Saturday, 28 November 2015

මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ"

''The military reconnaissance survey  accordingly plodded along for two more decades and Fraser's great task was completed 40 years after the work was started. A base of verification, 5 1/4 miles in length, was measured in 1845 by Galway and Skinner, in the Cinnamon plantations at Kadirane, near Negombo, and its extremities were sur-mounted by two towers to which the triangulation was connected.'' (R.L. Brohier, (Dec.1948-Mar.1949), 'The Cartography of Ceylon in the early British Period and the the Evolution of the Topographical map,  Bulletin of Ceylon Geographical Society,  page 55). 
ඉහතින් සදහන් වෙනුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රධාන මිනින්දෝරු නිලධාරියාව සිටි කීර්තිමත් R. L. බ්‍රෝහියර්  මහතා විසින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු කටයුතුවල මුල්කාලය සම්බන්ධයෙන් 1948 දී ලියූ ලිපියකින් උපුටාගත් කොටසකි. මෙම කොටස විශේෂයෙන් උපුටා දක්වනුයේ  එම ලිපියේ සදහන් ආකාරයට එවකට ප්‍රධාන මිනින්දෝරු ජෙනරාල් ෆ්‍රේසර් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු වූ මේජර් ස්කිනර් සහ කැප්ටන් ගැල්වේ විසින් ත්‍රිකෝණීක (triangulation) මිනුම්ක්‍රමය යොදාගෙන ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතු සදහා මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක යොදාගත් ආකාරය ගැන සදහන් කර තිබීම නිසාය. 

එම මිනුම් කටයුතුවලදී ඉහත සදහන් ලන්දේසී කුළුණු දෙක කෙතෙක් ප්‍රයෝජනවත් වුයේදැයි එම මිනුම් කටයුතුවලට සම්බන්දවූ මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ, එනම් Thomas Skinner ගේ (1891) 'Fifty Years in Ceylon 1804-1877:An Autobiography' කෘතියේ පිටු 272 සහ 273 වල පහත ආකාරයට සදහන් වේ.

මෙම විස්තර කියවා බැලීමේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් සිදුකල ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇත්තේ ඉහත සදහන් ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකය.  


ශ්‍රී ලංකාවේ  විධිමත් මිනුම් කටයුතු, දත්ත  සහ සංඛ්‍යාලේඛන  සම්බන්ධයෙන් මුලින්ම දැඩි උනන්දුවක් දැක්වුයේ ලන්දේසි යටත්විජිත පාලකයන්ය. ලංකාවේ මුල්ම මිනුම් කටයුතුවල නිරතවූ  ලන්දේසි නිලධාරීන් ලෙස හැදින්වනුයේ Du Perron සහ Jonville ය. Jonville පසුව ලන්දේසි පාලනය යටතේ ප්‍රධාන මිනුම් ජෙනරාල්වරයා විය. කලක් ලන්දේසින්ගේ මීගමුව දිස්ත්‍රික්කය බාර ඒජන්තවරයා වනුයේ   De Meuron Joinville නමැත්තෙකි, ඔහු සහ ඉහත සදහන් Jonville යනු එක්කෙනෙකුද නැතහොත් දෙදෙනෙකුදැයි නිශ්චිතව කිව නොහැක. කෙසේවුවද මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක ඉදිකරනුයේ Jonville ගේ නායකත්වය යටතේ 1732 දී පමණය.


මෙහි සදහන් එම කුළුණු දෙක පිහිටා තිබුනේ වර්තමාන කටුනායක ඇවරිවත්තේ සහ කටාන කදවල හෙවත් මීගමුවේ එවකට තිබු විශාලම කුරුදූ වතුවගාවන් සදහා යොදාගත් කදිරාන ප්‍රදේශයේය. 


