Monday, 26 September 2016

කාදිනල් මැල්කම් රංජිත් කාගේ පැත්තේද?

ශ්‍රී ලංකාවේ දැන් පවතින දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෙවත් J.R. ජයවර්ධනගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස්කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා කටයුතු දියත්වෙමින් ඇති මේ කාලයේදී, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ප්‍රකාරව රටේ වැඩිදෙනකු අදහන ආගමවන බෞද්ධ ආගමට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානය කිසිම ලෙසකින් වෙනස් නොකළයුතු බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානියාවන මැල්කම් රංජිත් කාදිනල්තුමා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටී. එය එක් අතකින් පැසසීමටත් අනෙක් අතින් විවේචනයටත් ලක්ව තිබේ. 

කාදිනල්තුමාව පැසසීමට ලක්ව ඇත්තේ ඔහු බෞද්ධයෙක් නොවන ප්‍රධාන ආගමික නායකයෙක් ලෙස 'රටේ ප්‍රධාන (පැරණි) ශිෂ්ටාචාරය' ගොඩනැංවීමෙහිලා මුලික වශයෙන් බලපෑ ප්‍රධාන ආගම ලෙස සැලකෙන බෞද්ධ ආගමට හිමි ස්ථානය තවදුරටත් ව්‍යවස්ථාණුකූලව ආරක්ෂාවුවහොත් සෙසු ආගම්ද ආරක්ෂා වන බව' දැක්වීම තුලය. මෙමගින් ඔහු බෞද්ධ ආගමත්, ව්‍යවස්ථානූකූලව එයට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානයත්, ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ සංස්කෘතියත්, ජාතික අනන්‍යතාවයන් අගයන බවත් ඒ වෙනුවෙන් පෙනීසිටින බවත්, ඒ වෙනුවෙන් ඇපකැප වෙන බවත් කියවෙන අදහසක් බොහෝ දෙනා තුල ඇතිව තිබේ.

අනෙක් අතට, ඔහුව විවේචනයට ලක්ව ඇත්තේ වසර තිහක දීර්ඝ යුද්ධයකින් පසුව සිංහල සහ දෙමළ ජනකොටස්වල මෙන්ම සෙසු සුළු ජන කොටස් තුලද සාමය සහ සහජීවනය ඇති කිරීම සදහා, කිසිදු ජන කොටසකට හෝ කිසිදු ආගමකට විශේෂත්වයක් හෝ විශේෂ වරප්‍රසාද හිමිනොවන ලෙස සාධාරණත්වය සහ සමානත්වය මත පදනම්වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කලයුතුයි විශ්වාස කරන පිරිස්වලිනි. කාදිනල් තුමා දක්වන ලෙස නව ව්‍යවස්ථාවක් යටතේද දැන් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්ති වැනි එක් ආගමකට සහ ඒක කොටසකට පමණක් විශේෂත්වයක් සලසන වගන්ති තවදුරත් ඒ ආකාරයෙන්ම පැවතියහොත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහාවූ උවමනාව වන සාධාරණත්වය සහ සමානත්වය උදාකරගැනීමට එමගින් නොහැකිවීමත්, දැන් පවතින රාජ්‍ය ව්‍යුහය අර්ථාන්විතව වෙනස් කිරීමට නොහැකිවීමත් එම විවේචනයට හේතුවය. 

කෙසේවෙතත්, මගේ අදහස නම් කාදිනල්තුමා පවතින ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අනුව බෞද්ධ ආගමට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ, බෞද්ධාගම හෝ සිංහල සංස්කෘතිය හෝ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමටවත්, සාධාරණත්වය සහ සමානත්වය මත පදනම්වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිවීම වැළක්වීමටවත් නොව හුදෙක් ආගමික නායකයෙකු ලෙස ඔවුන්ට හිමි සමාජ ස්ථානය ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කරගැනීමට බවය. එය එක් ආකාරයක වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමකට දෙවැනි නොවේ. අනෙක් අතින් බෞද්ධාගමට හිමි තැන ආරක්ෂාවුවහොත් සෙසු ආගම්ද ආරක්ෂාවන බව කාදිනල්තුමා දැක්වීම තුල කියවෙනුවේ ශ්‍රී ලංකාව තවදුරත් ආගමීක රාජ්‍ය වශයෙන් පැවතීම තුල සෙසු ආගම්වලටද පැවතිය හැකි බවකි. ව්‍යවහාරයේ ඇති 'දී කිරට බළල්ලුත් සාක්කි යැයි' යන්නද, 'අර හාමුදුරුවන්ට බෙදන්න යැයි කීම තුල මේ හාමුදුරුවන්ටද ලැබෙනවා' යැයි යන ආප්තෝපදේශද මෙහිලා ගැලපෙනු ඇත.

