Thursday, 29 December 2022
බංග්ලාදේශයේ මෙට්‍රො දුම්රිය ගැන අපේ වැලපීම
Tuesday, 13 December 2022
නිහාල් නෙල්සන්ව පිරිපුන් කලේ 'කිරි දුන්නේ දරුවන්ටයි' ගීතයද?
නිහාල් නෙල්සන් කලාකරුවා මියගිය පුවත අද උදේම දැක්කා. ඒ පුවත සම්බන්ධයෙන් මට වගේම තවත් බොහෝදෙනෙකුටත් ඇත්තේ දුකක්, වේදනාවක්, සාතිශය කනගාටුවක්ද, නැති නම් කිසියම් දන්න කියන කෙනෙක් නික්ම ගියා, වෙන්ව ගියා වගේ හැගීමක්ද කියන එක ගැන අපිට තවම හරියටම කියන්න බෑ... මට එහෙම හිතෙන්නේ අප බොහෝදෙනෙක් නිහාල් නෙල්සන්ගේ රසිකයෝ නිසයි...ඒ රසිකයෝ අතර නිහාල් නෙල්සන්ගේ 'නාන් දීන් තිලක නදින්' කාවඩි බයිලාවට පොලොවේ පස් කාගෙන, වැස්සේ මඩ නාගෙන, සංගීත සංදර්ශනවල රෑ එලිවෙනකම් නැටුව අයත් ඇති තරම් ඇති... ඔහුගේ 'ලස්සනට පිපුන වන මල්' වල ඉදන්, 'සල්ලි මිටි ගණන්' වගේම 'මේක ගුණ අය්යාගේ බජ්ව් දාන කාමරේ' වගේ සින්දුත්, ඒවගේම ශ්‍රද්ධාව මතුකරන 'කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ' වගේ ගීතත් රසවිදපු විවිධ සමාජ ස්ථරයන්වලට අයත් බොහෝ දෙනා අප අතර වෙනවා.
මට නම් නිහාල් නෙල්සන් කියන්නේ ඇත්තටම ගායකයෙකුට වඩා performer කෙනෙක්. මොකද ලංකාවේ ගායකයෝ කියන හුගාක් අය සලකන්න පුලුවන් වෙන්නේ vocalist විදිහටයි. ලංකාවේ ඔය ගායකයෝ කියන බොහෝ vocalist ලා කරන්නේ ගීතයකට හඩ සැපයීමයි. කිසියම් සංගීතයකට අනුව සැකසූ පද ටිකක් තාලයට උච්චාරණ කරන එක තමයි ඔය ගායකයෝ කියන vocalist ලා හුගාක් දෙනෙක් කරන්නේ...අපි කවි, සින්දු, ගීත, ගීතිකා කියලා රසවිදින්නේ අර vocalist ලා කිසියම් සංගීතයකට අනුව මුසු කල හඩයි. ඒත් නිහාල් නෙල්සන් කියන්නේ එහෙම vocalist කෙනෙක් නෙමේ..performer කෙනෙක්, ප්‍රසාංගික කලාකරුවෙක්...ඔහු වේදිකාවට ගොඩවුනාම උඩ පනිනවද, දගලනවද, මයික් එක විසිකරන්න යනවද, උඩදාලා අල්ලනවාද, ඇබැරෙනවද, ඇකිලෙනවද, කෑගහනවද, බෙරිහන් දෙනවද, විසිල් ගහනවද, නටනවද, වාදකයින්ට වාදනය කරන හැටි කියලා දෙන්න යනවද කියලා හිතාගන්න බෑ...ඒ තරමට performance, ප්‍රසාංගිකයි...මුළු වේදිකාවම කුල්මත්... රසිකයෝ ෆුල් චූන්..බැහැලා යන්න දෙන්නේ නෑ.. මේ අදක ඊයෙක ඉදන් නෙමේ ඔහුගේ මුල්ම ගීතය විදිහට ප්‍රචාරණය වුන 'ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්' ගීතය ප්‍රචාරණයවුනු කාලේ ඉදන්.. ඒ සින්දුව නිකුත්වෙලත් දැන් අවුරුදු 60ක් විතර වෙනවා... එදා ඉදන් මේ වෙද්දි කැසට් එකසිය 113 ක්ද කොහෙද ගහලා තියෙනවාලූ.. 'සන්ෆ්ලවස්'ලා එක්ක ඩොට්.කොම් කියලා 110 කැසට් එකක් නිකුත්කරලා තියෙනවා නම් දැක්කා..අපි කොහොමත් 'සන්ෆ්ලවස්' ෆෑන්ලා නේ.
නිහාල් නෙල්සන්ගේ තව දෙයක් තියෙනවා ඒ තමයි ඔහු කතා කරන භාෂා ශෛලය ඔහුගේ ගීතවලත් දකින්න පුලුවන්වීම...එය එක්තරා ආකාරයක බජාර් භාෂාවක්..මොරටුවේ වුනත් අමරදේවට, සුනිල් පෙරේරා ලාට වඩා නිහාල් නෙල්සන්ගේ භාෂා ශෛලය වෙනස්. ඇත්තම කිව්වොත් 'ගැන්සි භාෂාව' කියලා එය හදුන්වා දුන්නට වරදක් නෑ...අනෙක් ගායකයින්ට වඩා වෙනස් නිහාල් නෙල්සන්ගේ භාෂා ශෛලය මගේ මතකයේ තැම්පත්වුනේ මීට කාලෙකට කලින් අපේ පැත්තේ, මීගමුවේ, සංගීත සංදර්ශනයකට ඇවිත් ගායකයින්ගේ වාරය එනකම් කෑම-බීම ආගිය කතා කියමින් සප්පායම් වෙමින් ඉද්දී ඔහු කතා කරන විදිහ ගැන අවධානය යොමු කිරීමෙනුයි. එහිදී ඔහුගේ භාෂා ශෛලය එඩ්වඩ් ජයකොඩිගෙන්, ෂෙල්ටන් මුතුනමගෙන්, සන්ෆ්ලවස් නීල්ගෙන්, ආත්මා ලියනගේ ආදීන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මම හොදට දැක්කා...හරියම ඒක කොහොමද විස්තර කරන්නේ කියලා හොය හොය ඉද්දි තමයි ඔහු අර 'ජනරළ' කියන පත්තරයකට දීලා තිබ්බ interview එක දැක්කේ. ඒ interview එක හොදින් කියවලා බලන්න මම කියනදේ ඔබට අහුවේවී..!!
