Saturday, 27 August 2016

තරුණයන් 5 දෙනාගේ මරණය ගැන ලංකාවේ සහ බ්‍රිතාන්‍ය මාධ්‍යයන් කිව්වේ කුමක්ද ?

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් පළාතේ Camber Sands වෙරළේ දී අනපේක්ෂිතව පැමිණි රළ පහරකට ගසාගෙන ගොස් තරුණයන් පස්දෙනෙකු ඛේදනීය ලෙස මියයෑම ගැන බ්‍රිතාන්‍යය සහ ලංකාවේ මාධ්‍ය වාර්තාකර තිබුණු අයුරු දුටුවෙමි. 

මෙම පුවත මුලින්ම වර්ථාකල බ්‍රිතාන්‍යයේ Sun පුවත්පතේ වෙබ්අඩවිය; මෙම ඛේදනීය මරණයන් සිදුවුයේ කෙසේද ? මියගිය අය කවුරුන්ද? යන්න හදුනාගැනීමට උත්සහකරන අයුරු එම පුවත තුල දැකිය හැකිවිය. අගෝස්තු 24 / 2016, 3:16 pm පලකල එම පුවත  මෙතැනින් කියවිය හැක.

පස්දෙනාගේ මරණයට හේතුව ලෙස වේගයෙන් පැමිණි රළ පහර විසින් වෙරලේ නොගැබුරු පස් තට්ටුවක් සමග තරුණයන් දෙදෙනෙකු ගසාගෙන යෑමත්, ඔවුන් බේරාගැනීමට ඉතිරි තරුණයන් 3දෙනා ඉදිරිපත්වීමත් තුල ඔවුන්ද එම ඉරණමටම ලක්වීම මගින් එම මරණ සිදුව ඇතිබව එම පුවතින් දැක්වේ. 

දෙවන කරුණ වන මියගිය අය කවුරුන්ද? යන්න විමසා බැලීමේදී ඇහින්දුටු සාක්ෂිකරුවන්ගේ නිගමනය වී තිබුනේ ඔවුන් සංක්‍රමණිකයන් විය හැකි බවයි. එම නිගමනයට හේතුව වී ඇත්තේ මියගිය තරුණයන් මුහුදු වෙරළට ගැලපෙන ඇදුමකින් සැරසී නොසිටීම බව දක්වා තිබුණි. කෙසේවුවද පොලිසිය සොයාගත් තොරතුරුවලට අනුව ඔවුන් අනවසර සංක්‍රමණිකයන් නොවන බවද, ඔවුන් ලන්ඩනයේ Greenwich ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට අයත් තරුණයන් බව ස්ථීර කර ඇති බව දැක්වේ. 

මේ පුවත ශ්‍රී ලංකා මාධ්‍යයන් වාර්තා කිරීමේදී ඔවුන්ගේ මුලික අවධානය යොමුව තිබුනේ මෙම තරුණයන්ගේ එකී වාර්ගික අනන්‍යතාවයය. එයට හොදම උදාහරණය වන්නේ කලකට ඉහත පුවත් වාර්තා කිරීම සම්බන්දයෙන් ඉහල ගුණ්ත්වයක් ප්‍රදර්ශනය කල එහෙත් අද එවැනි මට්ටමකලා කිසිසේත්ම සැලකිය නොහැකි BBC සිංහල සේවය එම පුවත වාර්තාකර තිබු ආකාරයය. ඔවුන් එම පුවත වාර්තාකලේ 'දමිළ තරුණයන් පස් දෙනෙක් එංගලන්ත මුහුදට බිලි'  යනුවෙනි. පුවත පලකල වෙලාව ගැන සදහන් නොකලද එය 2016 අගෝස්තු 25 දින පලකල බව සදහන්වේ. එම පුවත මෙතැනින් කියවිය හැක. එහිදී ඔවුන් එම තරුණයන් පස්දෙනාගේ මරණය ලංකාවේ සිංහල පාඨකයන්ට වාර්තාකලේ එම තරුණයන්ගේ වාර්ගීක අනන්‍යතාවය ඉස්මතු කරමිනි. ඔවුන් ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ වෙසෙන්නන් යනුවෙන් මතුකරනු වෙනුවට ඔවුන්ගේ වාර්ගීකත්වය වූ දෙමළ යන්න මුලට ගත්තේ ඇයි ? එමගින් ඔවුන් දිනාගැනීමට අපේක්ෂා කරන පාඨකයන් කවුරුන්ද? දිනාගැනීමට අපේක්ෂා කරන අවධානය කුමක්ද ? 
අවාසනාවකට මෙම පුවත වාර්තාකිරීමේදී ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යයද අනුගමනය කලේ එම පරිචයමය. ඒහින්
එම මාධ්‍යවලින්ද ඇසිය යුත්තේද එම තරුණයන් ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ වෙසෙන්නන් යනුවෙන් මතුකරනු වෙනුවට ඔවුන්ගේ වාර්ගීකත්වය වූ 'දෙමළ' යන්න මුලට ගත්තේ ඇයි ? එමගින් ඔවුන් දිනාගැනීමට අපේක්ෂා කරන පාඨකයන් කවුරුන්ද? දිනාගැනීමට අපේක්ෂා කරන අවධානය කුමක්ද ? යන්නය.

