Wednesday, 8 June 2016

Cassius Clay to Muhammad Ali - පීඩිතයාගේ ආගම ක්‍රිස්තියානියේ සිට ඉස්ලාම්වීම.

මේ සියවසේ විශිෂ්ඨම ක්‍රීඩකයා ලෙස මියයනවිට තමන් තරගකල බොක්සින් තරග 61කෙන් 05ක් පමණක් පරාජයවී ඉතිරි තරග 57ම ජයගෙන, 1964 සිට 67 දක්වාත්, 1974 සිට 78 දක්වාත්, අනතුරුව 1978 සිට 79 දක්වාත් ලෝක ශූරයා ලෙසද, වයස 18 පිරෙත්ම ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරගත් වීරයෙකු ලෙසත්, කළු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවන් හඩ නැගූ අභීත යුග පුරුෂයෙක් ලෙසත් කිරුළු පැලදී Muhammad Ali (මොහොමඩ් අලි) සිය මුල් ආගමවූ ක්‍රිස්තියානි ආගම සහ බෞව්තිස්ම ක්‍රිස්තියානි නාමය වූ Cassius Clay (කැලැෂියස් ක්ලේ) යන්න  අත්හැර  1964 ජුනි මාසයේදී ඉස්ලාම් ආගම වැළදගන්නා ලදී.  

ඒ සදහාවූ ඔහුගේ පෙලබීම කුමනාකාරදැයි යන්න Karl Evanzz (1967) ගේ 'I Am the Greatest: The Best Quotations from Muhammad Ali' යන කෘතිය ඇසුරින්වුවද විමසා බැලිය හැකිය. Muhammad Ali සිය නම සහ ආගම වෙනස්කර ගැනීම ගැන දක්වා ඇති අදහස් ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට ගොනුකල හැකි බව මගේ විශ්වාසයයි.

(1.) සිය මුල් කාලීන දේශපාලන දැක්ම සකස්කරන්නාවූ Malcolm X පරිදිම Muhammad Aliද 1964 දීම දැක්වුයේ සිය ක්‍රිස්තියානි නම සහ වාසගම වන Cassius Clay යන්න තමන්ගේ වහල් නාමය බවය (slave name). එනම් තමන්ගේ සීයාට හෝ මුත්තන්ට Clay යන නමදී ඇත්තේ ඔවුන්ගේ වහල් හිමියන් විසින් බවය. ඒ අනුව ඔවුන්ට නව මිනිසෙකුවීමට නම් ඉන් නිදහස්වීම අවශ්‍ය බව එමගින් අදහස් කළේය. තවද Muhammad යන්න තුල වඩා ප්‍රසංසා ලැබිය යුතු තැනැත්තා යන්න (The Most Praised One) සහ Ali යන්න තුල උසස් තැනැත්තා යන්න ගැබ්ව තිබීම Muhammad Ali ගේ "I am the Greatest" යන සිහිනය විකසිත කරන්නක් විය. 

(2) නම පමණක් නොව සෙසු සියල්ලෙන්ද කළු මිනිසා සුදු මිනිසාගෙන් වෙනස් බවත්, එහෙයින් කළු මිනිසා සුදු මිනිසාගෙන් වෙන්ව, විගලිතව  සිටිය යුතු බවත්, සුදු මිනිසාගේ සංස්කෘතියෙන් සම්පුර්ණයෙන්ම නිදහස් විය යුතු බවත් ඔහු 1960 සිට 1976  දක්වා  අවස්ථා රාශියකදීම දක්වා තිබේ. බහුතර ඇමරිකානුවන් නාදුනන ඇමරිකානුවා නියෝජනය කරන්නාවීමේ දේශපාලනය සිය සංස්කෘතිය කරගැනීම ඔහුගේ ප්‍රකාශනයන්ගේ සාරය ලෙස මතුව තිබුණි (“I am America. I am the part you won't recognize. But get used to me. Black, confident, cocky; my name, not yours; my religion, not yours; my goals, my own; get used to me”). ඔහු ඒ චින්තනය උකහා ගත්තේ Malcolm X ගෙනි.