ඇත්තටම මට හිතෙන්නේ එහෙම ගැන්සි භාෂා ශෛලයක් එක්ක ඉස්සරහට ගිය එකම කලාකරුවා ඔහු වෙන්න ඇති. එහිලා ඔහු ගැයූ: "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..." කියන ගීතය ලොකු බලපෑමක් කරන ඇති. මොකද ඒ ගීතය ආමන්ත්‍රණය කරන සමාජ ස්ථරයන් විතරක් නෙමේ ජාති, ආගම්, භාෂා පදනම් විතරක් නෙමේ එක්තරා ආකරයකින් අනන්‍යතා නියෝජනයකුත් නිරූපණය කරනවා. ඔහු ජීවත්ව සිටියදීම නිහාල් නෙල්සන් නමින් පාරකුත් නම් කරන තත්වයට ඔහු ලගාවුනා!! ජීවත්වෙලා ඉද්දි විතරක් නෙමේ මියගිය පසුව වත් මොරටුවේ සුනිල් පෙරේරාට හෝ ටෙනිසන් කුරේරලාට ඒහෙම පිලිගැනීමකට ලගාවෙන්න පුලුවන්ද කියලා දැන්ම කියන්න කල් වැඩියි.
ඉතින් ඔහුගේ මරණය ගැන අසා ඔහුට අනෙක් බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කරනවා වගේ නිහාල් නෙල්සන් කලාකරුවාට සුබ ගමන් යැයි කියන්න බෑ. ඔහු කිසියම් ආකාරයක ගමනක් ඉතා හොදින් නිමකල තැනැත්තෙක්. ඔහු ගිය මග යන වෙන කිසිවෙකුත් නෑ!! වෙන කිසිවෙක්ටත් බෑ!! ඔහු ඔහුමයි!!ඒ නිසා ඔහුට ගැලපෙන්නේ නිහාල් නෙල්සන් කලාකරුවාට නිවන් සුව ලැබේවායි යන්නයි!!
නිහාල් අය්යා, ජයවේවා👍!!
ඔහු හිටියනම් ඔහු දෙන උත්තරෙත් මට හිතා ගත්ත හැකියි;
"හරි මල්ලි ගිහිල්ලා එනනම්, ෆිට් එක ආ"👍!!
මාකස් ප්රියන්ත පෙරේරා
13/12/22
Sunday, 27 November 2022
මීගමුවේ FIFA කලාපය සහ මීගමුවේ football උණ
Friday, 11 November 2022
මීගමුවේ නිවාස ප්‍රශ්නය හා මීගමුවේ ජනසංයුතිය වෙනස් කිරීමේ සැලැසුම්
Sunday, 9 October 2022
පුටින්ගේ උපන් දිනයදා නොබෙල් සාම තෑග්ග පුටින්ගේ විවේචකයන්ට දිමේ නොබෙල් දේශපාලනය
Friday, 30 September 2022
1672 බැලදියුස් ඇඳි මීගමුවේ පෘතුගීසි කොටුපවුරට සිදුවුයේ කුමක්ද?
Wednesday, 31 August 2022
පුටින් පොලොවේ ගැසු ගොර්බචොව්ගේ නොබෙල් තෑග්ග
Friday, 15 July 2022
සුබ සහ යස
'සුබ සහ යස' හෙවත් කිරුල හුවමාරු කරමින් සිදු කරන ඓතිහාසික 'විහිළුව' ඇසුරින් ඒ නමින්ම අළුත් නාට්‍යයක් 1974 දී කරන සයිමන් නවගත්තේගම මෙහෙම ලියනවා: "මේක අපෙයි රජ්ජුරුවොයි අතරේ හටනක් නොවෙයි, අපි සිංහාසනයේ ඉදගන්න යන්නේ මහජනයාත් එක්ක - මහජනයා නැතිව එතන්ට ගිහිල්ලා කල කෝලාහලයක් කරලා ඔක්කොම මරලා සිංහාසනයේ ඉදගත්තට අපිට රාජ්‍යය බලය ලැබෙන්නේ නෑ" (සයිමන් නවගත්තේගම, (2001),'සුබ සහ යස' - පිටුව. 35).
දැන් මෙතෙක් මිස්‍ටර් බීන් (Mr. Bean) යැයි කියු රනිල් වික්‍රමසිංහ තාවකාලිකව හෝ වැඩ බැලීමට හෝ ජනාධිපති ලෙස පත්වි අපිට එහෙම කියනවා: "මට අතිගරු කියන්න එපා" !! "ජනාධිපති කොඩියකුත් එපා, රටටම තියෙන්න ඕනේ එ ක කොඩියයි"!!
ඒ අර සිංහයා ලේ පාට පසුබිමක, බෝකොල හතරක් හතරකොනේ ගහගෙන, කොටුවක සිරවී කකුල් තුනෙන් හිටගෙන එක කකුලකින් කඩුවක් දරාගෙන සිටින කොඩිය.
මාකස් ප්රියන්ත පෙරේරා
15/07/2022
Tuesday, 21 June 2022
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීම රටම වින්දිතබවෙන් ගලවා ගැනීමකි
අද ද 21 වෙනිදාවකි. 2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා දින කිතුනු දේවස්ථාන තුනකට සහ කොළඹ සංචාරක හෝටල් කිහිපයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ලවී අද ට (21/06/22) මාස 38 කි. ප්‍රහාරයෙන් 269 දෙනෙකු මියගොස් 500යකට වැඩි පිරිසක් තුවාල වූහ. මියගිය ජනයා ගැනවූ වේදනාවෙන් පසුවන්නන් මෙන්ම අදටත් තුවාල සහ පසු කම්පනවලට ප්‍රතිකාර ලබන්නෝද එමටය. එහෙත් අවුරුදු 3කුත් මාස දෙකක් හෙවත් මාස 38 ගතවී ගියද පාස්කු ප්‍රහාරයට යුක්තිය මෙතෙක් ඉටුවී නොමැත.
පාස්කු ප්‍රහාරය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ නිමක් නැති ඝාතන ගොන්න අතර තවත් එක් මේලේච්ච සමූහ ඝාතනයක් පමණක් නොවේ. ලේ වැකි ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසය තුල තවත් එක් හුදකලා කල හැකි කෲර අපරාධයක් පමණක් නොවේ.