ගිය සෙනසුරාදා (28/11/2015) හිමිදිරි උදයේ කඩාවැටී ඇත්තේ ඉහත සාකච්චාකල  කුළුණු දෙකකින් එකක් වන කදවල කුළුණය. කාලාන්තරයක් පුරාම ක්‍රමයෙන් දිරාපත්වීමට ලක්ව තිබු මෙම කදවල කුළුණ මෙන්ම කටුනායක ඇවරිවත්තේ කුළුණ ද කොයියම්ම හෝ මොහොතක කඩාවැටීමට ආසන්න බව ප්‍රදේශයේ ජනයා මෙන්ම දේශපාලන නායකයින්ද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලටද දැන්වූ බව දැන් ප්‍රචාරණය වන මාධ්‍ය ප්‍රකාශනවලින් ඇසේ. කෙසේවුවද, කුළුණට හානිවූයේයැයි සලකන මහා මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලදී හෝ වෙනත් සෑම ආකාරයකින්ම මෙම කුළුණු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම ඇත්ත වශයෙන්ම කණගාටුවට පත්විය යුතු කරුණකි.
මෙම කුළුණු ගැන අවධානය යොමුවීම අරබුනේ අද ඊයේ සිට නොවේ. බ්‍රිතාන්‍ය පාලනයේ මුල්කාලයේ සිටමය. මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන් වන ලෙස 1848 පමණ කාලයේදීද මෙම කුළුණු ප්‍රතිසංස්කරණය කලයුතු බවට ඔහු දන්වා යැවූ බව සදහන්වේ.

එහෙත් නිදහසින් පසු කිසිම යුගයකදී මෙම  කුළුණු කිසිදු ලෙසකින් ප්‍රතිසංස්කරණය කල බවක් අප අසා නැත. මෙම කුළුණු දෙක මෙන්ම මීගමු කොටුවද නොදුරු අනාගතයේදීම බිමට කඩාවැටෙනු ඇත. මීගමු ජනයා  අදාල බලධාරීන්ව කෙතෙක් දැනුවත් කලද, මෙම ප්‍රදේශවල ඇති සීමිත  පුරාවස්තුවන්  කිහිපයවත් ආරක්ෂා කරදෙන ඉල්ලාසිටියද,  කිසිදු නිලධාරියෙක් හෝ බලයට පැමිණි කිසිදු රජයක් තවම ඒ සම්බන්ධයෙන් කිසිවක් කර නොමැත. බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අපගේ මිතුරෙකුට දැනගැනීමට ලැබුනේ  "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපා, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත් නම් තමා ප්‍රශ්නේ' යනුවෙනි. එම පිළිතුරෙන්  ශ්‍රී ලංකාවේ  රාජ්‍ය නිලධාරින් අපේ පළාත්වල ථෙතිහාසික සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය හොදහැටි නිරූපනය වේ. 

අවාසනාවකට අපේ පළාත්වල රජවරුන් ඉදිකළ කිසිවක් නොමැත. ඇත්තේ සුද්දා ඉදිකළ දෑ පමණි. ඒවා රටේ ජාතික උරුමයන් නොවන්නේද? එන එන ආණ්ඩු ගාල්ල හා මාතර පිහිටි ලංදේසි කොටු ප්‍රතිසංස්කරණට මුදල් වෙන්කලද මීගමුව කොටුව සහ එම ප්‍රදේශවල ඇති මෙවැනි ලන්දේසි කුළුණු හෝ අනෙක්  ථෙතිහාසික සහ සංස්කෘතික උරුමයන් හෝ රැකගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි අප ඇසිය යුතුය. 