1960 දශකයේ දිග හැරුණු කළු ඇමෙරිකානුවන්ගේ අයිතීන් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන්වූ යෝධ ව්‍යාපාරයේ නායකයා ලෙස Martin Luther King (මාටින් ලූතර් කින්) මතුව සිටියද, ඔහුට වඩා වෙනත් ප්‍රවේශයකින් එම සටනට නායකත්වයදීමට  Malcolm X ඉදිරිපත්විය. Martin Luther King සිය දේශපාලන ව්‍යපෘතිය ඔස්සේ සමානත්වය (I believing neither in black supremacy nor white supremacy, I believing equality - L. Journal, 20/03/1964, page 11) මුල්කරගත් සමාජයක කළු සහ සුදු ජනකොටස් සංකලනයවී (integration) සහජීවනයෙන් ජීවත්වීම යෝජනාකරන විට Malcolm X පෙනීසිටියේ සුදු මිනිසාගෙන් සම්පුර්ණයෙන්ම වෙන්වයාමය. Malcolm X සුදු මිනිසාව ද්වේශසහගත ලෙස පිළිකුල්කල අතර සුදු මිනිසාගේ ප්‍රචණ්ඩත්වයට  එරෙහිව කුමන හෝ ප්‍රචණ්ඩත්වයක් යෝජනාකළේය. එමගින් එතෙක් කුලෑටිව  සුදු මිනිසාගේ ඕනෑම ප්‍රචණ්ඩත්වයක් ඉවසා සිටීමට පුරුදුව සිටි කළු මිනිසාව සටන්කාමී ලෙස අවධිකලේ යැයි Muhammad Ali දක්වා තිබුණි. Malcolm X බොහෝ වාක්‍ය Muhammad Aliගේ  මුවින්ද ඒ ආකාරයෙන්ම පිටවිය. එයට හොදම උදාහරනයක්  ඔහුගේ "Integration is wrong. We don’t want to live with the white man; that’s all" නම් ප්‍රකාශය දැක්විය හැක. Muhammad Aliට Malcolm X ගේ ආභාෂය කෙතෙක් දැඩිව ලැබී තිබුනේදයත් ඔහු Muhammad Ali ලෙස සිය නම වෙනස්කරගැනීමට පෙර කලක් Cassius X Clay ලෙස තම නම භාවිතාකර තිබේ.

කෙසේවුවද, වැඩි කලක් නොගොස්ම Malcolm X යනු ප්‍රකාශකයෙකු පමණක් බවත් නිස්සාර ජීවිතයක් ගතකරමින්, අයාලේ සිරගෙවල්වල ලැගමින් සිටි Malcolm Xට මගපෙන්වීමක් සහ දේශපාලන දැක්මක් ලබාදී ඇත්තේ Elijah Muhammad විසින් නායකත්වයදුන් Nation of Islam නම් ඇමරිකානු කළු මුස්ලිම් සංඝය විසින් බව නොබෝ කලකින්ම  Muhammad Aliට අවබෝධවිය. අනතුරුව ඔහු Malcolm Xගෙන් බිදීගොස් Elijah Muhammad ගේ Nation of Islam මගපෙන්වීමට අවනතවිය. මේ අතර Elijah Muhammad විසින් බාලවයස්කාර කාන්තාවන් ආවාහ කරගමින් වසන්නේයැයි මාධ්‍යට හෙළිකරමින් Malcolm X සිය ගුරුවරයාවූ  Elijah Muhammadට සහ Nation of Islam ව්‍යාපාරයට එරෙහිව වෙනත් මුස්ලිම් සංඝයක් ගොඩනැගීමට කටයුතු කරනලදී. මෙම පාර්ශව දෙකේ ගැටුම Malcolm X ගේ ඝාතනය දක්වා දිවෙන ලදී. 