මෙසේ වාර්ගීකත්වය ඉස්මතුකරන ලෙස පුවත් පළකරනුයේ ශ්‍රී ලාංකීකයන් අතර වාර්ගිකත්වය ඉස්මතුකරන පුවත් සදහා ඉහල ඉල්ලුමක් ඇති නිසාද? නැතහොත් එසේ ඉහල ඉල්ලුමක් ඇතියැයි මාධ්‍යවල සේවය කරන්නන් සිතා සිටින නිසාද ?  

මේ දෙකම තුල ශ්‍රී ලාංකීකයන් අතර වාර්ගීකත්වයට ඇති නැබුරුව නිරූපණය වන බව මාගේ අදහස්ය. වාර්ගීකත්වයන් අභිබවා ගිය ජාතිකත්වයක් පිළිබදව ඔවුන්ට ඇත්තේ අල්පමාත්‍රවූ නැබුරුවක්ය යන්න මෙයින් ගම්‍යවේ. ඇතැම්විට ඔවුන් බොහෝදුරට වාර්ගීකත්වය සහ ජාතිකත්වය අතර කිසිදු වෙනසක් නොදකිනවාද විය හැක. වාර්ගීකත්වය සහ ජාතිකත්වය යනු එකක්යැයිද, වෙනසක් නොමැත්තේ යැයි දෙසන්නෝ බොහොදෙනෙක් ලංකාවේ මත පැතිර වීමෙහිලා ඉදිරියෙන්ම සිටින බව මම දනිමි. එය මාධ්‍ය ක්ෂේත්‍රය තුල පමනක් නොව, විශ්ව විද්‍යාල තුලද, ආගමික සංස්ථාවන් තුලද පැලපදියම් වී තිබේ.  

මෙම පුවත පලකිරීමේදී බ්‍රිතාන්‍ය මාධ්‍යයන්ගේ අවධානය මුලික වශයෙන්ම යොමුවුයේ විපතට පත්වූ තරුණයන්ගේ වාර්ගිකත්වය මතුකිරීමට වඩා ජනයා දහස් ගණනින් පැමිණෙන මෙවැනි වෙරළක වෙරළාරක්ෂකයන් නොසිටියේ ඇයි? මෙයට පෙර පවා තරුණයෙක් මිය ගිය මේ වෙරළේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාල බලධාරීන් කර ඇත්තේ කුමක්ද ? ප්‍රථමාධාර සේවා සහ ජීවිතාරක්ෂක සේවාවන් මේ වෙරළේ තවම ස්ථාපිත කර නැත්තේ ඇයි ? යනු කරුණු මතුකිරීමටය. එම මාධ්‍යකරණය එක් අතකින් අදාළ සිද්ධියට නියම වටිනාකම ගෙන දෙන මාධ්‍යකරණයකි. අනෙක් අතින් වාර්ගිකත්වයට වඩා මනුෂ්‍ය ජීවිතවලට මුල්තැනදීම ඉලක්ක කර ගනිමින් දියත්වුවකි. 

