම ග්‍රාමය ගැන ඊටත් වඩා ඈතට ගිය අධ්‍යනයක් කටුවපිටිය පල්ලියේ මීසම් පාලක පියතුමෙකු ලෙස වසර ගනනාවක් ගත කල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සහසිකයන් විසින් කෲර ලෙස ඝාතනය කල අබා කොස්තා පියතුමා විසින් සිදුකර තිබුනි. හෙළ හවුලේ සාමාජිකයෙක්වූ එතුමා කටුවපිටිය ග්‍රාමයට නම සෑදුන ආකාරයද  හෙළ උරුවට දක්වමින් පවසා සිටියේ එය කටුව+පිටිය හෙවත් අලි ලැග සිටි පිටියක් බවය. මෙහිදී කටුව යනු අලි යන අරුතක්ද ඇති බව ඔහුගේ අදහසය. අබා කොස්තා පියතුමා මීගමුව කටුනායක, කුරණ, බෝලවලාන, කටුවපිටිය, දළුපොත,  දළුවකොටුව, කට්ටුව, කදවල, සහ ඇත්ගාල යන සියළුම මීගමුවේ වෙරළ අද්දර නොවන රට ඇතුලටවීමට ඇති ගම් සියල්ල අලින් සම්බන්ද කරමින් විග්‍රහ කරයි. පසු අවස්ථාවක මේ ගැන තවදුරටත් ලිවීම මගේ අපේක්ෂාවය. 

මීගමූව තිල්ලන්දුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ මීසම් පාලක පියතුමන් ලෙස සේවය කරමින් සිටි 78 හැවිරිදි ඇල්ප්‍රඩ් බර්නාඩ් අබා කොස්තා පියතුමාව මම අවස්ථා කිහිපයකදීම  හමුවී ඇත. එහිදී හෙළ උරුවට මෙන්ම අලි සම්බන්ද කරමින් මීගමුවේ ගම්වල නම් විග්‍රහ කිරීමේ ගැටළුව ගැන මම එතුමා සමග කටුවපිටිය ග්‍රාමයේ නාමය ඇසුරින්ම සාකච්ඡා කර තිබේ. මගේ අදහසවුයේ රාජාවලියේ එන පටුනුගම් (ධීවර ගම්)  සහ වෙනත් ගම් බෙදා වෙන්කර 'කටුපිටි' ගම්  ඇසුරින් කටුවපිටිය නම සෑදුනා විය හැකි බවය. ඒ අනුව මම යෝජනා කලේ  කටුව යනු ගමකින් ගමක් වෙන්කරන මායිම යන්නය. 
    කටුවපිටිය= කටුව+පිටිය. 
    කටුව= ගමකින් ගමක් වෙන්කරන මායිම.
    පිටිය= මායිම, තැන්න 
එහිලා මගේ උදාහරණය වුයේ කටුපිටිමාදම්පේය ගම පිළිබද විග්‍රහ සහ කඩඉම්පොත් විමර්ශනය නම් කෘතියය.  එතුමා මගේ අදහසටද පදනම් ඇති බව පිළිගන්නා ලදී. 

කෙසේවූවද, කටුවපිටිය පල්ලියේ මීසම් පාලක පියතුමන් ලෙස සේවය කරමින් වර්තමාන කටුවපිටිය පල්ලිය බිහිකිරීමට කටයුතු කලේ එතුමාය. පැරණි කුඩා පල්ලිය කඩා දැන් ඉදිකර ඇති කටුවපිටිය පල්ලිය බැලූ බැල්මට සිහිකරනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය ය. එයට හේතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියාවූ ෂර්ලි ද අල්විස් (Sherly de Alwis) මහතා විසින් මෙම දේවස්ථානය නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් ලබාදීමය. ෂර්ලි ද අල්විස් (Sherly de Alwis) මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමට පෙර දැන් මීගමුව නිවුස්ටඩ් විදුහලට අයත්වන මීගමුව නගර සභාවේ ප්‍රථම නගර සභා ගොඩනැගිල්ල 1941 දී ඉදිකල බව මම මීට පෙර දක්වා තිබුනි. මීගමුව කටුවපිටිය පල්ලිය වූ කලී  ෂර්ලි ද අල්විස් (Sherly de Alwis) මහතා මීගමුවේ තැබු දෙවන පිය සටහනය. ඒ එක් අතකින් මීගමුවේ පල්ලි ඉදිකිරීමට යුරෝපියානූ ගෘහ නිර්මාණ ශිල්පය ඉතා ඉහලින් භාවිතා කරමින් සිටි යුගයකදීය. 1936 දී ඇරැබි ප්‍රංශයේ රේමිම් දේවස්ථානයේ (Reims Cathedral in France) අනුරුවකට අනුව මීගමුව වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය ඉදිකිරීම ඒ වනවිටත් මහා පරිමාණයේන් දියත්වෙමින් තිබුණි. කලකට පෙර ඉදිකිරීම් අරභා අතරමග නවතා දමා තිබු කටුවපිටිය පල්ලිය ඉදිකිරීම අබා කොස්තා පියතුමා  එම දේවස්ථානයේ මීසම්භාර පියතුමා ලෙස පත්ව පැමිණ ටික කලකින්ම ෂර්ලි ද අල්විස් (Sherly de Alwis) මහතා හදුන්වාදුන් දේශීය ලක්ෂණ රැගත් ගෘහ නිර්මාණය ශිල්පයට අනුව    කටුවපිටිය ශ. සෙබස්තියන් පල්ලිය  ඉදිකිරීම ඇරබිණි. 

මෙම පල්ලියේ වාර්ෂික මංගල්‍ය සැමරීම සදහා දේශීයත්වයට මුල් තැනක් දෙමින් පොල් තොරණන් ඉදිකිරීම්ද අරභා තිබේ. එවැනි දේශීය ලක්ෂණ රැගත් ප්‍රථම පොල් තොරණක් 1953 යේදී පල්ලියේ වාර්ෂික මංගල්‍ය සදහා ඉදිකල බවට සාක්ෂි තිබේ. තවද මීගමුවේ මහා සිත්තරාවු, මීගමුව මහවිදිය දේවස්ථානය සිතුවමින් වර්ණවත් කල, N.S. ගොඩමාන්න ශූරීන්ද කටුවපිටිය  පල්ලියේ එක් මංගල්‍යක තොරණකට චිත්‍ර ඇදි බව මම කියවා ඇත. වාර්ෂික මංගල්‍ය සදහා ඉදිකල පොල් තොරණනට අමතරව තවත් තොරන් 20-30 ක් පමණ මීගමුව කටුවපිටිය පල්ලියේ මංගල්‍යය වෙනුවෙන් එම ගම්වාසීන් ඉදිකරයි. ඒ අතර අන්නාසි තොරන්, පිල්පිති තොරන්, වතුර ගලායන තොරන්, මයිලෝ තොරන් ආදිය ද වේ. එම තොරන්වලින් කිහිපයක පින්තූර මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලියේ facebook පිටුව තුලින් සොයාගැනීමට ලැබුණි. ඒවා පහතින් දැකිය හැක. මීගමුවේ පල්ලිවල වාර්ෂික මංගල්‍ය සදහා ඉදිකරන තොරන් සම්බන්දයෙන් යම් අවදානයක් යොමුකිරීම ද වැදගත්ය. මන්ද ඒවාද මීගමුවේ සාම්ප්‍රදායික කලාශිල්ප අතරට ගැනිය යුත්තක් වන බැවිනි. 