1965 පෙබරවාරියෙදී සිය පැරණි මිතුරා මෙන්ම ඔහුගේ මුල්කාලීන දේශපාලන දැක්ම සකසන්නාවූ Malcolm Xගේ ඝාතනය ගැන Muhammad Ali පැහැදිලිවම කම්පාවු බව ඔහුගේ ප්‍රකාශන ඇසුරින් පෙනීගියද, එම ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතුවු Elijah Muhammadගෙන් සහ ඔහුගේ Nation of Islam  ව්‍යාපාරයෙන් Aliට ඉවත්වීමට එය හේතුවක් නොවිණි. ඒ වෙනුවට ඔහු තවදුරටත් එහි කොටස්කරුවෙක් වෙනලදී. එහිලා ඔහු 1967දී ඇමෙරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්දයට යෑම ප්‍රතික්‍ෂේප කිරීම නිසා උද්ගතවූ තත්වයද හේතුවන්නටවිය. වියට්නාම් යුද්දයට යෑම ප්‍රතික්‍ෂේප කිරීම  නිසා Aliට   වසර 4ක බොක්සින් තහනමක් පැනවිණි. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ හොදම වසර 06ක කාලයක් ඔහුගෙන් උදුරාගත් තීරණයක් විය. එහෙත් වියට්නාම් යුද්දය ගැන ඔහුගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොවන ලදී. ඔහු දැක්වූ ලෙස: “Why should they ask me to put on a uniform and go 10,000 miles from home and drop bombs and bullets on Brown people in Vietnam while so-called Negro people in Louisville are treated like dogs and denied simple human rights?...The real enemy of my people is here. I will not disgrace my religion, my people or myself by becoming a tool to enslave those who are fighting for their own justice, freedom and equality. If I thought the war was going to bring freedom and equality to 22 million of my people they wouldn't have to draft me, I’d join tomorrow. I have nothing to lose by standing up for my beliefs. So I’ll go to jail, so what? We've been in jail for 400 years...”Muhammad Ali (මොහොමඩ් අලි)ගේ මෙම අදහස් Elijah Muhammad ගේ (1973) 'Message to the Blackman in America' කෘතියේ එන බොහෝ අදහස්වල ප්‍රතිබිම්බයකි.
 Muhammad Aliට සිය මුල් ආගමවූ ක්‍රිස්තියානි ආගම සහ බෞව්තිස්ම ක්‍රිස්තියානි නාමය වූ Cassius Clay (කැලැෂියස් ක්ලේ) යන්න  අත්හැර  1964 ජුනි මාසයේදී ඉස්ලාම් ආගම වැළදගැනීමට පෙලඹවූ (3) අනෙක් කරුණ වශයෙන් පෙනීයනුවේ ඔහුට කුඩාකල සිටම බටහිර ක්‍රිස්තියානි ආගම මෙන්ම බටහිර ශිෂ්ටාචාරය විසින් ගොඩනගා ඇති විවිධ අඛ්‍යාන ගැන තිබු දැඩි විවේචනාත්මක ප්‍රවේශයය. තමා කුඩාකල සිටම ජේසු සහ වෙනත් සාන්තුවරුන් සුදු ශරීර වරණයෙන් යුතුව, නිල් ඇස් ඇතිව සිතුවම් කරඇත්තේ ඇයි ? කළු සාන්තුවරුන්, දේවදුතයන් නැත්තේ ඇයි? සුදු ටාසන් පමණක් සත්තු එක්ක කථාකරන්නේ ඇයි?  යනුවෙන් ප්‍රශ්න කල බව සහ ඒවැනි ගැටළු  ඔහුට කෙතෙක් කාවැදී තිබුනේදැයි යන්න ගැන 1971 දී BBCයේ  Michael Parkinson සමග ඔහු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවෙන් අවබෝධකරගත හැක. 

ඒවැනි ගැටළු  පැහැදිලිවම සිය ජීවන වටපිටාවත් සමග සම්බන්ද, එදිනෙදා ජීවිතයේදී ඔවුන් මුහුණදෙන ගැටළු ඇසුරින් පැනනැගි ගැටළු බව පැහැදිලිය. 

මේ සියල්ල ඇසුරින් පෙනීයනුවේ පීඩිතයාගේ ආගමක් ලෙස ප්‍රභවය ලබන ක්‍රිස්තියානි ආගම 1960 දශකය පමණ වනවිට  පීඩකයාගේ ආගම ලෙසට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබුන බවක්  නොවේද? රෝම අධිරාජ්‍යයේ සිට පිඩිත ජනයාගේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් බලාපොරොත්තු දැල්වූ ක්‍රිස්තියානි ආගම ඇමරිකානු එක්සත් ජනපදයේ වහල් වෙළදාම පැවති සමයේ පවා එම සාරය ඇතිව පැවති බව John Warner Barber සහ Arthur Abraham (1840) දි පලකල 'The Amistad revolt: struggle for freedom'  ඇසුරින්ද,  Steven Spielberg (1997) නිර්මාණයකල Amistad චිත්‍රපටිය ඇසුරින්දවුවද  අවබෝධකරගත හැක.   

