'කාන්තාරයේ කුසුම' හෙවත් 'Desert Flower' (2001) යනු ප්‍රකට නිරූපිකාවක්, සමාජ-දේශපාලන ක්‍රියාකාරීනියක් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිනියක්වූ Waris Dirie ගේ ලොව පුරාම ජනප්‍රියවූ ස්වයං චරිතාපදානය ය. සිංහලටද පරිවර්තනය කල එම කෘතිය ඒ නමින්ම සුප්‍රකට ජර්මන් අධ්‍යක්ෂවරියක්වන Sherry Hormann විසින් චිත්‍රපටියටද (2009) නගනු ලැබුවා. එම කතාවෙන් කියවෙන්නේ Waris Dirie ගේ ළමා කාලය ගැනය. සෝමාලියාවේ එඩේර පවුලක උපත ලබන වොරිස් (Waris Dirie) ඇයට වසර 12 වන විට නිවසින් පලාවිත් මොගඩිෂු නුවරටත්, එතනින් ලන්ඩනයටත් පැමිණෙන ලදී. වසර ගණනාවකට පසුව ඇය ලන්ඩනයේ සුප්‍රකට මෝස්තර නිරූපිකාවක් බවට පත්විය. එහෙත් ඈ වඩා ප්‍රසිද්ධියට පත්වුයේ ඇයගේ ලමා කාලයේ සිට ඇයට ශාරීරිකව වදවිදිමට සිදුවූ 'ස්ත්‍රී ච්ර්මචේදනය' ට (female genital mutilation) විරුද්ධව නැගී සිටීම නිසාය. එම නිසාම ඇය 1997 දී 'ස්ත්‍රී ච්ර්මචේදනය'ට එරෙහි එක්සත් ජාතීන්ගේ ව්‍යාපාරයේ (Abortion of female genital mutilation) විශේෂ තානාපතිනියක් ලෙස පත්කරුනු ලැබීය. ඇය 'කාන්තාරයේ කුසුම' හෙවත් 'Desert Flower' (2001) කෘතිය ලියන්නේ මෙම සියළු සිද්ධීන්වලින් අනතුරුවය.
වොරිස් (Waris Dirie) ගේ 'කාන්තාරයේ කුසුම' හෙවත් 'Desert Flower' (2001) ගැන මතකය නැවත අලුත් කරනුයේ මීට දින කිහිපයකට පෙර සෞදි අරාබියේ සිට සිය පවුලේ අය සමග කුවේටයේ සංචාරය කරන අතර ඉන් පලාවිත් තායිලන්තයටද පසුව එතනින් ඕස්ට්‍රේලියාවටත් පලායාමට උත්සහ කල Rahaf Mohammed al-Qunun නම් 18 හැවරිදි සෞදි තරුණියගේ ප්‍රවෘත්තිය නිසයි.
මෙම ප්‍රවෘත්තිය සම්බන්දයෙන් සිංහලෙන් ලියවුනු ලිපිවල කිසිවෙක් ''දුවේ නන්නාදුන රටක, කාත්කවුරුවත් නාදුනන බිමක, තනිපංගලමේ උබ ගියාට හැදුවැඩු බිමේ උබේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දෙන ආරක්ෂාව උන්ට උබට දෙන්න බැහැ පුතේ'' යැයි ලියනු නොදුටුවෙමි. ඒ වෙනුවට වැඩිදෙනා කියවූ බව පෙනීගිය 'ගෙදරින් පැනවිත්, ලෝකවාසීන්ගේ පිහිට පතන 18 වියැති සවූදි අරාබියාණු තරුණියගේ ශෝකාලාපය' නම් ලිපියේ දක්වා තිබුනේ ඇය නැවත ගියහොත් ඇයට, පියා හා සහෝදරයින්ගෙන්, ඉතා දැඩි දඬුවම් වලට පමණක් නොව මරණයටපවා මුහුණ පෑමට සිදුවන බවය. එහින් 'නිදහස් දිවියක්' ගතකිරීමට තමාට 'නිදහස් රටක දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස ඇය ඉල්ලූ බව ඔවුන් දක්වා තිබුණි. ඉහත ලිපියේ අවසානයේ ආසා තිබුනේ 'ඕස්ට්‍රේලියාවට යාමට, ඇය බැංකොක් නොව කොළඹ තෝරාගත්තා නම්, මේ කථාව කෙසේ ලියැවෙන්න ඉඩ තිබුණිද?' යනුවෙනි.