මේ සියල්ල තුල මට කිව හැක්කේ මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලිය යනු ශ්‍රී ලංකා කතෝලික පල්ලියේ කාලානුරූප හැරවුම් සලකුණක් විය  හැකි බවය. 

***මෙම ලිපිය ලිවීමට මීගමුව කටුවපිටිය ශා. සෙබස්තියන් පල්ලියේ facebook පිටුවෙන් විශාල ඡයාරූප ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවීය. ඒ සදහා ඔවුන්ට මගේ ස්තූතිය සහ ප්‍රශංසාව හිමිවේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
22/01/2017.



Tuesday, 17 January 2017

මීගමුව මහනගර සභාවට සිය ලාංචනයවත් රැකගැනීමට හැකිවේද ?

කුඩා ධීවර ගම්මානයක්ව පැවති මීගමුව මධ්‍යතන යුගයේ යුරෝපීයානු අර්ථයෙන් යුත් කොටුවක්, පල්ලියක්, වෙළද පොළක්, ප්‍රවාහන ක්‍රමයක් (වරායක්), පරිපාලන මධ්‍යස්ථානයක්, නිලධාරින් සහ හමුදාවක් සහිත නාගරික බල ප්‍රදේශයක් ලෙස වර්ධනයවීම ඇරබෙනුයේ පෘතුගීසින් විසින් 1523 දී මීගමුවේ කොටුවක් ඉදිකිරීමත් සමගය. මෙම මධ්‍යතන යුගයේ යුරෝපීයානු ලක්ෂණයන් ඇතුලත් මීගමුව පෘතුගීසි නාගරික ප්‍රදේශය (Portuguese city of Negombo) බිහිවීමට පෙර අරාබි, ඉන්දීය සහ වෙනත් පෙර-අප‍රදිග ජාතීන් පැමිණි වරායක්, වෙළද පොළක්, කඩමන්ඩියක්, දේවාලයක් සහ කම්හල් තිබූ නාගරික ප්‍රදේශයක්  මීගමුව කම්මල්තුරේ ප්‍රදේශය ආශ්‍රිතව  පැවති බවට Cosme Jose Costa (1990) Life and achievements of blessed Joseph Vaz: Apostle of Canara and Sri Lanka සහ සුසන්ත ගුණතිලකගේ (2010) A 16th Century Clash of Civilizations: The Portuguese in Sri Lanka කෘති ඇසුරින් මම මීට පෙර පෙන්වාදෙන ලදී. 

එහෙත් මීගමුව කුට්ටිදූව ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පෘතුගීසින් බිහිකළ මීගමුව නාගරික ප්‍රදේශය (Portuguese city of Negombo) වඩාත් සංවිධානාත්මක නාගරික බල ප්‍රදේශයක් ලෙස වර්ධනයවීම සිදුවන්නේ ලන්දේසීන්ගේ බත්වියානු (ඉන්දුනීසියා) අණදෙන නිලධාරීයා වූ ජෙනරාල් Francois Caronගේ නායකත්වයෙන් යුත් ලන්දේසි හමුදා  1644 ජනවාරියේදී  මීගමුව කොටුව සහ නගරය සිය පාලනයට නතුකරගැනීමත් සමගය.  ඉන් අනතුරුව ලන්දේසීන් මීගමුව කොටුව වඩා ශක්තිමත්කර, ඒ වටා පවුරක් ඉදිකර, ඇළ මාර්ග සහ විධිමත් මංමාවත් පද්ධතියක් සහිත, වඩා අලංකාර සහ ක්‍රමවත් නගර සැලැස්මක් සහිත නගරයක් සහ නාගරික බල ප්‍රදේශයක් බවට මීගමුව පත්කළේය. ලන්දේසීන්ගේ මීගමුව නගර නිර්මාණය ගැන මම මීට පෙර ලියූ 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්' නම් ලිපියේ  ඒ ගැන සාකච්චා කර තිබේ. (එය මෙතනින් කියවිය හැක)
තවද ලන්දේසින් මීගමුව නාගරික බල ප්‍රදේශය සදහා වෙනම ලාංචනයක්ද හදුන්වාදුනි. ඉහතින් දැක්වෙනුවේ එම ලාංචනය ය. මීගමුවට අදාල වතුර සහ භාජනයක් දැක්වෙන මෙම ලාංචනය ලන්දේසීන් නිර්මාණය කර ඇත්තේ මීගමුව කුට්ටිදූව (දෙමළෙන් ළමයින්ගේ දූපත යන අර්ථය ඇති) ආශ්‍රිත ප්‍රදේශවල පැවති සුවිශේෂී වතුර රැස්කරන ක්‍රමයක් ඇසුරින් බව Charles Pridham, (1849), An historical, political, and statistical account of Ceylon and its dependencies සහ R. L. බ්‍රෝහියර් (R.L. Brohier) ගේ 'Links between Sri Lanka and the Netherlands' (1978) යන කෘතිවල දක්වා තිබේ. මේ සම්බන්දයෙන් මම ගිය වසරේ පෙබරවාරියේ ලියූ 'මීගමුවේ වතුර ප්‍රශ්නය සහ එය අතීතයේදී විසදාගත් ආකාරය - 1849 Charles Pridhamට අනුව.....' යන ලිපියේ විස්තරකර ඇත. (එය මෙතනින් කියවිය හැක). ලන්දේසීන් මීගමුව නාගරික බල ප්‍රදේශය සදහා හදුන්වාදුන් මීගමුව නගර ලාංචනය 1796 දී ලන්දේසීන්ගේ පාලනය අවසන්වී මීගමුව බ්‍රිතාන්‍ය පාලනයට නතුවීමෙන් අනතුරුවද භාවිතාවී තිබේ. 

බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1820 න් පසුව බ්‍රිතාන්‍යයන්  මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට පත් කිරීමට කටයුතු කල අතර මීගමුව කොළඹ පරිපාලන දිස්ත්‍රිකයේ කොටසක් බවට පත්කලහ. පසුව 1878 ජනවාරි 04 දින පළාත් පාලන ක්‍රමයක් හදුන්වාදෙමින් මීගමුව නාගරික මණ්ඩලය හෙවත් Negombo Urban Council ය පිහිටවීය. ඒ අනුව මීගමුව නාගරික මණ්ඩලය වූ කලී බ්‍රිතාන්‍යයන් ලංකාවේ පිහිටවූ පලාත්පාලන ආයතන අතරින් ප්‍රථමයෙන්ම පිහිටවූ පැරණිම පලාත් පාලන ආයතනවලින් එකකි. ඉඩම් හිමි වැවිලි කරුවෙකු මෙන්ම පහත රට වැවිලි කරුවන්ගේ සංගමයේ ප්‍රධානියෙක් වූ E. A. රාජපක්ෂ මහතා  එහි ප්‍රධානියා විය. 