ඇත්ත වශයෙන්ම, ආගමික නායකයන්ගේ පසමිතුරු අනෙකා ලෞකීකත්වයය. එය කුමන හෝ මාර්ගයකින් ආගම අභිබවා නැගීසිටීම තුල ආගමික නායකයන්ගේ අධිකාරීත්වය විනාශවනු ඇත. එසේවුවහොත් ඔවුන්ටද පොදු ජනයා මෙන් දිනපතා ජීවන අරගලයක නිරතවීමට සිදුවේ. මින් අදහස් කරනුයේ ආගමික නායකයන් අතර, පූජ්‍ය පක්ෂයන් අතර සිටින සියල්ලන් දිනපතා ජීවන අරගලයක නිරත නොවන බව නොවේ. ඔවුන් සමාජයේ සුවිශේෂ කුලකයක් ලෙස භුක්තිවිදින වරප්‍රසාද අහිමිවීම පිළිබදව ඇති අනතුර පිළිබද ගැටළුවය. 

පැහැදිලිවම, ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල කෙසේ දක්වා තිබුනද, එම ඉගැන්වීම් සහ අර්ථයට පටහැනිව ආගමික නායකයන් සහ පූජ්‍ය පක්ෂයේ සාතිශය බහුතරයක් සුවිශේෂ සමාජ කුලකයක් ලෙස විශේෂ ස්ථානයක් උසුලන බව වර්තමාන අපේ සමාජය දෙස බැලීමෙන් පවා පෙනේ. රටේ නායකයන් පවා ඔවුන්ගේ උපදෙස් අනුව රට පාලනය කරන බව දැක්වීමේ සිට සෑම කටයුත්තකටම ඔවුන්ගේ ආශිර්වාද බලාපොරොත්තුවීම තුල ආගමික නායකයන් සහ පූජ්‍ය පක්ෂය සුවිශේෂ සමාජ කුලකයක් ලෙස පැවතීමේ වැදගත්කම බොහෝ ඉහල ගොස් ඇත. 

එය කෙතෙක්දයත්, තමන්හා සමාන වෘත්තීයක නියුතු, 'පාප්ට' (pope) පමණක් නොව රජ කෙනෙකු ඉදිරියේවුවද මහානායකයන් වහන්සේලා අසුනෙන් නැගිටින්නේ නැතැයි ලංකාවෙන් ඇසුනේ වැඩි ඈතකදී නොවේ (ලිපියේ මුල්ම ජයාරූපය සහ පහත ජයාරූපය ඒ සම්බන්ද අවස්ථාවන්ය). මින් කියවෙන්නේ ලංකාවේ බෞද්ධ භික්ෂුව වැනි ආගමික නායකයන් රජටත් (පාලකයාටත්) වඩා හෝ රජ (පාලකයා) හා සමාන සුවිශේෂී බලයක් භුක්තිවිදින බවය. 
මෙවැනි තත්වයක් යුරෝපයේ අදුරුතම යුගයවූ මධ්‍යතන යුගයේද (Medieval period) පැවැති බවත්, ක්‍රි. ව. 1302 'ශුද්ධ රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ අටවන බොනිෆස් (Boniface VIII) පාප්වරයා වරක් ප්‍රකාශකලේ 'පාප්වහන්සේ වන තමන්ට දෙවියන්ගේ නියෝජිතයා වශයෙන් සියල්ලන්ව විනිශ්චයකල හැකි බවත්, එහෙත් කිසිවෙකුට තමාව විනිශ්චයකල නොහැකි බවත් (The pope can rightly judge all humans but could be judged by none), නුතන ජාතික-රාජ්‍ය බිහිකිරීමේ ව්‍යාපෘතිය තුල ගොඩනැගුන නුතන රාජ්‍ය විසින් එය 'රාජ්‍ය සියල්ලන්ට විධාන දෙන, නමුත් කිසිවෙකුගෙන් විධාන නොගන්නා (The state give orders to all, take orders from none) තැනක් බවට පත්කළ බවත්, මම මීට පෙර ලියූ 'යුරෝපය ආගමීක ආධිපත්‍යයෙන් මිදීම සහ ලංකාවේ ඥානසාර හිමියන් ඇතුළු ආගමීක නායකයන් දේශපාලනයට මැදිහත්වීම' (එය මෙතනින් කියවිය හැක) දැක්වුහ. ඒ අනුව නුතන රාජ්‍ය බිහිවනුයේ රාජ්‍ය ආගමෙන් වෙන් කර රාජ්‍යයේ කටයුතු සදහා ආගමික නායකයන්ට මැදිහත්වීමට ඇති ඉඩ අඩුකිරීම තුලය. 