කෙසේවුවද, ඉහත R. L. බ්‍රෝහියර්ගේ ලියවිල්ල සහ මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන් කරුණු හොදින් විමර්ශනය කලවිට පෙනීයනුයේ මීගමුව-කටාන, කදවලදී කඩා වැටී ඇත්තේ නිකම්ම් නිකම් ලංදේසි කුළුනක් නොව   ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇති ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකෙන් එකක් බවයි.  අදට ද කටුනායක ඇවරිවත්තේ සහ කදවල පාර හදුන්වනුයේ, එදා මේජර්  ස්කිනර් හැදින්වූ ලෙසම,  'බේස්ලයින්' පාර ලෙසය.  එහෙයින් කඩා වැටී ඇත්තේ අපේ රටේ අනාගත පරපුරට පවා මහත් අධ්‍යාපනික වටිනාකමක්  ඇති ජාතික උරුමයක් නොවේද ? එය කටානට තිබු එකම පුරාවස්තුව පමණක් නොව සමස්ථ  ලංකාවටම තුබූ පුරාවස්තුවක් නොවේද? නැවත එය ගොඩනැගීම අපේ පරම්පරාවට අයත් වගකීමක් යැයි සිතා වැඩකරමු.

 මාකස් ප්‍රියන්ත පෙරේරා. 
29/11/2015

Thursday, 26 November 2015

බාහු මාරු, අපි අමාරු !!!


ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට අවශ්‍යව තිබුනේ නම් ලෝකයේ ඕනෑම ප්‍රධාන විශ්ව විද්‍යාලයක ඉහල වැටුපකට 
සේවය කිරීමට ගොස් බොහෝ වරප්‍රසාද සහිත කීර්තිමත් මහාචාර්යවරයෙක් ලෙස වැජබීමට තිබුණි. 
එහෙත් ඔහු ඒවෙනුවට තෝරාගත්තේ සමාජය වඩා යහපත් තැනක් කිරීමේ දුෂ්කර සටනය. 
එය ඔහුට අත්කර දුන්නේ දිළිකමත්, නින්දාවත්, ප්‍රතික්ෂේප කිරීමත් සහ මෙලෝ අවබෝධයක්වත් නොමැති එවුන්ගෙන් 
 පවා එල්ලවූ  ගැරහීම පමණි.  
එහෙත් 
ශ්‍රී ලාංකීක සමාජයටත්, එහි අභිවෘද්ධියටත්, 
ලාංකීක මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයටත් 
ඔහු එකතුකළ දෑ බොහෝය. 
විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැසි ප්‍රථමයා වූ ඔහු,
 ලාංකීක සමාජයේ
ජාතීන්ගේ සමාන අයිතිය පිළිගැනීම වෙනුවෙන් 
කුමන තත්වයක් යටතේ වුවද, කිසිසේත්ම පවා නොදුන් සටනක  නිරතවූ, දේශපාලන වරදාන, වරප්‍රසාදවලට  යටනොවූ එකම දේශපාලඥායාය. 
ඔහුගේ දේශපාන මතවාද ගැන 
අපට කෙතෙකුත් වාද, විවේචන තිබිය හැකිමුත් 
කිසිසේත්ම ඔහුගේ කැපවීමත්, කැපකිරීමුත් පිලිබදව ගෞරවයේ 
කිසිදු අඩුවක් තිබිය නොහැක. 
ඒ මන්දයත්,
සෑමවිටම අන් අයගේ  යුක්තිය සහ සාධාරණත්වය  වෙනුවෙන් 
සටන්කළ 'බාහු' වෙනුවෙන්ද  යුක්තිය සහ සාධාරණත්වය
හිමිවිය යුතු බැවිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
26/11/2015.

Tuesday, 24 November 2015

රුසියානු යානය බිම හෙලීම; අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමක්ද ?

තුර්කිය සිරියාවේ ප්‍රහාරයන් සදහා සහභාගීවූ රුසියානු ප්‍රහාරක යානයක් බිමහෙලීම අද බටහිර රටවල ප්‍රධාන පුවත් සිරස් තලයක් වී තිබේ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ජාතික පුවත්පත් මෙම සිද්ධිය පිලිබදව ඉතාමත් විමතියෙන් බලාසිටින බවක් පෙන්වන්න අතර එය රුසියානු ජනාධිපති පුටින්ගේ ඊලග පියවර කුමක් වියහැකිද යන්න ගැනද දක්වනුයේ එවැනිම ආකල්පයකි. 