පාස්කු ප්‍රහාරය යනු කිසිසේත්ම සරලව සැලකිය හැකි එක් අපරාධයක්වත්, අපරාධ අතර තවත් එක් අපරාධයක්වත් නොව, නිදහසින් පසු ගොඩනැගුනු ශ්‍රී ලංකා රාජ්‍යයේ විවිධ පැතිකඩවල් තීව්‍ර ලෙස විවරකර පෙන්වන, රටේ ගොඩනැගී ඇති ජඩ දේශපාලනයේත්, අභ්‍යන්තරයෙන්ම කුණුවී ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ විෂම ව්‍යහුයෙත් හරස්කඩක් හොදින් නිරූපනය කරන, රාජ්‍යය යාන්ත්‍රණයේ ඉහල සිට පහලටම්ස් ඇගිල්ල දිගුවී ඇති 'සංවිධානාත්මක අපරාධකි'.
ඒබව, "පාස්කු ප්‍රහාරය දැවැන්ත කුමන්ත්‍රණයක්" යැයි කියූ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශණයේ සිට පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශන කල මලල්ගොඩ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ වාර්තාව, පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශන කල ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව ඇතුළු රටතුල විමර්ශන සිදුකල කොමිසම් සභා වාර්තා ඇසුරින් පමණක් නොව ඇමැරිකා එක්සත් ජනපදයේ FBI වාර්තාවේන් පවා පෙනීයන සත්‍යයකි.
එකී විමර්ශන අසුරෙන් පෙනී යන කරුණු අතර:
1. පාස්කු ප්‍රහාරය එල්ල කිරීමේ ක්‍රියා පටිපාටියද, සම්පත් සහ අමු ද්‍රව්‍යය රැස් කරගැනීමද, ප්‍රහාරය එල්ල කරන තුරු ප්‍රහාරකයින් අත් අඩංගුවට පත්නොවීම දක්වාද, ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය පිටුපස සිටි පිරිස් අනාවරණය නොවී සිටිමට මෙන්ම නීතිය ඉදිරියට නොපැමිණීම දක්වාද, එසේ නිතිය ඉදිරියට පැමිණියහොත් නීතියෙන් ගැලවී යෑම දක්වාද දියත්වූ, ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය නිලධාරීන්ගේ සිට රාජ්‍ය යාන්ත්‍රණ හැසිරවීම දක්වාම දිගැස්සුණු ක්‍රියා කලාපයකින් යුතු පුලුව විහිදී ගිය සබදතා ජාලයක් ඔස්සේ මනාව සංවිධානය වී එල්ල කල ප්‍රහාරයක් බව විද්‍යාමානවීම.
2. විදේශ බුද්ධි සේවා ඔස්සේ මෙන්ම අභ්‍යන්තර බුද්ධි තොරතුරු ඔස්සේද ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ ප්‍රහාරයක් එල්ලවන බවට හෝ නිශ්චිත තොරතුරු ලබා දී තිබියදී රාජ්‍යයේ ඉහලම දේශපාලන බලාධිකාරයේද හෝ රාජ්‍යයේ ආරක්ෂාව භාරව සිටින බුද්ධි ප්‍රධානීන්ගේ හා රාජ්‍යය ආරක්ෂාව බාර රාජ්‍ය නිලධාරීන් මෙන්ම බලධාරීන්ද දැනුවත්වම ප්‍රහාරය වලක්වා නොගැමට කටයුතු කර ඇති බව හෙලිවී තිබීම.
3. ප්‍රහාරය හරහා දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට සහ රාජ්‍යය බලය ලබාගැනීමේ ඉලක්කයක් මුදුන් පමුනුවා ගැනීමේ උත්සහයක් ගැන කරැණු අවධානයට ගෙන ඇති බැවින් "ඝාතන සංස්කෘතිය ඔස්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බලය අත්කර ගැනිම, බලය පැතිරවීම, බලය තහවුරු කර ගැනීම උපාය-උපක්‍රමයක් ලෙස භාවිතා වූයේය" යැයි ඒ. ජේ විල්සන්, ජේමිස් මැනොර් ආදින්ගේ සිට රාජන් හූලේ ආදින් දක්වා මතුකරන තර්ක නැවත අලුත් වටයකින් පාස්කු ප්‍රහාරය තුලින්ද මතුවීම,
4. ශ්‍රී ලංකාව සුළු ජාතීන්ගේ, සුළු ජනකොටස් වල ආරක්ෂාව, රැකවරණය සැලසීමට අපොහොසත් හෝ එහිලා ප්‍රමාණවත්ව කටයුතු නොකරන, රටේ දේශපාලන බලයේ අධිකාරිත්වය හිමි බුහුතර ජනවර්ගයාගේ දේශපාලන අභිලාෂයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක යැයි සලකන 'වාර්ගීක රාජ්‍යයක්' යැයි නැගෙන චෝදනා පාස්කු ප්‍රහාරය ඇසුරෙන් ද මතුවීම,
5. අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක දේශිය යාන්ත්‍රණයන් ඔස්සේ සත්‍ය සහ යුක්තිය ඉටුකරගැනීමට හැකි තරම් විනිවිද භාවයකින් යුතු අපක්ෂපාතී රාජ්‍යය යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුල නොමැති බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍ය තාවය පිලිබදව අවධානය යොමුවීම,
ආදිය පාස්කු ප්‍රහාරය පිලිබදව සිදුකර ඇති විමර්ශන ඔස්සෙත්, ඉන් අනතුරුව සිදුව ඇති සියලු ක්‍රියාදාමයන් ඔස්සේත් තහවුරුවී ඇති කරුණුය.
මේ අනුව පාස්කු ප්‍රහාරය යනු රට තුල සිදුවු තවත් එක් මේලේච්ච අපරාධයක් නොව ශ්‍රී ලංකා රාජ්‍යය ට එරෙහිව ගොනුවී ඇති බොහෝ අපරාධවල හරස් කැපුමක් විවරකර පෙන්වන අපරාධයක් බවට දැන් ඒත්තු ගොස් අවසන් ය.
පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙලිදරව්කර සත්‍ය සහමුලින්ම මතුකර ගැනීම තීරණාත්මක වශයෙන් වැදගත් වන්නේ එම අර්ථයෙනි. පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ඒකී වින්දිතයන්ට පමණක් නොව රටම වින්දිත භාවකින් ගලවාගත හැක්කේ මතුව ඇත්තේ ඒවැනි පදනමකින්ය. එසේ නොවන තාක්කල් ශ්‍රී ලංකා රාජ්‍යයට ගොඩඒමක් නොමැත. ගරු සිරිල් ගාමිණී පියතුමා වරක සදහන් කල සේ "පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුවූ දාක රටේ ජඩ දේශපාලනයේ සැබෑ ස්වරූපය එලියට එනු ඇත".
පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීම රටේ ජනයා වෙලාගෙන ඇති රොදුරු ඉරණමකින් නිදහස් කිරීමකි. අපරාධකරුවන් හෙලිදරව් නොවන ඔවුන්ට දඩුවම් හිමි නොවන සමාජයකට පැවැත්මක් මෙන්ම අනාගතයක්ද නොමැත. යුක්තිය ඉටුවීමකින් තොරව අත් කරගත හැකි ජයග්‍රහණයක් නොමැත.
මාකස් ප්රියන්ත පෙරේරා
21/06/22
Sunday, 19 June 2022
මගේ පොසොන් සිතුවිල්ල සහ මහරැජින උඩමළුවට යෑම
පසුගිය පොසොන් පොහෝදා මම මගේ Facebook පිටුවේ "මිහිදු හිමියන් බුද්ධාගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් නොවී පෘතුගීසින් ක්‍රිස්තියානි ආගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් වන්නේ ඇයි?"දැයි ඇසුවෙමි. එය දෙබරයකට ගල් ගැසීමක් බදුවිය. බොහෝ දෙනෙකු තර්ක කලේ පෘතුගීසින් බලහත්කාරයෙන් තුවක්කුවෙන්, විවිධ වදබන්දන පැමිණවීමෙන්, ක්‍රිස්තියානි ආගම බලෙන් පැතිරවූ බවත් එහෙත් මිහිදු හිමියන් බෞද්ධාගම හදුන්වා දුන්නේ එවැනි ආකාරයකට නොවන බවත්, එය ජනයා ස්වකැමැත්තෙන්ම පිලිගත් බවත් දක්වා තිබුනි.
පෘතුගීසින් බලහත්කාරයෙන්, වවදහිංසාවලට ලක් කිරීම ඔස්සේ කතෝලික ආගම පැතිරවු බවට මූලාශ්‍ර ලෙස බොහෝදෙනෙකු දැක්වූයේ පෘතුගීසි සෙනවි අසවේදූ ගේ කෲර ක්‍රියාකරම් ය. එහෙත් අසවේදු පැතිරවූ ක්‍රිස්තියානි ආගමක් නැත. ඇත්ත වශයෙන්ම ක්‍රිස්තියානි ආගම පැතිරවූයේ පෘතුගීසි නැව් වල පැමිණි මිශනාරී පියතුමන්ලා ය. ඔවුන් මුලින්ම ලංකාවට පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කලේ හත්වැනි බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීමකට අනුවය. එසේ පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කල ක්‍රිස්තියානි පියතුමන්ලා පෘතුගීසින්ගේ කෲරතර ක්‍රියාමාර්ග නිර්ධය ලෙස විවේච්නය කලා පමණක් නොව ජෙනරාල් අසවේදුට එරෙහිව ලිස්බන් නුවරට පැමිණිලි කර, ඔහුට එරෙහි නඩුවේ සාක්ෂි පවා ලබාදෙමින්, අසවේදුව සිරගත කිරීමට පවා එම මිශනාරී පියතුමන්ලා කටයුතු කල බව සුප්‍රකට පෘතුගීසි යුගයේ ඉතිහාස රචකයෙක් වන ක්වේරෝස් පියතුමාගේ රචනාවල පවා කියවෙන බවත් දැක්වීය.
එහෙත් පෘතුගීසින්ගේ කෲර ආක්‍රමණත්, ඔවුන්ගේ නැව්වලින් පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කල පියතුමන්ලාද ඈදා 'එකම කාසියක දෙපැත්ත' යැයි දක්වමින් ගොඩනන්වා ඇති ඉතිහාස ආඛ්‍යානයන් වලට මා මතුකල එකී කාරණා කිසිසේත්ම අදාල නොවුනි.
ක්‍රිස්තියානි ආගම මෙන්ම ඉස්ලාම් ආගම්ද ව්‍යාප්තවූයේ ආක්‍රමණවලින් බවත් එහෙත් බුදුදහම ව්‍යාප්තවූයේ එසේ කිසිදු ලේ සෙලවීමකින් නොවන බවත් බොහෝ දෙනා මතුකල තර්කයකි. ඇත්තවශයෙන්ම, ඕනෑම ආගමක ව්‍යාප්තිය සදහා දේශපාලන බලය බලපා ඇති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනීයයි. ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියට යූරෝපීන්ගේ බලයද, ඉස්ලාමීය ආගමේ ව්‍යාප්තියට මැදපෙරදිග බලයද, බුද්ධාගමේ ව්‍යාප්තියට ධර්මාශෝක අධිරාජ්‍යයේ බලයද හේතුවී තිබුනි. ක්‍රිස්තියානි ආගමේ සහ ඉස්ලාමී ආගමේ ව්‍යාප්තිය සදහා යුරෝපීන්ගේ සහ මැදපෙරදිග බලය කෙතෙක් ඉවහල් වූයේද යන්න ගැන සවිස්තරාත්මකව ලියවී තිබුනද බුද්ධාගමේ ව්‍යාප්තියට ඉංදියාවේ සිටි ධර්මාශෝකගේ සහ ලංකාවේ සිටි විවිධ රජවරුන්ගේ බලය කෙසේ බලපෑවේද යන්න ගැන එසේ ප්‍රමාණ වත්ව ලියවී ඇද්ද යන්න ගැන ප්‍රශ්නයකි. අඩුම තරමේ බුද්ධාගම හදුන්වාදීමට පෙර ලංකාවේ පැවැති ආගම්, ඇදහිලි, ජන කන්ඩායම්වලට සිදුවූයේ කුමක්ද යන්න ගැන පවා ලංකාවේ ඉතිහාසය හදාරන්නන් පවා ලියා ඇත්තේ සීමා සහිතවය. අඩුම තරමේ මහියංගන පෙරහැරේ සිදුකරනවා යැයි කියන 'මිහිදුට ගල් ගැසීම' නම් චාරිත්‍රය ගැන පවා කිසිදු අධ්‍යාපනයක් සිදුවී නොමැත. ඇත්ත වශයෙන් මෑත කාලීන ලංකාවේ බුද්ධාගම, සංඝයා වහන්සේලා සහ ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම් ගැන ලියවී ඇති දෑ අසුරින් පවා පෙනි යන්නේ දැන් අහිංසක යැයි කිවහැකි, ලේ නොතැවරණු කිසිදු ආගමක් නැති බවයි.