තවද, මෙම වෙරළට පැමිණෙන දහස් ගණනක්වූ ජනයා අතරින් මියගිය තරුණයන් 5 දෙනා වෙන්කර හදුනා ගැනීමේදී  සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් අවධානය යොමුකළ කරුණක් වී තිබුනේ  මියගිය තරුණයන් මුහුදු වෙරළට ගැලපෙන ඇදුමකින් සැරසී නොසිටීම බව දක්වා තිබීම ගැනද යමක් කිව යුතුය. එනම් එම තරුණයන් මෙරට සමාජ ක්‍රමයට සම්පුර්ණයෙන්ම අනුගතවී නොසිටි බවක් එයින් කියවේ. අප වැනි රටවල සිට මෙවැනි රටවලට පැමිණ ඇති ජනයාට අදාල සමාජක්‍රමය සදහා හැඩගැසීමට යම් උත්සහයක් දැරීමට සිදුවන බව පැහැදිලිය. ඇතැම් විට  එයද අභියෝගයකි. එසේ යම් උත්සහයක් ගෙන  අදාල සමාජක්‍රමයට බොහෝදුරට හැඩගැසුනද තම තමන්ගේ වාර්ගීක අනන්‍යතාවයන් සම්පුර්ණයෙන්ම පහව නොයනු ඇත. එහෙත් බැලූ බැල්මටම සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන් ලෙස පෙනීයාමේ ඉඩ ඉන් අඩුවනු ඇත. එම උත්සාහයන් එකී ජනයාට පැහැදිලි ප්‍රතිලාභ අත්කර දෙන්නකි. මන්දයත් එම රාජ්‍යයන්ද, එම රටවල සමාජ ක්‍රමයන්ද, වෙනස්කම්වලට වඩා සමානකම් පදනම් කරගත් සමාජක්‍රමයන් බවට දීර්ඝකාලීන සමාජ, දේශපාලන අරගල ඔස්සේ වර්ධනයවී ඇති බැවිනි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
27/08/16.

Thursday, 18 August 2016

ලබ්බට තිබ්බ අත පුහුලටත් ? කළුතර කොටුවට වුනදේ මීගමුව කොටුවටත් ?

 ඉහත චිත්‍රයෙන් දැක්වෙනුවේ කළුතර ලන්දේසි කොටුවය. C. Steiger නම් ලන්දේසි චිත්‍රශිල්පියෙක් විසින් 1710 දී අදින ලද මෙම චිත්‍රය නෙදර්ලන්තයේ, ඈම්ස්ට්‍රඩැම් (Amsterdam) නුවර Rijksmuseum කෞතුකාගාරයේ 'Fort Caliture' නැතිනම් 'The fortress of Kalutara seen from the river side' නමින් ප්‍රදර්ශනය කරමින් තිබේ. එහෙත් කළුතර ලන්දේසි කොටුව අද දැකිය හැක්කේ ඉහත අන්දමේ චිත්‍ර මගින් පමණකි. භෞතිකව ලන්දේසි කොටුවක් කළුතර නගරයේ දැන් දැකිය නොහැක. ඒ කළුතර විහාරයේ ඉදිකිරීම් නිසා බව කළුතර නගර විස්තරවල සදහන්වේ. (There is no remains of the fort due the construction of Kalutara Vihara on the site). 

1594 දී Diogo de Melo de Castro ගේ නායකත්වයෙන් කළුතරට ගොඩබැසගත් පෘතුගීසි හමුදාව කළුතර ගඟ අසල පිහිටි උස් බිමක කුඩා කොටුවක් ඉදිකර තිබේ. එය 1622 දී තරමක් විශාල කොටුවක් බවට පත්කර ඇත. එහෙත් එම කොටුව ඉහත චිත්‍රයේ තරම් විශාල ලෙස ඉදිකර ඇත්තේ 1655 දී ලන්දේසින් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍ය යුගයේදී හමුදා අනුඛණ්ඩයක් නවතා තැබූ ස්ථානයක් සහ පරිපාලන මධ්‍යස්ථානයක් බවට පත්වූ කළුතර කොටුව ක්‍රමයෙන් බෝධිගරයක් සහිත මහා විහාරයක් බවට පත්වූ ආකාරය මහාචාර්ය නීරා වික්‍රමසිංහ ගේ (2006) Sri Lanka in the Modern Age. A history of contested identities පොතේ 117 වෙනි පිටුවේ විස්තරාත්මක දැක්වේ. 