ශ්‍රී ලංකාවේ නුතන රාජ්‍ය බිහිකරන බ්‍රිතාන්‍යයන්, මෙරට රජවරුන්ගේ වැඩවසම් පාලන සමයේ පැවති ආගම සහ දේශපාලනය අතර සම්බන්දය අහෝසිකල අතර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලබන්නේ ආගම සහ රාජ්‍ය දෙකක් ලෙස සලකන නුතන රාජ්‍යක් ලෙසය. 

එහෙත් නිදහසින් පසු මෙරට බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් කොටසක් සහ සිංහල-බෞද්ධ ජාතිකවාදී (Sinhala-Buddhist Nationalist) දේශපාලන ව්‍යාපෘතීන් විසින් නැවතවරක්, රජකාලේ පැවති ලෙස, බෞද්ධාගම රාජ්‍ය ආගම කලයුතු බවත්, එය ව්‍යවස්ථාවේන්ම තහවුරුකල යුතු බවටත් දිගින් දිගටම උද්ගෝෂණ අතර එය 1972 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුල පිළිගැනීමට ලක්විය. එතැන් සිට යටත් විජිත පාලකයන් විසින් බිහිකළ ලංකාවේ නුතන රාජ්‍යය ක්‍රමයෙන් වැඩවසම් රාජ්‍යයක් කරා ගමන් කිරීම ඇරබු බව මගේ අදහසයි. 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින්ද මේ තත්වය තවදුරටත් දීර්ඝ කල අතර එමගින් බෞද්ධ ආගමට ප්‍රමුඛස්‌ථානය හිමිවන අතරම සෙසු ආගම්වලටද පිළිගැනීමක් හිමිවන බව දක්වා තිබේ. 

මේ තත්වය හොදින් දන්නා මෙරට බෞද්ධාගමික භික්ෂුන්ද, කාදිනල් මැල්කම් රංජිත් වැනි යුරෝපා කතෝලික සභා ඉතිහාසය පිළිබද විශාරදයන්ද නව ව්‍යවස්ථාවක් යටතේ කිසිදු ජන කොටසකට හෝ කිසිදු ආගමකට විශේෂත්වයක් හෝ විශේෂ වරප්‍රසාද හිමිනොවන ලෙස සාධාරණත්වය සහ සමානත්වය මත පදනම්වූ රාජ්‍යයක් බිහිවුවහොත් එමගින් ආගමික නායකයන්ට හිමි සුවිශේෂී ස්ථානය අහිමිවන බව හොදින් දනී. එවැනි ආගම සහ රාජ්‍ය වෙන්කරන ලද රාජ්‍යයක් ලෞකීක රාජ්‍යක් ලෙස ආගමික නායකයන් බොහෝ දුරට දක්වන අතර එමගින් සදාචාරය සහ හැදියාව වල පල්ලට යන බවත් දක්වයි. 

එහෙත් ලංකාවේ බෞද්ධාගම රාජ්‍ය ආගමවීම තුල මෙරට සදාචාරය සහ හැදියාව ඉහල ගොස් නැති බවත්, එමගින් බෞද්ධාගමික හර පද්ධතීන් පරයා ආගමික දේශපාලනය සහ දේශපාලන භික්ෂුව පෙරට පැමිණි බවත්, යුරෝපා ඉතිහාසයේ මෙලෙච්චම අවධිය යුරෝපයේ ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගමවූ 'ශුද්ධ රෝම අධිරාජ්‍ය' පැවති යුරෝපයේ අදුරුතම යුගයවූ මධ්‍යතන යුගයේ බවත් ඔවුන් අමතක කරති. 

මුලික වශයෙන් ආගම සහ රාජ්‍ය වෙන්කරන ලද රාජ්‍යයක් හෙවත් අනාගාමික රාජ්‍යයක් (secular state) ලෞකීක රාජ්‍යක් ලෙස හැදින්වීම තුල secular state යන්න සම්පුර්ණයෙන්ම නිවැරදිව අර්ථ ගැන්වීමක් සිදු නොවීමටද පුළුවන. මන්දයත් අනාගමික රාජ්‍ය (secular state)ක් ගැන මුලින්ම අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් ජාකොබ් හොලියෝක්ට (George Jacob Holyoake), (1817–1906), අනුව අනාගමික රාජ්‍යක් (secular state) යනු ආගම විවේචනය කිරීමෙන් හෝ ඉවත් කිරීමකින් තොරව සමාජ පර්යාය ආගමින් වෙන්කිරීමය (social order separate from religion, but without actively dismissing or criticizing religious belief). එය ආගම විනාශ කිරීමක් හෝ ආගම විසින් දිරිමත් කරවන වටිනාකම් විනාශ කිරීමක් හෝ නොවේ. එහෙත් රාජ්‍ය ආගමෙන් වෙන්කිරීම තුල මිනිසා නිදහස් මිනිසෙකු බවට පත්වෙන අතර ආගමීක නායකයන්ට වෙනම සමාජ කුලකයක් ලෙස පැවතීමට ඇති ප්‍රධාන අවකාශයක් ඉන් අහෝසිවී යැයි.  