කෙසේවෙතත්, මගේ ප්‍රශ්නයවු මිහිදු හිමියන් ලංකාවට බෞද්ධාගම ගෙන ඒම සංස්කෘතික අක්‍රමණයක් ලෙස සලකන්න බැරි ඇයි? යන්න ගැන උත්තර දෙන එක කොහොමවුනත් රුවන් M ජයතුංග ලියලා තිබුනා "මුලින්ම කතෝලික වූ අපේ මී මුත්තෝ බෞද්ධ ලූ... ඒ අය විශාල වධබන්ධනයට ලක්වූ පිරිස් ලූ...කුල ප්‍රශ්ණෙත් බලපාන්න ඇතිලූ.. වෙරළ බඩ ප්‍රදේශවල හිටියේ ඉන්දීය ද්‍රවිඩ මූලයන් තිබූ කරාව වංශිකයන්ව රදල ගොවිගම බෞද්ධයන් කෙවුල ලෙස පහත් කොට සැලකුවා ලූ...ඔය පීඩනයට අසුවෙලා කරාව වංශිකයනුත් ස්ව කැමැත්තෙන් කතෝලික උනාලු..."
ඕය කතාව පියදාස සිරිසේන ලාගේ කාලේ ඉදන් රටේ සිංහල-බෞද්ධ මනස්වලට කාලයක් තිස්සේ කා වැද්දූ කතාවක්. කරුමේ කියන්නේ දැන් ඔවුන් ( කොමෙන්ට් එක පලකල තැනැත්තාට අදාලව) 'රොක්' ඇහැව්වාත් තවමත් ඔලුවෙන් කබොක්.
බලන්න අපි දන්නවද අපේ මී මුත්තා සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දු ද, කියලා... ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත අපි විතරක් නෙමේ අනෙක් අයටත් කියන්න පුලුවන්ද ඔවුන්ගේ මී මුත්තා සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දු ද, කියලා. බෑ !! කවුරු හරි ඒහෙම හිතනවා නම් ඒවා නිකම් මවා ගත්ත මනස්ගාත නේ...
අනෙක් කාරනේ තමයි, කතෝලික ආගම වැලද ගත්තේ කුල පීඩාවෙන් පෙලුන ඉන්දීය සම්භාවයක් සහිත පිරිස් ලූ !! බලන්න කුල ක්‍රමයට එරෙහිව හඩ නැගූ ඉන්දියාවේ ශාස්තෲ වරයෙක් වන ගෞතම බුදුන්ගේ ආගම අදහන අයත් පිලිගන්නවා පෘතුගීසින් එනවිටත් ලංකාවේ උග්‍ර කුල පීඩනක් තිබුන බව. පෘතුගීසින් ඇවිත් තමයි ඒ කුල පීඩනයෙන් බැට කාපූ මිනිස්සුන්ට විමුක්ති දීලා තියෙන්නේ...ඒ අතින් පෘතුගීසින් කොච්චර දෙයක්ද කරලා තියෙන්නේ... උන් කඩුවෙන් හරි බයිබලයෙන් හරි කරලා තියෙන්නේ පීඩිත ජනතාවක් මුදවා ගැනිම නෙමේද? (ඕනේ නම් එහෙමත් කියන්න පුලුවන් නේ...)
කුල ක්‍රමයෙන් විවිධ ජන කොටස් පීඩාවට පත්වීමට අමතරව සිංහල-බෞද්ධ යැයි කියලා ගොඩනගාගෙන තිබුන සංස්කෘතියෙන් රටේ කාන්තාවන්ටද අසමාන ලෙස සලකා තිබූ බව මෑත යුගයේ සිංහල-බෞද්ධ කතිකාවේ ප්‍රමුඛයෙක්වූ නලින් ද සිල්වාත් මෙසේ සදහන් කර තිබුනා : "සිංහල බෞද්ධ සංස්කෘතියෙ වුණත් මා එහි බෞද්ධ නොවන දේට කැමති නැහැ. විශේෂයෙන් ම කුල ප්‍රශ්නය සඳහන් කරන්න පුළුවන්. එදා කොහොම වෙතත් අද වන විට ස්ත්‍රීන්ට සමාජයේ ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට හැමෝට ම යන්න දෙන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙත් ඒ ටික දෙනා අතරත් ස්ත්‍රීන්ට තැනක් නැහැ. ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කළේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ නමකට වඩම්මන්න පුළුවන් බෝධියෙ මළුවට ගැහැණුන්ට යන්න බැරි ඇයි? දන්ත ධාතුන් වහනසේ මෙරට වැඩැම්මුවෙත් ස්ත්‍රියක්. හේමමාලි කුමරිය. පත්තිරිප්පුවට ගැහැණුන්ට නගින්න දෙන්නෙ නැත්තෙ හින්දු බමුණු මතය නිසා ද? මගේ අම්මාට භාර්යාවට දුවට ලේලිලාට නංගිලාට යන්න බැරි නම් මා යන්නෙ කොහොමද?" (නලින් ද සිල්වා, 'අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?' , 'කාලය', වෙබ් අඩවිය, 15/06/22) .
දැන් මම මේ කියන්න හදන්නේ පෘතුගීසින් ආව නිසා කුල පිඩිතයෝ විතරක් නෙමේ කාන්තාවන් පවා නිදහස් වුනා වගේ කතාවක් නෙමේ...
ඉතිහාස ලියවිලි අනුව ලංකාවේ කුල ක්‍රමය සහමුලින්ම අත් හිටවූයේ 1833 'කෝල්බෲක් - කැමරන්' ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් පස්සේ. ඒ කියන්නේ සුද්දගේ කාලේ, බ්‍රිතාන්‍යය යුගයේ. පෘතුගීසින්ගේ පැමිණිමෙනුත් අවුරුදු 300කට පස්සේ. ඒත් කුල ක්‍රමය, රාජකාරීක්‍රමය මුල්කරගත් නිෂ්පාදන මාදිලියක් නොවුනත්, සමාජ ස්ථර වර්ගීකරණයක් විදිහට තවදුරටත් ලාංකික සමාජය තුල පවතින බව පත්තරවල පලවෙන මංගල දැන්වීම් ඇසුරෙන් වුවත් තේරුම් ගන්න පුලුවන්.