සිදුවිය හැකි දේවලින් එකක් වියහැක්කේ ''ළමයි තරහවෙලා ගෙදරින් පැනලා ගියාට දෙමවුපියන්ට වඩා ආරක්ෂාවක් දෙන්න පුළුවන් වෙන තැනක් නැහැ'' කියා ඇයව ආපසු ඇගේ දෙමාපියන්ටම බාරදීමය. ලංකාවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියද එසේය. රාජ්‍ය තාන්ත්‍රිකවත් ලංකාව මීට වඩා වෙනස් පියවරක් ගනීවිද යන්න ගැන කිව නොහැක. ඇරත් ලාංකික කාන්තාවන් සහ පිරිමින් විශාල ප්‍රමාණයක් සෞදියේ රැකියා කරන, ආර්ථික ආධාර සහ මුස්ලිම් රටවල් සමග සබදතා යන පසුබිමක් තුල !!!
දැන් ඇයට කැනඩාවේ පුරවැසිභාවය ලබාදී තිබේ. බුකියේ කට්ටිය ඇයට 'නිදහස' ලැබී තිබේ යැයි කියා ලියන්නට පටන් ගෙන තිබේ. කැනඩාව මානුෂිකත්වය අතින් ඉතා ඉහල රටක් ලෙස දක්වන්නද උත්සහ කරමින් සිටී. කැනඩාවේ අගමැතිගේ පින්තුරයක් දමා 'මිනිසා -මනසින් උසස්' කියා යටින් ලියා තිබූ බවද දුටිමි. ඒහෙත් කවුරුත් ප්‍රශ්න නොකරනුයේ කැනඩාවේ වසර ගනනාවක් වීසා නැතිව දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඉල්ලුම්කර ඇති දහස්ගානක් දෙනා දිගින්දිගටම රස්තියාදුකරමින් සිටියදී මේ සෞදි කාන්තාවට පමනක් එකවරම දේශපාලන රැකවරණ දුන්නෙ ඇයි? යන්නය. එක් වාර්තාවකින් කියවුනේ ඇය ඉස්ලාම් ආගම අත්හැරිම නිසා ඇයට ගෙදරින් එල්ලවූ මරණ තර්ජනවලට බියේ පලා ඒම පදනම්කරගෙන ඇයට කැනඩාවේ පුරවැසිබව ප්‍රධානය කල බවයි.
කෙසේ වෙතත් ඇයට ගෙදරින් පලාඒමට තරම් හේතුවූ සහ නැවත ගෙදරට යෑමට නොහැකි තරම් මරණ තර්ජනවලට හේතුවෙන කරුණු, පාරිසරික, සමාජ සහ ආගමික වටාපිටාව ගැන ඇය තවම කරුණු දක්වා නැත. සමහරවිට ඒ සදහා යම් කාලයක් ගතවනු ඇත. සමහරවිට ඒ සම්බන්දයෙන් ඇය දක්වන අදහස් ඇගේ පවුලේ අයගේ පමණක් නොව, සෞදි සමාජයේ සහ මුස්ලිම් සංස්කෘතියටද දැඩි බලපෑමක් සහ විවේචනයක් එල්ලකරනු ඇත. එහෙයින් නිදහස සොයා පැමිණි ඇය සිටියාට වඩා අනතුරුදායක තත්වයකයට පත්වීමටද ඉඩ තිබිය හැක.
මෙහිදී නැවත මට මතක්වෙන්නේ 'කාන්තාරයේ කුසුම' ලියු, 'ස්ත්‍රී ච්ර්මචේදනය'ට එරෙහි ව්‍යාපාරයේ (Abortion of female genital mutilation) එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිනියක් බවට පත්වූ වොරිස් (Waris Dirie) ගෙන් වරක් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකි; ''ඔබව සෝමාලියාවටත්, එම සංස්කෘතියටත් එරෙහිව භාවිතා කිරීමට ඔවුන් (බටහිර) පත්කර තිබේද?"
එයට ඇයගේ (Waris Dirieගේ) පිළිතුරවුයේ ''ඇත්තවශයෙන්ම සිදුවී ඇත්තේ කාන්තාවක් ලෙසත් තවත් මනුෂයෙක් ලෙසත් වද හිංසාවලින් තොරව, කෲරත්වයට ලක්වීමෙන් තොරව, ස්ව ශක්තියෙන් නැගි සිටිය හැකි, අනෙක් අයටද එසේ නැගී සිටිය හැකි යැයි පෙන්වාදිය හැකි පුද්ගලයෙක් බවට තමාව පත්කර ඇති බවයි. සෞදියෙන් පලාආ Rahaf Mohammed ද ඒ අර්ථයෙන්ම තවත් 'කාන්තාරයේ කුසුමක්' බවට පත්විය හැකිද?
මාකස් ප්‍රියන්ත පෙරේරා.
13/01/2019