'At Kalutara and Anuradhapura the contest acquired a new dimension: land, trees and stones were claimed as part of the heritage of the Buddhists. It was at Kalutara that for the first time Buddhists claimed as theirs a particular -crown land in the Dutch Fort- on the ground that ancient texts declared it to be sacred. The land in the Dutch Fort had long been used for government offices. Oral tradition claimed that the Fort had once been the site of a Buddhist temple. In the late 1880s some Buddhists received permission to establish a shrine around a Bo tree within the fort....Land was obtained on lease and a custodian of the temple began to receive offerings there. Tension mounted between Buddhists and the colonial government when the Assistant Government Agent had two other Bo trees in the Fort  felled. When instruction was given that the shrine had to be moved, fear that  the Bo tree would be cut down led Buddhist to gather forces. On 26 November 1896 a crow assembled  around the Bo tree to protect it. A few skirmishes with police followed no serious violence occurred. The crowd dispersed the next afternoon. The Bo tree was not felled but the shrine was removed.' (P.117)

ඉහත කරුණුවලට අමතරව, තවත් බොහෝ කරුණු  ඇතුලත් කළුතර බෝධිගරය සහ රජ මහවිහාරය බිහිවීම පිළිබද සමස්ථ විස්තරය John Rogers (1997) ගේ 'The Kalutara Bo Tree Affair 1891-1897' නම්වූ පර්යේෂණාත්මක අධ්‍යනයේ ඇතුලත්ය. 

මේ කරුණු අනුව කළුතර පිහිටි ලන්දේසි කොටුව ක්‍රමයෙන් ඉවත්කර බෝධිගරයක් සහිත මහා විහාරයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය දියත්වී ඇත්තේ ක්‍රමානුකූලවය. පියවරින් පියවරය. 

එම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ:   

 1.කළුතර ලන්දේසි කොටුවේ පැලවු බෝ පැලයක් මුල්කරගෙනය. 

  2. ක්‍රමයෙන් වැඩී ගිය බෝ පැලය යට 1880 වනවිට කුඩා      බුදුපිළිමයක් සහ මල් අසුනක්  සහිත පූජස්ථානයක් ඉදිකර ඇත. 

 3. ඒ සමග, කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂීයක් මගින් සනාථ නොකලද, පෘතුගීසින් පැමිණීමට පෙර මෙම ස්ථානයේ පැවතියේ  වංශකථා සාහිත්‍යයේ සදහන්  “මහා ජල්ලික” නම්  ග්‍රාමයක රෝපණය කල  'ජය ශ්‍රී මහා බෝධියේ'  අංකුරයක් සහිතව ඉදිකළ "ගංගාතිලකය"  නම් පැරණි රජමහා විහාරය යැයි යනුවෙන්  මතයක් ගොඩනැගීම.

4. ඒ ඔස්සේ ජනයා වන්දනාමාන කරන පුදසත්කාර කරන ස්ථානයක් බවට මෙම බෝ පැලය සහ  පූජස්ථානය පත් කිරීම. 

5. 1896 දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් කළුතර කොටුව පැවති රජයේ භූමියේ තවත් බෝ පැල දෙකක් නීතිවිරෝධීව සිටවා ආගමික වතාවත් පවත්වන බව සොයාගත් අතර එම බෝ පැල සහ පුජාසන ඉවත් කිරීමට තීරණය කළහ. එයට විරුද්ධව මහජන විරෝධයක් දියත්කිරීම.

6. 1903 දී, 1906දී සහ ඉන් අනතුරුව දිගින් දිගටම කොටුවෙන් එපිට පාර දෙපස බෙරගසමින් ආගමික වතාවත් සිදුකිරීම තුල පුජා භූමියක් පිළිබද අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම. 

