Sunday, 23 October 2016

සාමාන්‍යකරණ කල සමාජයක ආන්තික සටන් හෙවත් මීගමු ධීවරයන්ගේ වරාය නගරයට එරෙහි සටන

පසුගිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මෙන්ම දැන් පවතින සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවද සිය සංවර්ධන උපායමාර්ගය ලෙස සලකන්නේ ලංකාව වෙළදපොළක් බවට පත්කිරීමය. 'පංචවිධ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම' හෝ 'ඩුබායි සිට සිංගප්පූරුව අතර ඊළග වෙළද මධ්‍යස්ථානය බවට පත්කිරීම' යන ආදී කුමන නමකින් හැදින්වුවද ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්දයෙන් පසුගිය මෙන්ම මේ ආණ්ඩුවටද ඇත්තේ ලංකාව වෙළදපොළක් බවට පත්කිරීම නම් වූ එම එකම උපාය මාර්ගය පමණි. 

ණය කප්පරක හිරවී, ණය නාසය උඩටත් වඩා ඉහලගොස් තිබුනද ජාත්‍යන්තර වෙළදාම සදහා පහසුකම් සලසන ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ඔවුහු තව තවත් ණය ගෙන ණය උගුලේ පතුලටම කිදා බසින් සිටිති. ඒ සදහා ඔවුහු ගොඩබිම හාරා වරායවල්ද, වරායවල් ගොඩකර ගොඩබිම්ද ඉදිකරති. කොළඹ වරාය නගරය ඉදිකිරීම මේ ව්‍යායාමයේ එක් ව්‍යාපෘතික් පමණි. එමගින් උදාකරන සංවර්ධනය කවරාකරාද? එහි ප්‍රතිලාභ අත්වන්නේ කාටද? එම ප්‍රතිලාභයන්ගෙන් සාමාන්‍ය වැසියන්ට ලැබෙනුයේ කිනම් ප්‍රතිශතයක්ද? එම ප්‍රතිශතය සාමාන්‍ය වැසියන්ට අත්කරලීමට සිදුකරන කැපකිරීම කෙතෙක්ද? යන්න ගැන මේ කිසිදු රජයක් කථා නොකරති. ඒ සම්බන්දයෙන් කථා කරන්නන්ද, අධ්‍යනයන්හී නිරතවන්නන්ද, අදාල කරනු කරණා ගැන ගණනය කරන්නන්ද සිය විග්‍රහයන් සූත්‍රගත කරන්නේ වෙළද පොළ වටිනාකම් අනුවය. එය එක් අතකින් වෙළදපොළ හැර වෙන විකල්පයක් සංවර්ධනය සදහා නොමැතිය යන අර්ථයක් තහවුරුකිරීමට ඉවහල්වී ඇත. 

එහෙත් සංවර්ධනය සදහා එකම විකල්පය වෙළදපොළ යැයි යන්න කෙතක් නම් තහවුරු කිරීමට උත්සහය කර තිබුනද එය බොහෝදෙනකුට සතුටක් හෝ සැනසීමක් නම් ගෙන දී නැත. කාලාන්තරයක් පුරාම එයට විරුද්ධ විවිධ ජනකණ්ඩායම්වලින්, විවිධ පළාත්වලින් සහ විවිධ රැකියාවල නිරත්වුවන්ගෙන් වරින්වර විරෝධයන් එල්ලවෙමින් පවතී. කාලාන්තරයක් පුරා මීගමුවේ ධීවරයන්ගේ කොළඹ වරාය නගරය ඉදිකිරීමට විරුද්ධව එල්ලවන විරෝධයද එවැන්නකි. මෙම විරෝධයට ප්‍රධාන කාරණය ලෙස මීගමු ධීවරයන් දක්වා තිබෙන්නේ දික්ඕවිට සිට මීගමුව දක්වා මුහුදු පතුලින් වැලිගැනීම නිසා මුහුදු මාළුන්ගේ බෝවීම විනාශව ගොස් සිය ජීවිකාවන් විනාශවීමේ අනතුරය. මුහුදු පතුළ හැරීම තුල මුහුදු ඛාදනයද සිදුවිය හැකි බවටවූ ඔවුන්ගේ අනතුරු ඇගවීම එහිම එක් දිගුවක් ලෙස ඉදිරිපත්කර තිබුණි. පසුගිය සතිය පුරාම මීගමු ධීවරයෝ වරාය නගරයට විරුද්ධව සිය සටන තීවුර කළේය. ඔවුන්ගේ සටන සදහා සාධාරණ පසුබිමක් සහ යුක්ති සහගත කරුණු ඉදිරිපත්කර තිබුනද සටන ආන්තික සටනක් බවට පත්ව කෙලවරවන බව පැහැදිලි වෙමින් තිබේ. 

