ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ 10,000 මරණ එක ගැන කථාවක් ආවනේ...ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ විතරක් නෙමේ, හාවොත් මරණවා. ඔටුවෝ වගේම හාවොත් ඒ රට හදුන්වන්නේ වගාවන්ට හානිකරන, පරිසරයේ සමතුලිතතාවය බිද දමන විලෝපිතයෝ ලෙසයි. ඒ නිසා ඒ අය එම සතුන්ව ක්‍රමයෙන් වද කිරීමට කටයුතු කරනවා. ලංකාවේත් වගාවන්ට හානිකරන, පාලනයකින් තොරව බෝවන රිලවුන්, මොණරුන්, විදී සුනඛයන් ගැන විතරක් නෙමේ අලි ගැනත් ඔහොම අවධානයක් යොමුකරනවා.
එවැනි දෙයක් එංගලන්තේත් වෙලා තියෙනවා, ඒ මීට අවුරුදු 800කට විතර කලින්, ක්‍රි. ව 1281. පළමුවන එඩ්වඩ් රජ්ජුරුවෝ (Edward I) විසින් පීටර් කෝබෙට් (Peter Corbet) නම් නයිට්වරයෙක් (knight) පත්කරලා තියෙනවා එංගලන්තේ බැටළුවන් විනාශකර දමන වෘර්කයින්ව මරා දමන්න. ඔය කාලය වෙද්දී එංගලන්තයේ සැලකිය යුතු තරම් වෘර්කයන් පිරිසක් සිට ඇති අතර ඔවුන් එරට බැටළු පට්ටිවලට නිතර නිතර කඩාවැදී විශාල හානි සිදුකරන බවට පෙත්සම් සහ පැමිණි රාශියක් එඩ්වඩ් රජුට ලැබි ඇත. එනිසා තමයි පීටර් කෝබෙට් (Peter Corbet) නම් නයිට්වරයාට වෘර්ක දඩයම පවරා ඇත්තේ. ඔහු වසර නමයක් තුල වෘර්ක සංග්‍රාමයක් කරලා එංගලන්තේ හිටපු අන්තිම වෘර්කයාව 1290 දී මරාදැම්මාලු. ඊට පස්සේ එංගලන්තේ බැටළුවෝ වැඩිවෙලා, ආහාර වගේම ලෝම් නිෂ්පාදනයත් වැඩිවෙලා එංගලන්තයට හොද කලක් උදාවුනාලු.
මේ ගැන Robert Winder කියලා කෙනක් The Last Wolf: The Hidden Springs of Englishnes කියලා පොතක් (2017) ලියලා තියෙනවා. ඒ පොතේ ඔහු තර්ක කරනවා එංගලන්තේ ආර්ථික වසන්තය ඉස්ඉස්සේලාම උදාවුනේ ගල් අගුරු භාවිතයට පැමිණීම නිසාවත්, වානේ භාවිතයට පැමිණීම නිසාවත්, කාර්මික විප්ලවය නිසාවත් නෙමේ, අර වෘර්ක සංහාරය නිසයි කියලා. වෘර්ක සංහාරය නිසා බැටළු නිෂ්පාදන ඉහල ගිහින් බැටළු මස්වලින් විතරක් නෙමේ බැටළු ලෝම්වලිනුත් විශාල ආදායමක් ලබා ගත්තා කියලා ඔහු පෙන්වා දෙනවා. මහා විසාල පල්ලි, මාලිගා, බලකොටු විතරක් නෙමේ ශක්තිමත් මිනිසුන් පිරිසක් බිහිකර ගැනීමටත් එකී වෘර්ක සංහාරය හේතුවූ බව එම පොතේ විස්තර කරනවා.
අපි කොහොමත් දන්නවා ඔය ශිෂ්ටාචාරය කියන එක බිහිවන්නේම මේ ආකාරයට තවත් කොටසක් නසා දමලයි කියන එක. එය මිනිස් වර්ගයා ඔවුන් ඔවුන්ට විරුද්ධව විතරක් නෙමේ සතා සිව්පාවුන්ට විරුද්ධවත්, ගහ කොළවලට විරුද්ධවත් එක ලෙස මුදාහල එකම ප්‍රචන්ඩ ක්‍රමවේදයක්. එහෙත් ශිෂ්ට බවේ පදනම යැයි කියන ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේම, දිග හැරෙන්නේම, පරිසරයේ තවත් කොටසක් ගොදුරු කරගෙන බවත්, තමන්ද ඉන් කොටසක් බවත්, එය පොදු පද්ධතියක් බවත් අවබෝධ කරනොගැනීම තමයි එහි ඇති අමිහිරි සත්‍යය.
ඇත්තටම කල යුත්තේ පරිසර පද්ධතියේ පොදු සමතුලිතතාවක් පවත්වා ගෙනයාමයි. ලංකාවේ අලින් මරා දැමීම සඳහා වනජීවී ඇමැති වරයා ගම්වාසීන්ට තුවක්කු නිකුත් කිරීම මෙයට සාර්ථක විසදුමක් නෙමෙයි. ලංකාවේ අලි මරන්න ඕනේ නැත. විල්පත්තුවේ සිට යාල දක්වා අලින්ට යාමට ඒමට හැකි පුළුවන් විදිහට අනෙක් රක්ෂිත ඒකාබද්ධ කර ඒ අයගේ සංචරණයන් (movement) අධීක්ෂණය (monitor) කර ඔවුන් ගැන අවධානයෙන් පසුවෙනවා නම් අලි තර්ජනය පාලනය කලහැක. මොනරුන් සදහාද එවැනි ක්‍රමයක් ගැලපෙන නමුත් රිලවුන් සහ වීදි සුනඛයින් සදහා එවැනි ක්‍රමවේදයක් නොගැලපෙන අතර ඔවුන්ගේ බෝවීම පලනය කිරීම එහිලා ප්‍රායෝගික වනු ඇත. ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ සමස්ත පරිසර පද්ධතියම පොදුවේ එකම පද්ධතියක් ලෙස සලකා අවශ්‍ය සමතුලිතාවය ගොඩනගා ගැනීමය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
මුල් සටහන 14/01/2020 පලවිය