7. එවැනි ආගමික වතාවත් සදහා බෙරකරුවන් සහ විවිධ අනුග්‍රහයන් දැක්වූ ඉඩම්හිමි ව්‍යාරිකයෙක්වූ  සිරිල් ද සොයිසා මහතාගේ අනුග්‍රහයෙන් 1921දී  කළුතර මහා විහාරය ඉදිකිරීම අරම්භ කිරීම. 

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ  රටපුරාම නැවතත්  බෞද්ධ සිද්ධස්ථාන ගොඩනැගීමටත්, ඒ ඔස්සේ ලංකාව තුල පැවතියේ බෞද්ධ ආගම පමණක්ය යන්න තහවුරු කිරීමටත්  ඉහත ක්‍රියාදාමය ඒ ආකාරයෙන්ම රටේ විවිධ පළාත්වලද ක්‍රමයෙන් ක්‍රියාවට නංවා තිබෙන බව මීගමුව ලන්දේසි කොටුව ආශ්‍රයෙන් දැන් දියත්වී ඇති ඇතැම් කරුණු ඔස්සේ පෙනී යයි.  

පෘතුගීසින් පැමිනෙන විට ඉතා කුඩා ධීවර ගම්මානයක් වූ මීගමුව, ලංකාවේ ප්‍රධාන නගර පහෙන් එකක් ලෙස වර්ධනයවීම ආරම්භවනුයේ පෘතුගීසින් පැමිණ එහි කොටුවක් ඉදිකර එතෙක් අරාබි වෙළෙදුන් කරගෙන ගිය කුරුදූ, පුවක්, ගම්මිරිස් සහ කරවල ආදී ද්‍රව්‍ය වෙළදාම ඔවුන් පලවාහැර ඔවුන්ගෙන් අත්පත්කර ගැනීමත් සමග බවත්: ඒ සමග එතෙක් මීගමුවේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද ද්‍රව්‍ය නැව් ගත්කල ප්‍රධාන නැව්තොටුපල පිහිටි කම්මල්තුරේ අත්හල පෘතුගීසින් වර්තමාන මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේ සිය කටයුතු සදහා වරායක් සහ කොටුවක් ඉදිකරන ලද බවත්; කම්මල්තුරේ යන නම එම ප්‍රදේශයට ලැබෙනුයේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද නැව් ප්‍රතිසංස්කරණය කල කම්හල් එහි පැවති නිසා බවත් Cosme Jose Costa (1990) ගේ Life and achievements of blessed Joseph Vaz: Apostle of Canara and Sri Lanka නම් කෘතියේ සදහන් වෙන බවත්; ආචාර්ය සුසන්ත ගුණතිලකගේ (2010) A 16th Century Clash of Civilizations: The Portuguese in Sri Lanka කෘතියට අනුව නම් පෘතුගීසින් අවස්ථා කිහිපයකදීම කම්මල්තුරේට, වර්තමාන පෝරුතොට හෙවත් පැරණි පාරුතොටට, ද්‍රවිඩ භාෂාවෙන් (ඇල මතින් ඉදිකළ) 'ලී පාලම' හෙවත් පළගාතුරෙයි (Palangathure) හෙවත් වර්තමාන පළගතුරේ යන ප්‍රදේශවල පිහිටි ඉදිකීරීම්වලට පහර දී කොල්ලකෑම් සිදුකර ධන-ධාන්‍ය රැගෙන ගෝවේට පලාගිය බව සදහන් සදහන් වෙන බවත් මා මීට පෙර ලියු (25/09/15) 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන් හී සදහන් කර ඇත.  'එය මෙතැනින් කියවිය හැක.


පෘතුගීසින් මීගමුව කුට්ටිදූව ආශ්‍රීත ප්‍රදේශයේ කොටුවක් ඉදිකළේ එය මීගමුව කලපුව සහ මුහුද යන දෙකම එකවර නිරීක්ෂණය කල හැකි නිසාත්, එමගින් කොලඹ කොටුවේ ආරක්ෂාව තහවුරුවෙන නිසාත්, අවශ්‍ය අවස්ථාවකදී කලපුව දෙසට පලායාමේ හැකියාවක් පවතින  නිසාත් බවත් බොහෝ වාර්තාවල දැක්වේ. 