ඒයට හේතු ලෙස 1. මීගමු ධීවරයන්ගේ සටන රටේ 'එක් ජන කොටසකට' පමණක් බලපාන සටනක් ලෙස මතුවීම යන්න හෝ 2. එම සටන සදහා ලංකාවේ 'සුළුතර' ජනකොටසක් අදහන 'බටහිරගැති' කතෝලික පල්ලිය නායකත්වය දීම හෝ 3. දේශපාලන පක්ෂයකින් නොව වෙනත් සංවිධාන මැදිහත්වීමකින් සිදුවන්නක්වීම වැනි නොයෙකුත් තර්ක ඉදිරිපත්වුවද මට නම් පෙනීයනුවේ මීගමු ධීවරයන්ගේ කොළඹ වරාය නගරය ඉදිකිරීමට එරෙහි සටන මේ යුගයේ වෙනත් බොහෝ අරගලවලට අත්වන ඉරණමට වඩා වෙනස් ඉරණමක් අත්වී කෙලවර නොවන බවයි. 


එනම් වෙළදපොළ ක්‍රමය හැර වෙන විකල්පයක් සංවර්ධනය සදහා නොමැතිය යන අර්ථයක් තහවුරුවී ඇති මේ යුගය තුල එයට එරෙහිව සටන් පැනනැගීම සාමාන්‍යකරණක් (Normalisation) බවට පත්ව ඇත. සිංහ බෞද්ධ ජාතික අනන්‍යතාවය වෙනුවෙන් දැඩිව පෙනීසිටින මහා නගර ඇමති චම්පික රණවක මහතා මීගමු ධීවරයන්ගේ කොළඹ වරාය නගරය ඉදිකිරීමට එරෙහි සටන "මෙවැනි මහා ව්‍යාපෘතින්වලට එරෙහි විරෝධයන් එල්ලවීම සාමාන්‍ය තත්වයක්" යැයි ලෙස දක්වන්නේද මෙම තත්වය තුලය. 

මෙවැනි සටන් සමස්ත ක්‍රමයම වෙනස් කිරීම ඉලක්ක කරගත්තක් නොව බව සියල්ලෝම දනිති. එම සටන් හුදෙක් නිශ්චිත අරමුණක් සක්ෂාත් කරගැනීම වෙනුවෙන්, නිශ්චිත ක්ෂේත්‍රයකට සීමාව දියත්කරන සටන් බැවින් එම සටන් බොහෝදුරට නිමා වන්නේ ආන්තික සටන් ලෙසය. එහෙත් අනතුර ඇත්තේ වෙළදපොළ ක්‍රමයට එරෙහිව පැනනගින සටන් මෙලෙස සාමාන්‍යකරණක් (Normalisation) බවට පත්ව කෙළවරවීම පමණක් නොවේ. එලෙස පැන නගින ආන්තික සටන් සාමාන්‍යකරණයවීම තුල එලෙස සටන්වලට එක්වෙන ජනයා ආන්තික මිනිසුන් බවට පත්වීමයි (Marginal men). එය වෙළදපොළ ක්‍රමයට එරෙහි සටන් ඒකරාශී කිරීමට වඩා තවදුරටත් සටන් භේදබින්න කිරීමටත්, එම සටන් දුර්වල කිරීමටත් හේතුවේ. වෙළදපොළ ක්‍රමයට එරෙහිව එලෙස පැන නගින ආන්තික සටන් සාමාන්‍යකරණයවීම තුල එලෙස සටන්වලට එක්වෙන ජනයා ආන්තික මිනිසුන් බවට පත්වීම (Marginal man) පසුගිය ඉරණවිල ඇමරිකන් හඩට (Voice of America) එරෙහිව දියත්වූ සටනේදී මෙන්ම අඩුවැඩි වශයෙන් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දියත්කල 6% සටනේදීද දැකිය හැකිවූ බව මගේ අදහසයි. මීගමු ධීවරයන්ගේ කොළඹ වරාය නගරය ඉදිකිරීමට එරෙහි සටනට එවන් ඉරණමක් අත්නොවේවා යන්න මගේ ප්‍රාර්ථන යයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.

23/10/16.