1920 බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නව පනතක් අනුව (The Local Government Ordinance No. 11 of 1920) 1922 ජනවාරි 01 දින, එතෙක් වසර 44 ක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවති  මීගමුව නාගරික මණ්ඩලය හෙවත් Negombo Urban Council ය මීගමුව නාගරික දිස්ත්‍රික් සභාවක් බවට පත්කළේය (Negombo District Council). එසේ කොළඹ දිස්ත්‍රිකය යටතේ පැවත පසුව නාගරික දිස්ත්‍රික් සභාවක් බවට පත්වූ මීගමුව නාගරික බල ප්‍රදේශය 1978දී නව පරිපාලන දිස්ත්‍රික පිහිටවීමේදී නව දිස්ත්‍රික්කයක් බවට පත් නොකර අළුතින් ඇටවූ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත්කීරීම කෙතරම් අසාධාරණ, ශෝකනීය තත්වයක්ද?  

කෙසේවුවද, 1937 දී නාගරික දිස්ත්‍රික් සභාවක සිට මීගමුව නගර සභාවක් බවට පත්කිරීමේ මුලික කටයුතු සැකසීමට බ්‍රිතාන්‍යයන් විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව එවකට මීගමුව දිස්ත්‍රික් සභාවේ නාගරික ලේකම්වරයා වූ  අර්ල් ද අල්විස් මහතා විසින් අළුතින් පිහිටවීමට යන මීගමුව නගර සභාවට නිල ලාංඡනයක් අවශ්‍ය යැයි  දන්වන ලද අතර ඒ සදහා තරඟයක් සංවිධානය කරන ලදි. එහිදී මීගමුවේ මයිකල් ආන්ජලෝ ලෙස සලකන මීගමුවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක්වූ N.S. ගොඩමාන මහතා ඉදිරිපත්කල නිර්මාණයට ප්‍රථම ස්ථානයත්, එවකට පේරදෙණිය උද්හිද විද්‍යායතනයේ චිත්‍රශීල්පීයා වූ ජෝර්ජ් අර්ල්ස් මහතා ඉදිරිපත් කල නිර්මාණයට දෙවන ස්ථානයත් හිමිවිය. 

මෙම දෙපොළගේම නිර්මාණවල වූ පොදු ලක්ෂණයක් වුයේ මීගමුව නගරය බිහිකිරීමට ඉවහල් වූ මීගමුව කොටුව මීගමුවේ කේන්ද්‍රීය ලක්ෂණය ලෙස සලකා සිය  නිර්මාණයන් ඉදිරිපත් කිරීමය. තවද මීගමුව ධීවර කර්මාන්තය දෙදෙනාම පොදුවේ සිය නිර්මාණයන්හී  දක්වා තිබුණි. එම පොදු ලක්ෂණ අතර වෙනස්කම් කිහිපයක්ද විය. 

එනම් N.S. ගොඩමාන මහතා ඉදිරිපත්කල නිර්මාණය තුල එවකට ඔහුගේ ඉතාමත් සමීප මිතුරෙකුවූ,  මීගමුව හෙළ හවුලේ නායකයා මෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ එවකට මීගමුව ප්‍රධාන සංවිධායකයා වූ ව.ස. ප්‍රනාන්දු මහතා හෙවත් සන්තියාගෝ ප්‍රනාන්දු නොහොත් සන්තියාගෝ ගුරුන්නාන්සේ ප්‍රචලිතකල 'මීගමුවේ නම නිර්මාණය වුයේ විහාර මහා දේවියගේ දොළදුක නිවූ මීවදය මීගමුවෙන් සොයාගත් නිසායයි' යැයි යන කථාව නිරූපණය කිරීමට මී මැස්සේක් ඇද තිබීමය. 

අනෙක් අතට පේරදෙණිය උද්හිද විද්‍යායතනයේ චිත්‍රශීල්පීයාවූ ජෝර්ජ් අර්ල්ස් මහතා  ඇද තිබූ චිත්‍රයේ මී ගසක් සහ කුරුදු පැලයක් ඇද තිබුණි. මී ගස නියෝජනය කරමින් ජෝර්ජ් අර්ල්ස් මහතා දක්වා තිබුනේ මීගමුවේ නම නිර්මාණය වීම පිලිබදව පැවති අනෙක් කථාව වන 'මීගස් ගොන්න' හෙවත් මීගමුව යන්න නිරූපමනය කිරීමය. එමෙන්ම කුරුදු වූ කලී මීගමුවේ නම කාලයක් තිස්සේ ලොව පුරාම ප්‍රචලිත කල එවකට මීගමුවේ බහුලව පැවති ශාකයක් විය. ලන්දේසි ජාතික ෆන්රී ආණ්ඩුකාරවරයාගේ සහ මැට්සූකර්ගේ ලන්දේසි වාර්තාවලින්ද, නොර්ත් ආණ්ඩුකාරවරයා කුරුදු වැවීමට මරදාන හා මීගමුවේ කදිරාන නම් ප්‍රදේශ තෝරාගැනීමෙන් ද එය තවදුරටත් සනාථ වේ.

මීගමුව නගර ලාංචනය නිර්මාණය කිරීමට පත්කර තිබු කමිටුවේ ප්‍රධානියාවූ එවකට මීගමුව දිස්ත්‍රික් සභාවේ නාගරික ලේකම්වරයා වූ අර්ල් ද අල්විස් මහතා විසින් N.S. ගොඩමාන මහතා සහ ජෝර්ජ් අර්ල්ස් මහතා විසින් අදින ලද ලාංචන දෙකම ඇසුරින් නව ලාංචනයක් නිර්මාණය කිරීමට තීරණය කළේය. එහිදී ව.ස. ප්‍රනාන්දු (සන්තියාගෝ ගුරුන්නාන්සේ) ආදීන් ප්‍රචලිතකල 'මීගමුවේ නම සෑදුනේ විහාර මහා දේවියගේ දොළදුක නිවූ මීවදය ඇසුරෙන්' යැයි යන කථාව ප්‍රබන්ධයක් බවත්, මහා වංශයේ සහ ථුප වංශයේ දක්වා ඇත්තේ විහාර මහා දේවිගේ දොලදුක පිනවූ මී වදය සොයාගත්තේ 'ගොළු මුහුද වෙරළින්' බවත්, ඒ ගොළු මුහුද යනු දකුණු මුහුද මිස මීගමු මුහුද නොවන බවත් පිළිගන්නා ලදී. 

එහෙත් එම ප්‍රබන්ධය තුල මීගමුව මහාවංශය මුල්කරගත්  රටේ ප්‍රධාන ජාතික ඉතිහාසයට සම්බන්ද කරන බැවින් මී මැස්සා මීගමුවේ නගර ලංචනයට යොදා ගැනීම වැදගත් යැයි සැලකීය. එමෙන්ම ඒ වනවිට ද මීගමුවේ කුරුදු වගාව සහමුලින්ම පාහේ බිද වැටී තිබුන ද කුරුදු සහ මීගමුව අතර ඇති සම්බන්දය සැලකිල්ලට ගෙන ජෝර්ජ් අර්ල්ස් මහතාගේ චිත්‍රයේ දැක්වූ කුරුදු පැලයද මීගමුව නගර ලංචනයට එක් කරගන්නා ලදී.