පසුගිය කාලේ පුරාම රුසියානු ජනාධිපති පුටින්ගේ වීරවික්‍රම සහ ඔහු කියූ ලෙස 'තමාගේ කාරීය ත්‍රස්‌තවාදීන් දෙවියන් වෙත යැවීමයි' ආදී වහසි බස් හොද හැටි ඇසු ශ්‍රී ලාංකිකයන්ට දැන් ඔහු කෙතරම් බුධිමත් රාජ්‍ය පාලකයෙක්ද, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කෙතෙක් උදාරද යන්න උරගා බැලීමට අවස්ථාවක් ලැබී ඇත. 

පුටින් සහ බටහිර ලෝකය අතර විශාල විරසකයක් තිබේ. ඒ බටහිර ලෝකය බලාපොරොත්තුවන තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් කරමින් රුසියාව 'නුතන ගෝලීය ප්‍රාග්ධන සමුච්චන' ක්‍රියාවලියට සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුනොවීම නිසා බව පැහැදිය. එහෙත් පුටින් ක්‍රියාත්මක කරමින් ඇත්තේ එම ධනේශ්වර ක්‍රියාකාරීත්වයට එරෙහි සමාජවාදී වැඩපිලිවලක්වත්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවලක්වත් නොවේ. ඒ වෙනුවට කරනුයේ ඔහු තෝරාගත් මිතුරන් කිහිපයගේ කොම්පැනි තරකරමින්, සිය අත්මානුසාරීත්වය තහවුරුකරන, අර්ධ-අධිකාරි පාලනයකි. ඔහුට බටහිර ලෝකයේ ආර්ථික සහ දේශපාලන ක්‍රියාකාරීත්වය පෙනෙනුයේ තමා සහ සිය රුසියාව වැටලීමට බලාසිටින වෘකයන් පෙළක් ලෙසිනි. ඒහින් ඔහු රුසියානුවන් ජාතිකවාදී හැගීම්වලින් පුරවමින් පැරණි සෝවියට් දේශයම සිය වසගයට ගැනීමට උත්සහකරමින් සිටී. වරක් ජෝර්ජ්යාවටද, අනතුරුව යුක්රේනියාවටද ඔහු සිය යුද්ධබලය යොදවීමට ක්‍රියාකලේ ඒහේනි. 

බටහිර, පුටින්ගේ මෙම හයිකාරම්වලට ප්‍රතිචාර දැක්වුයේ තරමක් ප්‍රවේශම් සහගතවය. ඒ රුසියානු න්‍යෂ්ඨික ශක්තිය ගැන සහ පුටින්ගේ දේශපාලනික හැසිරීම ගැන බටහිරට ඇති තක්සේරුව නිසාය. මෙම තත්වය යුක්රේන අර්බුධදේදී වඩා හොදින් ඉස්මතුවූ අතර බටහිර ප්‍රතිචාරය පුටින්ගේ රුසියාව අර්ථකථනය කලේ බටහිරයන් රුසියාව හමුවේ බෙලහීන ලෙස හෝ ඔවුන්  රුසියාව හමුවේ හැකිලෙන බව සෙසු ලෝකයට ඒත්තුයන ලෙසය. 

එහි ඊලග වර්ධනයවුයේ, රුසියාව  සිරියාවේ අර්බුධයට අතපෙවීමය. ඉරාකයෙන්, ඉරානයෙන්, ලිබියාවෙන් සහ මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලින්ද විශාල පසුබැසීම්වලට පත් බටහිර ක්‍රම උපායන් සිරියවේදීද එවැනිම තත්වයකට පත්විය. එහෙත් රුසියාව ඒ කිසිවක් ගැන නොසලකමින් සිරියාවට දිගට හරහාට ප්‍රහාර එල්ලකරන ලදී. 