ඇත්තටම පෘතුගීසි යුගයෙන් පසුව ලංකාවේ ජනයාට ක්‍රිස්තියානි ආගම වැලදගැනීමෙන් හෝ ක්‍රිස්තියානි නොවී හෝ තම තමන්ගේ නම්/ වාසගම් වෙනස් කරගැනීමට අවස්ථාවක් හිමිවුනා. ඒ අනුව ලංකාවේ බොහෝ දෙනෙක් සිංහලද/දෙමළද/මුස්ලිම්ද/ ක්‍රිස්තියානිද ආදිය කොහොමවුනත් ඔවුන්ගේ මී මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස් කරගත්ත අය. විශේෂයෙන්ම යමක් කමක් හම්බකරගත්ත, යම් යම් රැකියාවන්, ආර්ථික වත් පොහොසත්කම් ගොඩනගා ගත්ත අය එසේ කරලා තිබෙනවා කියලා ඕනෑ තරම් ලියවී තිබෙනවා. ඒ නිසා අද ඔය ලංකාවේ සිංහල-බෞද්ධ ගොවිගම කියලා කියන බොහෝ දෙනෙකුගේ මී මුතුන් මිත්තන් පවා ඇත්තටම එහෙම වෙන්ඩ නැතිව ඇති...
අනික ඔය කෙහෙල් මල් ඔක්කොම ලංකාව කියන දූපතේ කොටුවුනු අය අතර විතරයි..ඔය පින්තූරය බලන්න... ලංකාවේ සිංහල වුනත්, බෞද්ධවුනත්, ගොවි ගම රදල වුනත් ස්ත්‍රින්ට/ කාන්තාවන්ට යන්න දෙන්නේ නෑ කියලා නලින් ද සිල්වාම කියන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ඔය හොද අපුරුවට ගිහින් සක්මන් කරන්නේ....
මෙහෙමයි, ප්‍රාග්ධනයට ඔය ඔක්කොම යටයි කියනවානේ...මාක්ස්වාදය කියන විදිහට අධෝව්‍යවුහය (ප්‍රාග්ධනය) විසින් උපරිව්‍යවුහය (සංස්කෘතිය ආදීය) වෙනස් කරනවා කිව්වත් ලංකාව වගේ රටවල ඒ සදහාත් දැඩි ව්‍යායාමයක් දරන්න වෙනවා. මොකද ලාංකික සමාජය ජාතිවාදයෙන්, වර්ගවාදීයෙන් ඔද්දල්වෙලා, කුණුවෙලා, පැසෝලා, උඩුදුවලා, මුල් බැහැලා තියෙන්නේ...එයින් නිදහස් වෙන්න නම් අපි මේ ඇත්ත යැයි කියලා ගොඩනගලා තියෙන යථාභූතයන් ප්‍රශ්න කරන්න ම ඕනේ... පන්සල්ද/පල්ලියද/කෝවිලද/ආගමද/ධර්මයද/දර්ශනයද/කුලයද/ ජාතියද/ගැහැනුද/පිරිමිද/කුමන වර්ගයද? ඔය සියල්ල ප්‍රශ්න කරන්න ම ඕනේ...අවසාන වශයෙන් මේ සියල්ලෝම මනුෂ්‍යයෝය යන්න මතුකර ගන්නකම් අපි ප්‍රශ්න කරන්න ඕනේ...
මාකස් ප්රියන්ත පෙරේරා
19/06/22
Wednesday, 18 May 2022
රනිල් වික්‍රමසිංහ සොයන අසඩක්ලා කවුද?
Sunday, 15 May 2022
ලෝගු අත්හල ලීනස් සුවාමි
Thursday, 12 May 2022
ජනාධිපතිවරයාගේ සංයුක්ත වැඩපිලිවෙල
Wednesday, 11 May 2022
මීගමුව ජාතිවාදීන්ගේ හා වර්ගවාදීන්ගේ ඉලක්කයක් වීම
Thursday, 28 April 2022
ගෝල්ෆේස් අරගලය සහ නඩු තීන්දු
විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්රාත් වාසනා නවරත්න ඊයේ (27) නියෝග කල බව කියවුවෙමි.
ඊට පෙර දින අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේප කර තිබුනු බවද දැනගැනීමට ලැබුනි.
ඊටත් පෙර, එනම් මේ වසරේ පෙබරවාරි 17, ත්රස්ත ප්රහාරයක් එල්ලවන බවට ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාව යටතේ නඩු පවරා තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ව, නාමල් බලල්ලේ, ආදිත්ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කෙරුනි.
එමෙන්ම එම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේදී රජයේ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් කර තිබු හිටපු රාජ්ය බුද්ධි අංශ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන්නේ යැයි කියමින් ඔහුටත්, දේශපාලන අධිකාරියක් පැවතිද් දී රාජ්ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම අනුමත කළ නොහැකියි කියමින් නීතිපතිවරයාටත් කෙලින්ම ඇගිල්ල දිගු කල ඍජු නඩු තීන්දුව ගැන ලෙස නිකුත් කර තිබුනි.
මේ අධිකරණ තීන්දු පැහැදිලිවම කිසිදු බලපෑමකට යටත් නොවී, නිතියේ ආධිපත්යය ඉහලින්ම ඔසවා තබමින් ලබාදුන් ප්රබල තීන්දු බව පැහැදිලිය.
වික්ටර් අයිවන් වැනි අය නිතර ලියන දෙයක් වනුයේ යම් යම් සිද්ධින් වාර්තාවූවද රටේ විධායකය සහ ව්යවස්ථාදායකයට සාපේක්ෂව අඩුවෙන්ම බිදවැටුන, අඩුවෙන්ම නරක් වු ආයතනය අධිකරණය බවයි. ඉහතින් දැක්වු නඩු තින්දු ද එහිලා තවත් හොද නිදර්ශන වීමට හැක.
එමෙන්ම: "මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසායි, හෙල්පින් හම්බන්තොට නම් රාජ්ය නොවන සංවිධානයක් හරහා සුනාමි ප්රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා" යැයි කියූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සිදුකල ප්රකාශයත්, එම නඩු කටයුත්තත් අධිකරණ ක්රියාවලිය පිලිබද කලු පැල්ලමක් එක් කිරීමට සමත්වූ නිදර්ශන ලෙස පෙන්වා දිය හැක.