මේ දෙපලගේම නිර්මාණවලට පරිබාහිරව 'නැගෙන හිරු' සලකුණද ඇතුල්කරගෙන ඇත. එමගින් විදේශ ආධිපත්‍යයෙන් මිදෙමින් ක්‍රමයෙන් ස්වයංපාලන අයිතිය ලබා නිදහසේ අරුණාලෝකය ලබන ජාතියකගේ බලාපොරොත්තුව සංකේතවත් කරන බව දැක්වේ. එහෙත් මෙම නැගෙන හිරු සලකුණ මීගමුවේ දෙමළ බස කතාකරන, මීගමු ජන සංයුතියේ ප්‍රධාන ජනවර්ගයක් වන 'කරාව ජනයා' සහ ඔවුන්ගේ පැරණි කොඩිය නියෝජනය වෙන බව මීගමු වැල්ලවීදියේ වර්ණකුලසූරිය පරපුරේ ප්‍රධානියෙක් මීට කලයකට පෙර මට දන්වා තිබුණි. රගුවාන් ගේ  කරාව වංශකථාව කියවා ඇති, කරාව කොඩි ආදිය ගැන යම් අධ්‍යනයක් කර ඇති මට එම කථාවේ යම් පසුබිමක් ඇති බව පිළිගැනීමට අපහසු නැත. 

ඒ සියල්ලම තුල මීගමුව නගර ලාංචනය සිය තේමාව කරගත්තේ මීගමුව නගරයේ ඇති ප්‍රධාන ගතික ලක්ෂණය වන සියළු ආකාර ආගම්, ජාති, භාෂා, කුල ආදී විවිධත්වයන් තුල ඇති සමගිය, සාමය සහ එකමුතුකමය හෙවත් Unity, Peace and concord යන්නය. 

එයට අමතරව මීගමුවේ ප්‍රධාන කර්මාන්තය වන ධීවර කර්මාන්තය  සහ එම සම්ප්‍රදායක ධීවර කර්මාන්තය සදහා මීගමුවේ භාවිතා කරන, මීගමුවටම ආවේනික, රුවල් ඔරුවද, ලොව පතල සංචාරක පුරයක් ලෙස මීගමුවේ නම රැන්දූ මීගමුවේ රන්වන් වෙරළද, මීගමුවේ ආහාර සංස්කෘතිය තුල වඩාත් ප්‍රසිද්ධ රසවත් කැකුළුවාද දැක්වේ.
මෙලෙස නිර්මාණය කල මීගමුව නගර ලාංඡනය 1940 ජනවාරි 13 පිහිටවූ මීගමුව නගර සභාවේ URBAN COUNCIL ලාංඡනය විය. 1950 දී මිගමුව නගර සභාව මහනගර සභාවක් MUNICIPAL COUNCIL බවට පත් කිරීමෙන් අනතුරුව ද, අද දක්වාම එය භාවිතයට ගනී.

එහෙත් අද ප්‍රශ්නය වන්නේ මෙම ලාංඡනය තවදුරත් මීගමුව නගර සභාවට භාවිතා කිරීමට හැකිවේද යන්නය. ඒ  පැහැදිලිවම නගර සභාවේ රාජකාරී ලිපි ලේඛන වලදී මෙන්ම වෙනත් බොහෝ අවස්ථාවලදී මෙම නිල ලාංඡනය වැරදි ලෙස භාවිතා කරන නිසාම නොවේ. (පහතින් දක්වෙනුවේ එවන් වැරදි ලෙස මුද්‍රණය කල ලාංඡනය.) 





                      











අද ප්‍රශ්නය ඊට වඩා දරුණුය. එනම් මෙම ලාංඡනයේ ප්‍රධාන අංගය වන මීගමුව නගරය නිර්මාණය කල මීගමුව කොටුව කඩා වැටීමට ඉතාමත් ආසන්නය. මීගමුව, කදවල ලන්දේසී කුළුණට අත්වූ ඉරණම මීගමුව කොටුවට සහ මීගමුව කොටුවේ ඔරලෝසු කණුවට අත්වීමට ඉතා ආසන්නය. ඒ ගැන මම ලියූ මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ" ලිපිය ඔස්සේ සාකච්ඡා කර ඇත. (එයට මෙතනින් පිවිසිය හැක)
එය රැක ගැනීමට මීගමුව මහ නගර සභාව කරන්නේ කුමක්ද? එවැනි සෝචනීය ඉරණමක් මීගමුව කොටුවට ද අත්වන තුරු මීගමුව නගර සභාව බලා සිටීද? 
මීගමුව මහ නගර සභාවට සිය මුල්ම නගර ශාලාව වූ මීපුර පුරහලවත් රැක ගැනීමට නොහැකිවිය. ඒ ගැන මම මීට පෙර ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' යන ලිපියේ ලිය ඇත. (එයට මෙතනින් පිවිසිය හැක)

එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිර්මාණය කල ගෘහ නිර්මාණ ශිල්පීයාවූ ෂර්ලි de අල්විස් (Sherly de Alwis) විසින් නිර්මාණය කල මීගමුව නගර සභාවේ ප්‍රථම නගර සභා ගොඩනැගිල්ල ද දැන් අයත් වන්නේ මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහලටය. (ඒ ගැන මා ලියූ සටහන කියවීමට මෙතැනින් පිවිසෙන්න).
දැන් මීගමුව කොටුව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සංරක්ෂණය කරන තෙක් බලා සිට මීගමුව මහ නගර සභාව සිදුකරන්නේ සිය ලාංඡනයේ මුලික රූපයත් නැති කරගැනීම නොවේද? 

මීගමුව මහනගර සභාවට සිය ලාංචනයවත් රැකගැනීමට හැකිවේද? යනුවෙන් මම අදහස් කලේ එයය.  මීගමුවේ නගර වැසියන්ගේ ප්‍රධාන පුරාවස්තුව මෙන්ම මීගමු නගර වාසීන්ගේ අනන්‍යතාවයේ සංකේතය වන මීගමුව කොටුව රැක ගැනීමට මීගමුව මහ නගර සභාව කරන්නේ කුමක්ද?






මාකස් ප්‍රියන්ත පෙරේරා
17/01/17.

Wednesday, 11 January 2017

වීරවංසගේ ලත්පදුරේ දේශපාලනය සහ අප ඉල්ලන පැස්කුවෙල්ගේ කැලිඩෝ දේශපාලනය

කළුතර දිස්ත්‍රිකයෙන් වාමාංශික දේශපාලනයට පැමිණ සමාජවාදය වෙනුවට ජාතිකවාදී දේශපාලනය කරපින්නාගත් පුද්ගලයින් ගණන අනන්ත අප්‍රමාණය. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ නව සමසමාජ පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කල නලීන් ද සිල්වා මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාද මෙහිදී ඒකවිට මතකයට එන නමුදු චම්පික රණවක සහ විමල් වීරවංස ඔවුන් සියල්ලන්ටම වඩා ඉස්මතුව පෙනේ. ඒ අතරින් සිය ඥාති-මිත්‍රාදීන්ට මහජන මුදල්වලින් සැප-සැපත්, යාන-වාහන ආදිය ලබාදීම නිසාම විමල් වීරවංස පසුවනුයේ ඉතා කූජිත තැනකවූ නමුදු රාජපක්ෂලා බලයටගෙන ඒමට උගුරු ලේරහවෙනතුරු හඩ නැගුවෙක් ලෙසත්, ජාතිමාක, දේශමාපක, ඉන්දියානු විරෝධී අධිරාජ්‍ය විරෝධී සටන්පාඨ නිතර ඉහලින්ම ඔස්සවා තැබුවෙක් ලෙසත් සියල්ලන් අතරින් වැඩි අවධානයක් ඔහු දිනාගෙන තිබෙන බව පැහැදිලිය. 