මෙලෙස කලින් වඩාත් ජනාකීර්ණව පැවති කම්මල්තුරේ අත්හැර, මීගමුව කුට්ටිදූව (දෙමළ භාෂවෙන් ළමයින්ගේ දූපත හෝ කුඩා දූපත) ප්‍රදේශයේ පෘතුගීසින් විසින් ඉදිකළ කොටුව පසුව ලන්දේසීන් අත්කරගැනීමෙන් අනතුරුව වඩා විශාලකර ඉදිකරන ලදී. අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් අත්කරගත් මෙම මීගමු කොටුව බන්ධනාගාරයක් බවට පරිවර්තනය කරන ලදී. 

1956 S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ රජය බලයට පැමිණීමෙන් අනතුරුව, 1957 ජුනි 06 වෙනි දින මෙම  බන්ධනාගාරයක් බවට පත්වූ මීගමුව ලන්දේසි කොටුවේ බෝ පැලයක් සිටවා ඇත. ඒ  බන්ධනාගාර රැදවියන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙනි. 

එහෙත් මෑතක සිට මීගමුව ලන්දේසි කොටුව පිහිටි භූමියේද 'අප්‍රකට රජමහ විහාරයක්' පවතින බවට  මතයක් ගොඩනැගීමට ආගම්වාදී, ජාතිවාදීන් කිහිප දෙනෙකු කටයුතු  කරන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රකාශනයක් පහතින් දැක්වේ.
මේ විස්තරයට අනුව නම් දැනටමත්, 1957 ජුනි 06 වෙනි දින බන්ධනාගාර රැදවියන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉදිකළ, බෝ පැලය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් ජාතික උරුමයක් ලෙස නම් කර ඇත. එය කෙතෙක්දුරට සත්‍යයදැයි සොයා බැලිය යුතුය. මන්දයත් මේ සිදුකරන්නට තනන්නේ මීගමුවේ ඇති එකම පැරණි උරුමයවන මීගමුව ලන්දේසි කොටුවත්, මීගමුවේ සියලු ජාතීන් සහ සියළු ආගම්වලට අයත් ජනයා අතර ඇති සාමය, සමගිය, සතුට සහ සහජීවනය විනාශ කර දැමීමය. 

අනෙක් අතට, කෙතෙක් ඉල්ලීම් ඉදිරිපත්කලද, කෙතෙරම් පරිහානියකට ලක්වන බව පෙන්වා දුන්නද, මීගමුව ලන්දේසි කොටුව සංරක්ෂණය කිරීමට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරිපත් නොවන්නේ  මීගමුව ලන්දේසි කොටුව නොව බන්ධනාගාර රැදවියන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් රෝපණය කල බෝ පැලය පමණක්  ජාතික උරුමයක් ලෙස සලකන නිසාදැයි මීගමු ජනයාට පැහැදිලි කලයුතුය. මේ සියල්ල ඇසුරින් කියවෙනුවේ කළුතර ලන්දේසි කොටුව මෙන්ම මීගමු ලන්දේසි කොටුවත් ඉදිරියේදී දැකිය හැක්කේ චිත්‍ර මගින් පමණක් බවද? එනම්  කළුතර කොටුවට වුදේ මීගමුව කොටුවටත් සිදුවේද? එදා ලබ්බට තිබ්බ අතම අද පුහුලටත් තියාවිද? යහපාලන රජයේ 'මහනගර සංවර්ධන' ඇමතිවරයා වන සිංහල-බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් චිරාත්කාලයක් තිස්සේ පෙනීසිටින චම්පික රණවක ඇමතියා මීගමුව සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කරනවායි කියමින් මීගමුව ලන්දේසි කොටුවට කරන්න තනන්නේ මෙයද ?
(මීගමුව කුඩා නගරය සහ කොටුව1744 දී Johann Wolfgang Heydt ගේ චිත්‍රයකට අනුව)

මාකස් ප්‍රියන්ත පෙරේරා.
08/08/2016

Wednesday, 10 August 2016

විජය නන්දසිරිගේ මරණය ගැන දුක්වෙන අය ටෙනිසන් කුරේ මියගියවිට කුමක් කරයිද ?