එහෙත්, සරත් එන්. සිල්වා සිය තීන්දුව ප්රකාශ කරන අවධියේත්, මුලින් සදහන් කල රබුක්කන ඝාතකයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දුන් නියෝගයත්, අරලියගහ මැදුර අවටින් විරෝධතා කරුවන් ඉවත් කිරීමට සිදුකල ඉල්ලීම ප්රතික්ෂේප කරන තීන්දුවත්, නිලන්ත ජයවර්ධනට සහ නීතිපතිවරයාට ඇගිල්ල දිගුකරමින් දුන් තීන්දුව නිකුත්කරන කාලෙයේත් පැහැදිලි වෙනසක් තිබු බව පෙනේ. ඒ, අධිකරණය ක්රියාවලියට පිටින් යුක්තිය වෙනුවෙන්, එක්කෝ විශාල මහජන බලයක් ක්රියාත්මක වෙමින් පැවැතීමයි, නැතහොත් එලෙස විශාල බලයක් ක්රියාත්මකවෙමින් නොපැවතීමයි.
පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විශාල මහජන ක්රියාකාරිත්වයක් ඇති බව අපි දනිමු. එමෙන්ම රාජපක්ෂලාට එරෙහිව මේ යුගයේ මේ වනවිට විශාල මහජන ක්රියාකාරිත්වයක් දැකිය හැකිය. එහෙත් සුනාමි මුදල් ගසාකෑම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද රාජපක්ෂව නිදහස් කරන තීන්දුව ප්රකාශ කරන සමයේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු මහජන ක්රියාකාරිත්වයක් නොතිබිණි. එකල මහජනයා යනුවෙන් යමක් තිබේද යන්න ගැනද තිබුනේ සංවාදයක් පමණි. ඒ තරමටම මහජන ක්රියාකාරිත්වය පැවැතියේ උදාසීනවය.
මේ අනුව පෙනී යන්නේ රටේ මිනිස්සු වන මහජනයා ක්රියාකාරීව සිටින්නේ නම් රටේ නීතිය පමණක් නොව දේශපාලකයෝද, දේශපාලන බලය පමණක් නොව, මහජන මුදල් පවා අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද දැඩි උනන්දුවක්, අවධානයක් යොමුවෙන බවයි.
ගෝල්ෆේස් අරගලයේ වටිනාකම මතුවෙනුවේ එතැනදීය. ගෝල්ෆේස් අරගලය පෙන්වාදෙන්නේ මිනිසුන් හැමදාම කරබාගෙන සිටින්නේ නැති බවය. ඔවුන් නැගිටින දිනක්ද එන බවය. එලෙස මිනිස්සුන් නැගී සිටින විටක, එය විකුණා හෝ තමාගේ මඩිය තරකර ගැනීමට හදන 'කොවුලන්' වන් චරිතවලටද එවැනි මහජන අරගලයක ඉඩක් නැති බව ගොල්ෆෙස් පිටියට වහන 'යූ ටියුබ්' නාලිකාකරුවන් එලවා දැමීම තුල පවා කියවිය හැක. තම තමන්ගේ ගොඩවල් ගොඩ ගසා ගන්නවා වෙනුවට නිර්මාණශිලී දෙයක් රැගෙනවිත් අරගලයත් ජනතාවත් පෝෂණ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටී. අපට අවශ්ය වන්නේ එවැනි සමාජයක් නොවේද?
මහජන අභිලාෂයන් මතුකරන.. ජාති,ආගම්,භාෂා, පක්ෂ අනුව එකිනෙකා බෙදා එකිනෙකා යටනොකරන ජනතාවක් ගැන බලාපොරොත්තුවක් දල්වන්න..මහජන ක්රියාකාරිත්වයක් මතුකරන...ගෝල්ෆේස් අරගලය රැකගත යුත්තේ අන්න ඒ නිසාය. එවැනි මහජන ක්රියාකාරිත්වයක් ඇති රටක කිසිදු බලපෑමකින් තොරව තීන්දු, තීරණ, නියෝග නිකුත්වෙනු ඇතැයි යන්න දැන් නිකුත්වෙන අධිකරණ තීන්දු ඇසුරින් පවා ඕනේ නම් හිතා ගැනීමට පුලුවන. එසේ නොවුහහොත් සිදුවන්නේ සුමිනා ආධාර සොරා කෑ හොරුන් රජවීම වැනි තක්කඩි සමාජයක් දිගටම රජ වීමය.
මාකස් ප්රියන්ත පෙරේරා
28/04/22
Thursday, 21 April 2022
පාස්කු ප්‍රහාරයට අදට වසර 03යි. අපි ඔවුන් කිසිසේත් අත් නොහරිමු!!
2019 අප්‍රියල් 21 එල්ලවූ පාස්කු ප්‍රහාරයට අදට (21/04/2022) වසර තුනක් ගතව අවසන්ය. එහෙත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරගැනීමේ සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකරගැනීමේ උත්සහයන් කිසිසේත්ම අවසන්ව නැත. අද රට පුරාත්, ලොව පුරාත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සමරමින් සිදුකරන විවිධ සමරු වැඩසටහන් ඊට උදාහරණය. 'ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවිය යුතුය, පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීමට සියළු කරණු හෙලිකරගත යුතුය', යන හඩ අද වඩ වඩාත් තීවුරව, පෙරටත් වඩා ශක්තිමත්ව පෙරට පැමිණ රට තුලත්, ලොව පුරාත් රැව් පිළිරැව් දෙමින් ඇත.