කළුතර තරුණ බෞද්ධ සංගමයේ සිටි අපේ ඇතැම් මිතුරන් මෙන්ම කළුතරින් බිහිවූ බොහෝ වමේ දේශපාලඥයින් ද අපට කිව්වේ ලංකාවේ දේශපාලනය හදුනාගත යුත්තේ කළුතර ලත්පදුරෙන් බවය. එහෙත් අපි කිව්වේ ලංකාවේ දේශපාලනය හදුනාගැනීමට කළුතර ලත්පදුරත්,  කළුතර බෝධියත්, කළුතර කැලිඩෝ වෙරළත් එක ලෙසම වැදගත් බවයි. ඉන් කියවෙන්නේ කුමක්ද යන්න කළුතර දිස්ත්‍රිකයේ ලත්පදුරේත් සහ කැලිඩෝ යන ප්‍රදේශ දෙක පිලිබදව විමසා බැලීමෙන් අවබෝධ කරගත හැක.

ලත්පදුර යනු  අගලවත්ත සහ බදුරළිය අතර පිහිටි සුන්දර පිටිසර ගමකි. එය කලක් සිංහරාජ මහවනයේ කොටසක්ව පැවති බවට අදටත් එම පෙදෙසේ ඉතිරීවී ඇති මහා වෘක්ෂ සාක්ෂිදරනු ඇත. යටත්විජිත පාලකයන් විසින් ඒ මහා වනයේ කොටස් හෙළිපෙහෙලිකර සිලින් දෙකට-තුනට  ව්‍යාපාරිකයන්ට  වතුවගාව සදහා  විකුණා ඇති බව එහි අදටත් ඇති තේවතු-රබර්වතු තවමත් සාක්ෂි දරනු ඇත. ඒ හේතුවෙන් පරිසරයේ සමතුලිත බව බිදවැටී, මුඩු බිම් බිහිවි, ගංවතුර ආදී තර්ජනවලට ලක්වූ පීඩිත ගැමි ජනතාවක්  එහි සිටී. ඒ සියල්ල අතර මෙම පෙදෙසට ප්‍රෞඩ ඉතිහාසයක්ද හිමිය. ලක්පදුර අයත්වන්නේ පාරින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටය. පාරින්දනුවර යනු වීදිය බණ්ඩාර කුමාරයා පෘතුගීසින්ට එරෙහිව සටන්කිරීමට රෝදබැදගත් ස්ථානයකි. ඉන් එපිට ඇති බදුරළිය යනු සුද්දන්ගේ බදුවලට එරෙහිව නැගීසිටි බදු-රැළිය යන්නෙන් බිදී ආ බවක් කියවේ. 

එහින් අධිරාජ්‍යවාදීන් මේ සරිලකට කල හානිය සහ ඊට විරුද්ධව නැගී සිටි ප්‍රෞඩ ඉතිහාසයක් හිමි ජාතියකගේ අධිරාජ්‍ය විරෝධී ජාතික සහ වාමාංශික දේශපාලනය විස්තර කරදීමට ලත්පදුර තරම් තවත් උදාහරණයක් කළුතර තිබේද? 

එහෙත් එම දිස්ත්‍රික්කයේම පිහිටි කැලිඩෝ වෙරළ (Calido beach) එයට වඩා ඉදුරාම වෙනස්ය.  එහි කිසිදු ජාතිමාපක-දේශමාපක ගතියක් නැත. හරිත වර්ණ, නේක පත්‍ර වෘක්ෂයෝද එහි නැත. ඇත්තේ තඹ පාට වෙරළ සිබින නිල්වන් මුහුදු තීරය පමණි. ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කල, අධිරාජ්‍යවාදයේ පීඩනයෙන් හෙම්බත්වූ ජනතාවක් වෙනුවට ඒ අවට ඇත්තේ අධිරාජ්‍යවාදයෙන් ප්‍රතිලාභ භුක්තිවිද, අධිරාජ්‍යවාදීන්ගේ උකහාගත් සිතුම් පැතුම්, වටිනාකම්  අනුව තම ජීවිතය ගොඩනගා ගත් පිරිසකි. සැහැල්ලු සිතින් මුහුදු වෙරළේ ඇවිදින විශ්‍රාම සුවයෙන් කල්ගත කරන තලතුනා පිරිස්, ආදරයෙන් පෙම් බස් දොඩන තරුණ-තරුණියන්, හවසට මධුවිත තොලගාමින් ගී කියන  තරුණයන්  කැලිඩෝ වෙරළ අරක්ගෙන සිටී. 

ලත්පදුරත්, කැලිඩෝ වෙරළත් ඇර ලංකීය දේශපාලනය තේරුම් ගත හැකි තවත් තැනක් කළුතර වේ. ඒ කළුතර බෝධියය. පැරණි ලන්දේසි කොටුව කඩා දැන් ගොඩනගා ඇති කළුතර බෝධිගාරය නිදහසින් පසු ලංකාවේ දේශපාලනය දිග හැරුණු හැටි කදිමට විස්තර කරදීමට සමත්ය.  එහෙත් ඒගැන ලියවෙන්නේ නැතිම තරම්ය. (ඒ ගැන මා මීට පෙර ලියා ඇති ලබ්බට තිබ්බ අත පුහුලටත් ? කළුතර කොටුවට වුනදේ මීගමුව කොටුවටත් ? යන ලිපියෙන් කියවිය හැක) 'ගිණි ගණිත, ගිණි ගණිත, ඇටමිදුළු ගිණි ගණිත' කියා කළුතර බෝධිය ගැන කවියක් පටන්ගන්නා සරත් අමුණුගමට පවා එම ඉතිහාසය ලියා තිබිය හැකිවුවද ඔහුද එම 'මර යුදෙන් පලා විත් බෝ රුකේ සිසිලසටම වැද හුන්හ. 

නිදහසින් පසු ගෙවීගිය දශක හත යනු දෙදහස් පන්සීයකට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ලක් ඉතිහාසයේ කෙතරම් නම් සුළු කොටසක්ද? අඩුම තරමින් ලත්පදුරට පවා එයට වඩා කෙතරම් දීර්ඝ ඉතිහාසයක් තිබේද? 