විශේෂයෙන්ම යුරෝපයේ රාජ්‍යයන්  ආගමෙන් නිදහස්වීම තුල තවදුරටත්  රාජ්‍ය, දේශපාලනය සහ  මනුෂ්‍යාගේ කටයුතු සම්බන්දයෙන් ආගම තීරනාත්මක සාධකයක් වී නොමැත. මෙවැනි තත්වයක් තුල ෆ්‍රැන්සිස් පාප්තුමා වැනි ආගමික නායකයන්ගේ අභියෝගය වී ඇත්තේ නියම ක්‍රිස්තියානි හරයන් වන ප්‍රේමය, සමානත්මතාවය සහ දයාව වැනි පණිවිඩයන් තවදුරත් මහ ජනයා අතරට රැගෙන යන්නේ කෙසේද යන්නනයි. ඒ අනුව මෙතෙක් කතෝලික සභාව ප්‍රවර්ධනය කල ආයතනගත ඉගැන්වීම් සහ වත්පිළිවෙත් වෙනුවට ෆ්‍රැන්සිස් පාප්තුමා දිළිදන්, රෝගීන්, මහල්ලන් සහ පීඩිතයන් සොයාගෙන යමින් සිටී. මෙතෙක් කතෝලික සභාව දැඩි විරෝදයක් දක්වමින් ප්‍රතික්ෂේප කල සමලිංගිකයන් ආදිය විනිශ්චය කිරීමට තමන් කවරෙක් දැයි ප්‍රශ්න කරයි. එය මෙතෙක් දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකෙන පාප්වරයකුට බැගැහැපත්වීමට හැකි උපරිම අවස්ථාවය. සිය සභා නායකයා මෙවැනි නව ගමනක නිරතවී සිටියදී ලංකාවේ ඔහුගේ නායකයා ලෙස මැල්කම් රංජිත් කාදිනල්තුමා නිරතවී ඇත්තේ එයට හාත් පසින්ම වෙනස් ගමනක නොවේද ?
මාකස් ප්‍රියන්ත පෙරේරා
27/09/16.

6 comments:

  1. "Render unto Caesar the things that are Caesar's, and unto God the things that are God's"
    (substitute "religion" for "God" to suit all religions)

    ReplyDelete
  2. True, Cardinal is very keen on power related matters; rather than promoting Jesus Christ's life examples and teaching. He is very much focusing on institutional issues and their professional status. I cannot see that he is hardly willing to follow Pope Francis' footsteps and standing for oppressed people. It's a shame !!!

    ReplyDelete
  3. හොද ලිපියක් මාකස්

    ReplyDelete
  4. ස්තූතියි අජිත් !!!

    ReplyDelete
  5. මේක බලන්න ඇති.
    http://anthoniyo-bahijata.blogspot.com/2016/02/blog-post_18.html
    මම හිතන්නේ කාදිනල් තුමා කලේ මගේ ලිපියේම අනික. සතුරාගේ සතුරා මිතුරාය කියන දෙය.

    ReplyDelete
  6. ඔබ බටහිර ක්‍රිස්තියානි යුදෙව් ග්‍රීක් චින්තනයේ අනුගාමිකයෙක්. ඔබ කතෝලික ආගමේ බහුදේවවාදයට (සාන්තුවර වන්දනාවට) විරුද්ධයි. එසේම එහි පිලිම (සුරුවම්) වන්දනාවටත් විරුද්ධයි. සුරුවම් වන්දනාව වඩා සමීප වන්නේ හින්දු ආගමට.කොහොමත් අද කතෝලිකයන් වන අය පෙර අදහා ඇත්තේ හින්දු හෝ නමට බෞද්ධ ප්‍රායෝගිකව හින්දු. නමුත් සිංහල බෞද්ධයන්ට එරෙහිව සුරුවම් හොරකම් කිරීම ගැන ලිවීමට ඔබ කටයුතු කරනවා.

    ReplyDelete