විජය නන්දසිරි මහතාගේ මරණය  නිසා මුළු රටම දුක්වෙන බව පෙනේ. ජනාධිපතිගේ, අගමැතිගේ සිට මහජනයාද facebook ඔස්සේ හෝ ශෝක ප්‍රකාශ නිකුත්කරමින් නන්දසිරි මහතාගේ පවුලේ අය සමග දුක බෙදාගනිමින් සිටී. 

රටේ එක් පුද්ගලයෙකු හෝ මියගියවිට මුළු රටක්ම කම්පාවී හඩාවැටෙන්නේ නම් එය එම රටේ වැසියන්ගේ යහපත්කමේ ලක්ෂණයකි. ශිෂ්ට මිනිසුන් අනෙකාගේ දුක බෙදාගැනීම, තමන් අතරින් වෙන්වගිය අය ගැන දුක්වීම නිසැගයෙන්ම සිදුකරන්නකි. ඒහින් විජය නන්දසිරි මහතාගේ අකල් මරණය ගැන බොහෝ රටවැසියන් දුක්වීම අප අගයකල යුත්තකි.

එහෙත් මගේ ප්‍රශ්නය වනුයේ,  විජය නන්දසිරි මහතාගේ  මරණය ගැන 'රටක් සිනාසාගරයක ගිල්ලවා අප අතරින් වෙනව ගියා යැයි'  කියමින් දුක්වෙන ලාංකීකයන් අතරින් කීයේන් කීදෙනෙකු ප්‍රෙඩී සිල්වාගේ මරණය නිසා හෝ ඇනෙස්ලි, සැමුවෙල්, බර්ටි කාණ්ඩායමේ අය මිය ගියවිට හෝ යම් දිනක ටෙනිසන් කුරේ මියගිය විට  හෝ දුක්වේද ? 

ඒ ඔවුන්ගේ 'ජෝක්' විජය නන්දසිරි මහතාගේ  'ජෝක්' මෙන් හාස්‍ය රසය ගෙන නොදෙන නිසාද ? 

නැතිනම්, විජය නන්දසිරිගේ නම මෙන් ඔවුන්ගේ නම් මනමේ වැනි නාට්‍යය සමග ගැටගැහෙන්නේ නැති නිසාද? 

එසේත් නැතිනම්, මා මීට පෙර  මැතිව් අබේසිංහ ගැන ලිවූ ලෙස (එය මෙතැනින් කියවිය හැක) විජය නන්දසිරිගේ නම මෙන් නොව ප්‍රෙඩීගේ,  ඇනෙස්ලිගේ, සැමුවෙල්ගේ, බර්ටිගේ, රොඩ්නිලාගේ නම් කියවේද්දී එම නම් 'අපේ වගේ නොවන' නිසායැයි සිතන නිසාද? එහෙත් එය ජෝ අබේවික්‍රම, විමල් කුමාරද කොස්තා, බන්දු සමරසිංහ ආදීන්ට අදාල නොවනවා නේද යැයි සිතුවිට උක්ත අදහස නොගැලපෙණු ඇත. 

එසේනම් විජය නන්දසිරිට ඇති සුවිශේෂීත්ව අදාල ක්ෂේත්‍ර අන්අයට නැත්තේ ඇයි? 

ඒ සම්බන්දයෙන්වූ මගේ අවධානය දිනාගන්නා ප්‍රධාන සාධකයවුයේ විජය නන්දසිරි මහතාගේ සිංහල භාෂාව හැසිරවීම පිලිබදවවූ කුසලතාවයය. 