'සීගිරියේ ගල උඩ මාලිගා  තැනු', 'පයිතගරස්ටත් කලින් පයිතගරස් ප්‍රමේය යොදාගනිමින් මහා දාගැබ් බිහිකළ', 'රජරට මහා වැව් කරවූ ජාතියක්' වෙසෙන මේ රට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරගැනීමට, සුන්දර ගම්බිම් නැවත නගාසිටවීම වෙනුවෙන් 'ජාතිය' අවදි කිරීමට, උගුරේ ලේ රහවනතුරු විමල් වීරවංශ බෙරිහන් දුන්නේ ඒ දෙදහස් පන්සීයකට වඩා වැඩි ඉතිහාසය උරගාමිනි. 2008 දී මහින්ද රාජපක්ෂ මහතා ලක්පදුර සහ බදුරැළිය ප්‍රදේශවල මහාමාර්ග, පාලම්, බෝක්කු සහ ඇලවල් පිළිසකර කිරීමට අයවැයෙන්ම මුදල් වෙන්කල සේ ජනහිතකාමී, අධිරාජ්‍ය විරෝධී  රජයක් විසින් ග්‍රාමීය ප්‍රදේශ සදහා යටිතල  සහ වෙනත් අවැසි පහසුකම් සලසා දෙන්නේ නම් නැවතත් මේ රට කෙතෙක් නගා සිටවිය හැකිද යනුවෙන් ඔවුහු මොර ගසති. කන අග රැදී ඒ බස් සිහිනෙන් මෙන් නැවත පසක් කරගන්නා සෙස්සෝද 'අපේ එවුන්ට අගයක් නැති වුණාට මේක මරු රට ඕයි' යැයි කියමින් ලතෝනි දෙති. බ්ලොග් ලියති. පොත් ලියති. කවි සින්දු කියති, ලියති, මුමුණති.
එලෙස විචිත්‍රණය කරනලද දේශපාලන චිත්‍ර ඕනෑ තරම් සාහිත්‍යයේ නම් තිබේ. එහෙත් ඒ යටින් කියවෙන කථාව එම විචිත්‍රණයන් තරම්ම සුන්දර නැත. එයට හොදම උදාහරණය  Laura Ingalls Wilder(1935) ගේ  Little House on the Prairie ළමා නවකථාවය. සුන්දර පරිසරයක, පරමාදර්ශ මැද දිවි ගෙවන සුන්දර පවුලක් වටා ගෙතෙන එම Prairie වාසීන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ලවන්නේ රතු ඉන්දියානුවන්ගෙන්ය. ඒම පසුබිම තුල සෑම මිනිසෙකුම සමානය, සමාන අයිතිවාසිකම් හිමිය, සමාන අවස්ථාවන් හිමිය වැනි සමානාත්මතාවාදි (egalitarian) අදහස් අතරම "The only good Indian was a dead Indian"වැනි වර්ගවාදී, මේලේච්ච අදහස්ද දිගහැරේ. 

වීරවංසගේ, මෙන්ම චම්පික රණවක ආදීන්ගේ, අධිරාජ්‍යවාදීන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට එරෙහි 'ලක්පදුර' ඇසුරෙන් පැනනගින තනබිමේ කතන්දරයක් සේ (prairie tale) විචිත්‍රණය කල දේශපාලනය තුල සමානාත්මතාවය ගැන අදහස් අතර වර්ගවාදී යුද්ධවාදී අදහස්ද එකවිට ගැබ්වන්නේ එලෙසය. යුද්ධය අවසානයේ ලක්පදුරේ ජනයාට කෙසේවුවද සිය පවුලේ ඥාති-මිත්‍රාදීන්ට නම්  සැප-සැපත්, යාන-වාහන නොඅඩුව ලැබුණි. තමන්ට වදදෙන උප්පැන්න සහතිකය පමණක් නොව එහි උපන් දිනයද වෙනස්කර ගත්හ. එහෙත් වීරවංස විචිත්‍රණය කල,  තනබිමේ කතාන්දරයක් තරම්ම සුන්දර ඔහුගේ prairie tale දේශපාලනය දැන් උසාවි භූමිවලින් විඛන්ඩනය කරනු ඇත. 

විමල් වීරවංසලා, චම්පික රණවකලා, උරච්චිකල දේශපාලනයට ඉදුරාම වෙනස් දේශපාලනයක් කල මහත්මයෙක් කළුතරම, ලක්පදුර ග්‍රාමයට ආසන්නයේම විසුහ. ඒ මතුගම දයා ටී. පැස්කුවෙල් හිටපු මන්ත්‍රීතුමාය. ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් සප් සතර සහ දැනුම පුළුල් කරගත්හ. ඉංග්‍රීසි ඉගැනීමට මහත් වෙහෙසක් දරමින් කළුතර පැරණි බ්‍රෝහියර් පාසලට මෙන්ම හෝලි ක්‍රොස් විද්‍යාලයටද ඇතුල්විනි. ඉන් ලැබූ අභාෂය නිසාම වැදගත් මනුෂ්‍යයෙක්සේ නීතියට අනුව හැසිරීම ප්‍රගුණ කළේය. මුදලට, වස්තුවට සහ තාන්න මාන්න වෙනුවෙන් සිය ආත්මය පාවා නොදෙන ලදී. තම ඥාති-මිත්‍රාදීන්ට සැප-සැපත්, යාන-වාහන ආදිය දීම කෙසේවෙතත්  තමාද පොදු ප්‍රවාහන සේවයේම යෑම පුරුද්දක් කරගෙන සිටියහ. සිය ජීවිතකාලය තුල පැරණි ලන්දේසි කොටුව ක්‍රමයෙන් කඩදමමින් කළුතර බෝධිගාරය බිහිවෙන අයුරු සියසින්ම දුටු නිසාම දෝ ඔහු ජාතිය සහ ආගම කරපින්නාගත් දේශපාලනයක නිරත නොවන ලදී. තවත් ජාතියක්, මනුෂ්‍ය කොට්ටාශයක්, සංස්කෘතියක් යටපත්කිරීම, විනාශ කිරීම, ඒ මත අධිපතිවාදී බලකාමී දේශපාලනයක් කිරීම සිය දේශපාලන දෘෂ්ටිවාදය කරනොගත්හ. ජාතික ඇදුම ඇද, සිය ජාතික ආගමික වටිනාකම් අනුව ජාතියටම ආදර්ශයක් ලෙස සැහැල්ලුවෙන්, සරල ලෙස ජීවිතය ගතකළේය. එවන් දේශපාලඥයින්ගේ දේශපාලනය දැන් නම් සුරන්ගනා කථා (fairy tale) යැයි සිතනු ඇත. 

එහෙත් අද අප ඉල්ලන්නේ වීරවංසගේ හෝ චම්පික රණවකලාගේ ලත්පදුරේන් පැන නගින 'තනබිමේ කතන්දරයක්' (Prairie tale) සේ විචිත්‍රණය කල මාරාන්තික දේශපාලනයක් වෙනුවට කැලිඩෝ වෙරළේ ජීවිතය ගතකරන්නාක්මෙන් මෙන් ගෙවිය හැකි, දයා ටී. පැස්කුවෙල් වැන්නවුන් පනපෙවූ 'සුරන්ගනා කථාවක්' (fairy tale) බදු සුන්දර දේශපාලනයක් නොවේද?
මාකස් ප්‍රියන්ත පෙරේරා
11/01/17.