එසේ වන්නේ;
(1.) පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල මලල්ගොඩ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ FBI පරීක්ෂණ වාර්තාව ආදී ඉහතකී සියළු පරීක්ෂණ වාර්තාවල කරුණු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම සමග සබදතා පැවැත්වූ තවත් පිරිස් ඇති බව හෙළිවී ඇති නිසාත්, එකී පිරිස් අතර ශ්‍රී ලංකා ආරක්ෂා අංශයේ බුද්ධි අංශයට සම්බන්ද පිරිසක්ද සිටින බව කියවීමත්,
(2.) ප්‍රහාරය, ප්‍රහාරකයින්, ස්ථානයන්, දිනය ආදී නම්, ගම් ඇතුළු සියළු විස්තර හෙළිවී තිබියදීත් රජයේ බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ආදී නිලධාරින් සහ බලධාරීන් පිරිසක් ප්‍රහාරය වලක්වා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් කිසිදු උත්සහයක් නොදරා ඇති බව සහ ප්‍රහාරකයින්ට කිසිදු බාධාවකින් තොරව සිය විනාශකාරී කෘර අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉන් ඉඩප්‍රස්තා විවරවූ බව හෙළිවී ඇති නිසාත්,
(3.) ප්‍රහාරය සහ ප්‍රහාරකයින් ආදිය පිලිබදව තොරතුරු විමර්ශන කල ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේම නිලධාරින් පිරිසක් විසින් බලපෑම් එල්ලකර වලක්වා ලූ බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු පෙත්සමක් මගින් දැනුම්දීමත්,
(4.) පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල වාර්තා සහ සාක්ෂි පිලිබදව අපරාධ නිතියමය දෘෂ්ටි කොණයකින් බලා කටයුතු කල දප්පුල ද ලිවේරා හිටපු නීතිපතිවරයා 'පාස්කු ප්‍රහාර පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව' පෙනී යන්නේ යැයි ප්‍රකාශ කිරීමත්,
(5.) පාස්කු ප්‍රහාරයේ එල්ලවන්නේ රටේ ජාතික ආරක්ෂාව බිදවැටී ඇති නිසා බව කියමින් ජාතික ආරක්ෂාව ගොඩනැගීමට ජනවරමක් ඉල්ලා, විශාල ජනවරමකින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා දිගින් දිගටම හඩ නගන කොලබ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා දුරකථනයෙන් අමතා 'රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව කරුනුකොට ගෙන පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මිට වඩා යමක් කල නොහැකි බව ජනාධිපතිවරයා තමාට දැන්වූ බව කාදිනල්වරයා හෙළිකිරීමත් තුල,
පාස්කු ප්‍රහාරය පිලිබදව සැගවුණු, හෙළිනොකළ කිසියම් දෘඩ කරුණු කරනා රාශියක් ඇති බව වඩ වඩාත් තහවුරු වී ඇති නිසාය.
මෙකි කරුණු කරණා රාශිය නිසාම ගෝඨාභය රාජපක්ෂ කදවුරේ වර්ගවාදී, ජාතිවාදී බලවේග පමණක් නොව ත්‍රස්‌තවාදී කටයුතු පිලිබදව විශේෂ හැදෑරීම් ඇත්තෙකු යැයි කියා ගන්නා රොහාන් ගුණරත්න ආදීන් ප්‍රවර්ධනය කල ''පාස්කු ප්‍රහාරය එල්ලවෙන්නේ ලොව පුරාම හිස ඔසවා ඇති ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රථිපලයක් ලෙස යැයි'' යන ප්‍රවේශය බිදවැටී: ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයද 'Deep state' න්‍යායික ප්‍රවේශය ඔස්සේ විග්‍රහ කරන විවිධ රාජ්‍යයවල දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සහ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරගැනීමට හෝ ලගාකර ගැනීමට ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත හෝ අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්ක්ද? යන්න තහවුරු වීමය.
ඒ ඔස්සේ, පාස්කු ප්‍රහාරය යනු ශ්‍රී ලංකා දේශපාලන බලය හැසිරවීමට ගත් උත්සහයක්ද? යන්න දැඩි විමසුමකට ලක් කරන පසුබිමක් ගොඩනැගී ඇත. තවද එම කාරණයම පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පැහැදිලිවම මතුකර තිබේ. පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරුණු ජනවාරි 15 දින රාගම තේවත්ත බැසිකාවේ පැවති දෙවියන්ට මොරගැසිමේ දේව මෙහෙයේදී ''පාස්කු ප්‍රහාරය ජන්දය දිනන්න ගහපු උප්පරවැට්ටියක්'' යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව උපුටා දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් කල ඉතා තීරණාත්මක ප්‍රකාශය මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රමුඛ යුක්තිය සහ සත්‍ය පිලිබදව මොරගසන සෑම සියළු දෙනාම ගෝඨාභය රාජපක්ෂ රජය කෙරෙහි කෙලින්ම ඇගිල්ල දිගුකරන තත්වයකට ගමන් කර ඇත්තේ ඉහත විස්තර කරන ලද කරුණු-කරනා පදනම් කරගෙනය.
ශ්‍රී ලංකාව වූ කලී කාලාන්තරයක් තිස්සේම දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ රාජ්‍යයක් බව නොරහසකි. ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම එහි ආණ්ඩුද ප්‍රචණ්ඩත්වය විසින් දුර්මුඛ කරන ලද වාර අපමණය. සාහසිකත්වය සහ ඝාතන ඔස්සේ දේශපාලන බලය අත්කර ගැනීම මෙන්ම දේශපාලන බලය ස්ථාපිත කරගැනීම් පිළිබවද නිරන්තරයෙන් අවධාරණයට ලක්කරන, කුතුහලයට සහ බුද්ධියේ විමසුමට ලක්කරන සිද්ධීන් අපමණය. ඝාතන ඔස්සේ දේශපාලන බලය අත්කර ගන්නේ යැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍යයක පාස්කු ප්‍රහාරය යනුද තවත් එවැනිම එක් සිද්ධියක් විය හැක.
එහෙත් එය එසේ වියයුතුද? එසේවීමට ඉඩ හැර තවදුරටත් අප බලාසිටිය යුතුද? දෙසිය හැට නම දෙනෙකු ඝාතනය කර, පන්සියකට වැඩි පිරිසකට තුවාල සිදුකර එකී ලේ කදුල ගංගා ඔස්සේ කිසිවෙකු බලයට එන්නේ නම් තවත් කෙනෙකු බලය සදහා ඊටත් වඩා විශාල විනාශයක් නොකර සිටිද?
ඝාතන ඔස්සේ බලය අත්කරගන්නා, බලය ස්ථාපිත කරගන්නා ඉතිහාසය අවසන්කල යුතුය. මනුෂ්‍යත්වය, යුක්තිය, සත්‍යය, සාධාරණත්වය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන සමාජයක් ගොඩනැගිය යුතුය. පාස්කු ප්‍රහාරයට වසර තුනක් පිරෙන අද දින, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තියත්, පාස්කු ප්‍රහාරයේ සත්‍යයත් වෙනුවෙන් අඛණ්ඩව හඩ නගන අද දිනත්, අප අදිටන් කරගත යුත්තේ එයයි. පාස්කු ප්‍රහාරයත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්වත් අපි කිසිදිනක අත් නොහරිමු. මන්දත්,ඝාතන සංස්කෘතියෙන් අත්මිදීමේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැලවීමේ පණිවිඩය පාස්කු ප්‍රහාරයේ වින්දිත්යන්ට යුක්තිය ඉටුකරගැනීමේ සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීමේ අරගලය තුල ගැබ්වී ඇති නිසාය !!!
මාකස් ප්රියන්ත පෙරේරා
21/04/2022