විජය නන්දසිරි මහතා තරම් සුඛනම්‍යලෙස, ලාලිත්‍යකින් යුතුව, දේශිය උරුවකින් සිංහල භාෂාව හැසිරවූ වෙනත් කිසිම හාස්‍ය රසය උපදවන නළුවෙක් නොමැති තරම්විය. ඔහු හා සැසැදිය හැකිලෙස  සිංහල භාෂාව හැසිරවීමට සමත් වෙනත්  හාස්‍ය රසය උපදවූ නළුවෙක්වූයේ නම්  ඒ ජෝ අබේවික්‍රම පමණි. 

විද්‍යුත් මාධ්‍යවල විවිධ වැඩසටහන්වලට නැතිවම බැරි චරිතයක්වූ ඔහු, ඒ සෑම අවස්ථාවකම සුඛනම්‍යලෙස, ලාලිත්‍යයක් ඇතිව, දේශිය උරුවකින් යුතුව සිංහල භාෂාව හසුරවමින් ජනහිත් ජයගත්හ. එවැනි බොහෝ වැඩසටහන්වලදී ඔහු විකට නළුවෙක් පමණක් නොව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ හී සිට වෙනත් බොහෝ ප්‍රබුද්ධ චරිත රගදැක්වූ කුසලතා පිරි නළුවෙක් යැයි  සමාජය වටහා ගත්හ. 

ප්‍රෙඩී සිල්වාට,  ඇනෙස්ලි-සැමුවෙල්- බර්ටි තුන් කට්ටුවට, ටෙනිසන් කුරේලාට, බන්දු සමරසිංහට ලගාවිය නොහැකි අන්තය එයය. එහෙත් ජෝ අබේවික්‍රමට සහ විමල් කුමාරද කොස්තාට අඩුම තරමින් එම ඉම ස්පර්ෂ කිරීමට හෝ හැකිය. 

"As soon as there is language, generality has entered the scene" යැයි Jacques Derrid (1995), Points...: Interviews, 1974-1994, page 200, දක්වන්නේ ඒහිනි. 

භාෂාව සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොව පැහැදිලිව සමාජ ආධිපත්‍ය පිළිබද මාධ්‍යයකි. S.W.R.D. බණ්ඩාරනායක අගමැතිවරයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම තුල බිහිවන සිංහල උගත් ස්වෝත්තමවාදී නව සමාජ පන්තියේ මහා නාට්‍යකරුවා වන  එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ  මනමේ හී එක්කලක රගපෑ මනමේ කුමාරයෙක්වන  විජය නන්දසිරි මියයන විට J.R. ජයවර්ධනගේ විවෘත ආර්ථිකය විසින් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරනලද වානිජ්‍යවාදී සමාජය තුල හාස්‍ය රසය අලෙවිකරමින් ජීවත්වෙමින් සිටියද, ඔහු ඔහුගේම ක්ෂේත්‍රයේ සෙස්සන්ට වඩා සුවිශේෂීවනුයේ සුඛනම්‍යලෙස, ලාලිත්‍යයක් ඇතිව, දේශිය උරුවකින් යුතුව, සිංහල භාෂාව හැසිරවීමට සමත්වීම තුලය. 

විජය නන්දසිරිගේ මරණය ගැන දුක්වෙන අය ටෙනිසන් කුරේ මියගියවිට කුමක් කරයිද? දැයි සිතූවිට මගේ මතකයට ගලා එනුයේ ටෙනිසන් කුරේ විකට නාට්‍ය කෙරුවාවට අවතීර්ණවනවිට හිරිමල් වයසේ සිටි තරුණ තරුණියන් අතර හුවමාරුවූ 'සමරු පොත්වල' එකල ජනප්‍රියවූ වැකියකි. එනම් 'අපි හිනාවෙනකොට අපිත් එක්ක හිනාවෙන අය, අපි අඩනකොට අපිත් එක්ක අඩන්නේ නැහැ නේද?' යන්නය.

ඇතැම්විට ඉදිරියේදී එය මෙසේ වුවද වෙනස්විය හැක: 'විජය නන්දසිරි මැරුණවිට අඩපු අය  ටෙනිසන් කුරේ මැරුණවිට අඩන්නේ නැහැ නේද ?' 
මාකස් ප්‍රියන්ත පෙරේරා
10/08/2016.