Sunday, 8 January 2017

ජනවාරි 08 සැමරිය හැකි ශ්‍රී ලංකාව සම්බන්දයෙන්වූ චීන පිළිවෙතේ ජයග්‍රහණය !!!

ජනවාරි 08 ලංකාවට දේශපාලන වශයෙන්  වැදගත්ය. එය ඒක අතකින් 1956 මහා යුග පෙරලියක් කල S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනයය. අනෙක අතින් යුද්ධය ජගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීම සහ සිරිසේන-වික්‍රමසිංහ රජය බිහිවූ දිනයය. එහෙත් ඒ සියල්ලටම වඩා 2017 ජනවාරි මස 08 වෙනිදා සැමරිය හැක්කේ ශ්‍රී ලංකාව සම්බන්දයෙන් චීන රජය අනුගමනය කල පිළිවෙතේ ජයග්‍රහණයක් තහවුරුකල දිනයක් ලෙසය. එය ඊයේ (07/0/17) මුල් ගල තැබූ   හම්බන්තොට චීන කර්මාන්ත පුරය සහ මතු එලෙබෙන චීන-ලංකා ගිවිසුම අනුව වඩාත් නිශ්චිත වනු ඇත. 

ඈත අතීතයේ පවා චීනය ලංකාවේ ගජ මිතුරෙකු යැයි කියමින් චීනය ලංකාවේ  නුතන ආර්ථික-දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට උත්සහ කලේ 1952 අත්සන්කල චීන ලංකා රබර් සහල් ගිවිසුම ඔස්සේය. එය ලංකාවට සහල් හිගවූ 1952 දී සහල් ලබාගැනීම සදහා අත්සන් කල වෙළද ගිවිසුමක් පමණක්වුවද, චීනයට නම් දකුණු ආසියානු කලාපයේ මෙන්ම ඉන්දියානු සාගරයේ කටයුතු සම්බන්දයෙන් යම් මැදිහත්වීමක් කල හැකි කදිම දොරටුවක් විවරකල ගිවිසුමක්විය. 

ඒබව වඩා පැහැදිළිවුයේ ශ්‍රී ලංකාව 1967දී බිහිවූ ආසියානු (ASAN / Association of Southeast Asian Nations) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට  උන්නදුවුවිට චීන-ලංකා රබර් සහල් ගිවිසුම අත්හිටවන්නේ නම් එහි සාමාජිකත්වය ලබාදිය හැකි බව ඔවුන් දැක්වීමයි. ආසියානු සංවිධානය බිහිවුයේම කලාපයේ නැගී එන චීන බලවතාට මුහුණ දීමටය. එහෙත් ලංකාව ආසියානු සංවිධානය වෙනුවට චීනය සමග සිටීම තෝරා ගන්නා ලදී. 

රබර් සහල් ගිවිසුම ක්‍රමයෙන් 1982 දක්වා සෑම රජයක්ම අළුත් කරගනිමින් චීන මිත්‍රත්වයද අළුත් කරගත්හ. ගිවිසුමේ වැදගත්කම ඉන් අනතුරුව අඩුවුවද චීන මිත්‍රත්වයේ වැදගත්කම අඩු නොවන ලදී. සිවිල් යුද්ධ සමයේදී, විශේෂයෙන්ම 1987 ඉන්දු-ලංකා ගිවිසුමට සාපේක්ෂව, චීනය ලංකාවේ මිතුරෙකුගේ සිට ආරක්ෂකයෙකු ලෙස සළකන්නට විනි. 

කොටි පැරදවීමට චීන මකරා තවතවත් ලංකරගත් මහින්ද රාජපක්ෂ රජය ඉන් අනතුරුව දියත්කල සියළු සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ ගැලවීමට නොහැකි චී-ණ(ය) ගැටයකට රට අසුකර දුනි. 

ඉඩම් ටිකක්, වාරයක් සහ තවත් මොනවා හරිදී හෝ ඉන් ගැලවීමට සිරිසේන-වික්‍රමසිංහ රජය උත්සහකරන බවක් පෙනේ. එහෙත් එය තව තවත් මෙම චී-ණ(ය) උගුලේම හිරවීමක් සිදුකරන්නක් දැයි අපි තවම නොදනිමු. 

එහෙත් එක් දෙයක් පැහැදිලිය: එනම්, දැන් චීනයට දකුණු ආසියානු කලාපයේ මෙන්ම ඉන්දියානු සාගරයේ කටයුතු සම්බන්දයෙන්ද ඍජු මැදිහත්වීමක් කල හැකි කදිම ස්ථානයක්  ලංකාව තුලින් විවර කර දී ඇති බවය. ඒ වූ කලී ශ්‍රී ලංකාව සම්බන්දයෙන්වූ චීන පිළිවෙතේ පැහැදිලි ජයග්‍රහණයකි. ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පරාජය වුවද, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යටතේ වෙනත් රජයක් බිහිවී තිබුනද,  චීනය පරාජය වී නොමැත. චීන ප්‍රාග් ධනය පරාජය වී නොමැත. 2017 ජනවාරි 08 වන විට අපට සැමරීමට ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්දයෙන්වූ චීනය ගෙනගිය පිළිවෙතේ ඔවුන් ලබා ඇති ජයග්‍රහණය !!!
 මාකස් ප්‍රියන්ත පෙරේරා
08/01/2017.

Monday, 2 January 2017

සරත් ගුණරත්න: ජනතාවට නොව තමා පත්කළ තැනැත්තන්ට සේවය කිරීමේ ආනිශංස

කලකට පෙර මීගමුව ආසනයෙන් පාර්ලිමේන්තුවට ගියේ උගත්, වැදගත් දේශපාලනඥයන්ය. ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂයෙන් තෙවරක් (60 මාර්තු / 60 ජුලි සහ 1965) පාර්ලි‌‌මේන්තුවට තේරීපත්වූ හිටපු අධිකරණ විනිසුරුවෙක්වූ කුයින්ටින් ප්‍රනාන්දු මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරමින් මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය නීතීඥ ඩෙන්සිල් ප්‍රනාන්දු ද මේයට හොදම උදාහරණය. මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය මෙම උගත්, වැදගත් ලැයිස්තුවේ  අවසාන තැනැත්තාවූයේ නීතීඥ  සරත්චන්ද්‍ර ගුණරත්නය. ඔහු 1992 දී පමණ මියයන ලදී.

මීගමුවේ එදා පැවති ඒ උගත්, වැදගත් ලැයිස්තුව දැන් අවසන්ව ඇත. ඒ වෙනුවට අද මුදල් සහ මැරකම් පෙරට පැමිණ ඇත. මෙම ලැයිස්තුවේ ආරම්භකයාවූයේ මීගමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයෙකුවූ ආනන්ද මුණසිංහය. 1970 දශකයේ ඇරබි ඔහුගේ දේශපාලනය අවසානවුයේ 2001 දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාවාදී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවීමට S.B. දිසානායක ඇතුළු පිරිස සමග මන්ත්‍රීවරයෙකු ලෙස  පාර්ලි‌‌මේන්තුවේදී පැත්ත මාරු කිරීමත් සමගය. එය විශාල මුදල් කන්දරාවක් මත සිදුවූ ගනුදෙනුවෙකැයි එකල ප්‍රසිද්ධ විය. 