1960 දශකයේ  Martin Luther King (මාටින් ලූතර් කින්) ගේ නායකත්වයෙන් දියත්වූ  කළු ඇමෙරිකානුවන්ගේ අයිතීන් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන්වූ ව්‍යාපාරය තුලද ඉහත සදහන් කල ක්‍රිස්තියානි ආගම පනපෙවූ පිඩිත ජනයාගේ යුක්තිය සහ සාධාරණත්වය පිලිබදවවූ බලාපොරොත්තුව නොඅඩුව තිබුන නමුදු තමාගේම ආගම අදහන තමන්ගේ පීඩකයා විසින් එල්ලකරන පීඩනයේ සහ ප්‍රචණ්ඩත්වයේ ඉහලයෑම තුල පීඩිතයාගේ ආගම ක්‍රිස්තියානියේ සිට ඉස්ලාම්වීම දක්වා ක්‍රමයෙන් ව්‍යාප්තව යාම ඇරබි බව Muhammad Aliගේ ජීවන චරිතය ඇසුරින් පෙන්වාදිය හැක. මේ තත්වය වර්තමානය වනවිට කෙතෙක් වර්ධනයවී ඇත්දැයි මා කලකට පෙර සමබිම පුවත්පතට ලිවූ 'සමන්තා ලෙව්ලිත් අත්අඩංගුවට ගැනීමට ඕනෑ කර තිබේ' යන ලිපිය තුල විස්තරකර ඇත. 

කෙසේවුවද, 1977 සිට   Muhammad Aliට ඇමරිකාවේ විවිධ ජනාධිපතිවරුන් විසින් සම්මාන, පිළිගැනීම් සහ විවිධ අභිෂේකයන් පවත්වාතිබුනද, පසුගිය ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ ආරම්භ උත්සවයේ පහන දැල්වීමට පවා ආරාධනා කලද, නයිට් නාමය ලබා දෙන යෝජනා ඉදිරිපත්වන තරමට බටහිර සමාජය ඔහුව පිළිගැනීමට ලක්කලද හේ නැවත Cassius Clay බවට පත්වීමටවත්, තමා දැඩිව ප්‍රතික්ෂේප කල ප්‍රචණ්ඩත්වය ඉස්ලාම් ආගම නාමයෙන් වඩා ඉස්මතුව පෙනෙන තත්වයක් මතුවුවද, Muhammad Ali සිය නමවත්, ඉස්ලාම් ආගමවත් අත්හැරියේ නැත. ඒ  Cassius Clayගේ සිට Muhammad Ali දක්වා වූ වෙනස්වීම පීඩිතයාගේ ආගම ක්‍රිස්තියානියේ සිට ඉස්ලාම් ආගම දක්වා පරිවර්තනයවෙමින් පවතින බව සංකේතවත්කල පුරෝගාමීන්ගෙන් කෙනෙකු වූයේ තමායැයි ඔහු අවබෝධකරගෙන සිටි නිසාදැයි නොදනිමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/06/16.

6 comments:

  1. ගොඩක් වටිනා තොරතුරු.....

    ReplyDelete
  2. අම්බෙඩ්කර් බුදුදහම වැළඳ ගැනීම ගැන ඉස්සර මගේ පැහැදීමක් තිබුනේ නෑ. මගේ අදහස වුනේ හින්දු ආගම තුල කුල පීඩනයක් ඇත්නම් හින්දු ආගම තුල රැඳෙමින්ම අරගල කලයුතු බවයි. එතැනදී මිනී මැරුවත් කමක් නෑ. නමුත් බුදුදහමට හැරීම වැරදි බවයි මගේ මතය වුනේ.
    නමුත් මට පසුව වැටහුනා අම්බෙඩ්කර් කලේ නිවැරදි ක්‍රියාව බව. ඔහු දුටුවා අඩුකුලවල ජනකොටස් ක්‍රිස්තියානි/ මුස්ලිම් ආගම් වලට හැරෙමින් තිබෙන බව සහ හින්දු සමාජය තුල කුලබේධයට එරෙහි පරිවර්තන කලගතවන බව, මේ අවස්ථාවේදී කලහැකි හොඳම කටයුත්ත අඩුකුලයේ ජනතාව අතර බෞද්ධ හෝ ජෛන වැනි ආගමක් ජනප්‍රිය කරවීම බව. අම්බෙඩ්කර හින්දු ආගම ආරක්ෂා කල කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔයාට කල්ගිහිල්ලා තව තව දේවල්ගැන ඔයා වැරදියි කියලා හිතෙයි !!!

      Delete