ඔහුගේ අඩුව පිරවීමට මීගමුවේ ඊලග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා ලෙස පත්වුයේ සරත් කුමාර ගුණරත්නය. ඔහුද 70 දශකයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස තලාහේන පේරුව ප්‍රදේශයේ ප්‍රකටව සිටියේය. විශේෂයෙන්ම 1977 පත්වූ J.R. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ රජයෙන් සිදුවූ විවිධ අකටයුතුකම් වලට එරෙහිව මීගමුවේ ශ්‍රී ලංකා කාරයන් සමග ශක්තිමත්ව පෙනීසිටීම වෙනුවෙන් සරත් කුමාර ගුණරත්න නමක් දිනාගෙන සිටියේය. ඒ එවකට  ශ්‍රී ලංකා නිදහස්   පක්ෂ සංවිධායකයාවූ ආනන්ද මුණසිංහ ශ්‍රී ලංකා නිදහස්   පක්ෂයෙන් කැඩීගිය විජය-චන්ද්‍රිකා සමග එක්ව කටයුතු කරමින් සිටියදීය. 

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පෙනීසිටීම නිසාම 89 භීෂණ සමයේදී  සරත් ගුණරත්නට සිය ජීවිතය බේරාගැනීමට  රටින් පලායාමට පවා සිදුවිය. ඉතාලියේ වසර 10ක් පමණ කාලයක් ගතකිරීමෙන් පසු නැවත ලංකාවට පැමිණි සරත් ගුණරත්න මහතා මීගමුව ග්‍රීන්ස් පාරේ මත්පැන් අලවිහලක් පවත්වාගෙන යන ලදී. සරල ඇදුමකින් සැරසී එම වයින් ස්ටොස් ඒක ඉදිරිපිට සිනා මුසු මුහුණින් කවුරුන් සමගත් කථාකරමින් සිටීම ඔහු සිය පුරුද්දක් කරගෙන සිටියේය. බොහෝ දෙනෙකු ඔහුට ' ආ මේ සරත් නේ' / 'හෙල්ලෝ සරත් අයියා' කියා අමතනු දැක ඇත්තෙමි.   පසුව සිය පැරණි පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකර බස්නාහිර පළාත්සභාවට පත්වන ලදී. මුලසිටම මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ  හිතවත්කම් ඇතිව සිටි නිසාම එම අනුග්‍රහයන් යටතේ  මීගමුව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා බවට පත්විය. 2004  මහා මැතිවරණයට තරග කලද පාර්ලි‌‌මේන්තුවට නොතේරෙන ලදී, එහෙත් ලැයිස්තුවේ ඊලගට සිටි තැනැතා ලෙස ඔහු 2006 පාර්ලි‌‌මේන්තුවට ගියේය. 

කෙසේවෙතත් ඊලග මැතිවරණයේදී සමානුපාතික ක්‍රමය යටතේ වැඩි මනාපගෙන නැවත පාර්ලිමේන්තුවට යෑම දුෂ්කර බව  සරත් කුමාර ගුණරත්න මහතා දැන සිටින ලදී.  එහෙත් ඒ සිහිනය සැබෑකරදීමට ඔහුට ඉටු දෙයියෙක් විය. ඒ මහින්ද රාජපක්ෂය. 2010 මහා මැතිවරණයේදී මනාප අඩුවෙන් ලබා ඔහු ලැයිස්තුවේ පහලින් සිටියද කැලණියේ සිසිර ජයකොඩි මහතා කපාදමා  පාර්ලිමේන්තුවට යෑමට  අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතා ඔහුට හිමිකර දුන්බව තතු දත්තෝ දනිති. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මර්වින් සිල්වා වැනි ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහය යටතේය. 

තමා පත්කලේ මහජනයා නොව මහින්ද රාජපක්ෂ බව හොදින් දැන සිටි සරත් කුමාර ගුණරත්න මහතා එතැන් සිට සේවය කලේ මහජනයාට නොව මහ රජාටය. සිය පවුලේ සාමාජිකයන්ටය. සිය මිතුරන් කිහිපදෙනාටය. සිය සගයින් අත්ලොස්සටය. ඔහුගේ මහින්ද භක්තිය කෙතක්වුයේදයත් දික්ඕවිට ධීවර වරාය ඉදිකිරීමේ කිසියම් කොන්ත්‍රාත්තුවක් සම්බන්දයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව මහින්ද රාජපක්ෂට කෙලින්ම පැමිණිලිකල බව සැලය. මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරාවන බැසිල් රාජපක්ෂට එරෙහිව කිසිවක් නොකරනු ඇති බව වටහාගැනීමට ඔහුට නොහැකිවිය. 

එහි ප්‍රතිපලයවුයේ බැසිල් රාජපක්ෂ විසින් සරත් කුමාර ගුණරත්නව කපාදැමීම සදහා බස්නාහිර පළාත් සභාවට තේරීසිටි මීගමුවේ නිමල් ලාන්සා මහතාව උඩට ගැනීමය. සරත් ගුණරත්න සහ නිමල් ලාන්සා අතර ගැටුම නිර්මාණය වන්නේ එලෙසය. නිමල් ලාන්සාගේ ගෙදරට මත්ද්‍රව්‍ය සොයා මත්ද්‍රව්‍ය නිෂ්කාශන අංශය පැමිණීමත්, නිමල් ලාන්සා විසින් සරත් ගුණරත්න වත්තල රජයේ ඉඩමක් ජෙට්වින් සමාගමට විකිණීම සම්බන්දයෙන් අල්ලස් සහ දුෂණ කොමිසමට යෑමත් මේ ගැටුමේ ජවනිකා කිහිපයක් පමණි. 

මීගමුව කලපුව සංවර්ධනයට දුන් මුදලින් කොටසක් අතුරුදහන්වීම පිලිබදව සරත් ගුණරත්න මහතා හෙලිකල යුතුය. එම මුදලින් තවත් කොටසක් ඉකුත් ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක වැඩවලට යොදවන්නට අණදුන්නේ කවුද? යන්නද ඔහු හෙළිකල යුතුය. 

එමෙන්ම මීගමුව කලපුව  සංවර්ධනයට දුන් එම මුදලට හරියටම වූදේ පමණක් නොව සරත් ගුණරත්න මහතා අතින් සිදුවූ 2002 රිය අනතුර සම්බන්දයෙන් ද, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බදාකිරීම සම්බන්යෙන්ද, සියළු තොරතුරු සම්බන්දයෙන් නිසි නිලධාරීන් දැනුවත්කර සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම දිගහැරුණු ක්‍රියාවලිය සම්බන්දයෙන් නිමල් ලාන්සා මහතාට බොහෝ තොරතුරු හෙලිකල හැක. 

අවසාන වශයෙන් කිවහැක්කේ සරත් ගුණරත්න පමණක් නොව නිමල් ලාන්සාද රාජපක්ෂලාගේ ඔඩොක්කුවට වැටෙන්නේ නැතිව මහජනයාගේ නියෝජිතයින් වුයේ නම් මෙවන් විපත් නොවේනූ ඇත යන්නය.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
03/01/17.