එහෙත් ඒ වීරයාට ප්‍රතිචාර දෙකකටම දැන් මුහුපෑමට සිදුවිය. එකක් නම්  රුසියානු මගී ගුවන් යානය පිපිරීමයි. එය සීතලට ගුලිවී සිනා රුසියානුවන්ගේ මධ්‍යධරණීය සහ රතුමුහුදේ  නිවාඩු නිකේතවල ගතකිරීමට සිතා සිටි  සිහිනය වනසා දමන ලදී. අනෙක නම් දැන් තුර්කිය රුසියානු ප්‍රහාරක යානය බිම දැමීමයි. 

අවාසනාවකට, ප්‍රංශ ප්‍රහාරයත් සමග ලෝකයම IS ත්‍රස්තයන්ට විරුද්ධව නැගී සිටියද,  IS ත්‍රස්තයන්ට දිගට හරහාට ප්‍රහාර එල්ලකරන පුටින්ගේ රුසියාවේ ප්‍රහාරක යානයකට එල්ලවූ ප්‍රහාරය ගැන ශෝකය පලකිරීමට කිසිම රාජ්‍යක් ඉදිරිපත් නොවේ. 

පුටින්ගේ රුසියාවට දැන් මුහුණපෑමට සිදුව ඇත්තේ අත්පොළසන් දීමට දහසක් දෙනා ඇතත්, තමා මුහුණපා ඇති අනතුරේදී තමා සමග එකට සිටීමටවත් කිසිවෙකුවත් නොමැතිවීමයි. රුසියාවේ වීරයා ලෙස සිටින පුටින්ව ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමානකල ඇතමෙක්ටද අද සිතා බැලීමට ඇත්තේද එම ප්‍රශ්නයමය.

කෙසේවුවද, දැන් රුසියාව තවදුරත් චන්ඩියා ලෙසම ඉස්සරහට යනවාද ? නැතිනම් 'පාට්' එකක් දමා පස්සට යනවාද? නැතිනම්, පුටින්ගේ චන්ඩිකම් මට්ටු කිරීමට බටහිර මින් පොටක් පාදා ගන්නේ යැයි යන්න ගැන දැන් ලෝකය බලාසිටී. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
25/11/15. 

Thursday, 19 November 2015

එය ප්‍රංශ කොඩිය නොවේ, ලොයලා විදුහලේ කොඩිය ය !!!


ඉකුත් සදුදා (16/11/2015) කෙටි පණිවිඩයක් එවූ මගේ මිතුරෙක් මීගමුවේ පාසැලක  ප්‍රංශ කොඩිය ඔසවා තිබෙන බව  දන්නේ දැයි මගෙන් විමසා සිටින ලදී.  

පසුගිය සිකුරාදා (13/11/15) ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට ශෝකය කිරීම සදහා Facebook පිටුවල profile පින්තූර ප්‍රංශ ජාතික ධජයේ වර්ණයන්ගෙන් හැඩගැන්වීම ගැන විශාල ආන්දෝලනයක් මතුව තිබු එම දිනවල ලැබුන ඉහත පණිවිඩය මීගමුව ගැන නිතර ලියන මා තුලද කුතුහලයක් ජනිත කිරීමට සමත්විය. 

කරුණු සොයාබැලීමේදී පෙනීගියේ මාගේ මිතුරාගේ කෙටි පණිවිඩයේ සදහන් වූ තොරතුර පදනම් වී තිබුනේ 16/11/2015 දින මීගමුවේ ලොයලා විදුහලේ ආදී සිසුන් අතර හුවමාරුවූ ඔවුන්ගේ විදුහලේ ඡයාරූප කිහිපයක් අතර ප්‍රංශ ජාතික ධජයේ වර්ණයන්ට සමාන (පහත ආකාර)  කොඩියක්ද  පැවතීම බව පෙනුණි.  

නිල්, සුදු, සහ රතු වර්ණයන්ගෙන් යුතුව සිරස් අතට විහිදුන ප්‍රංශ ජාතික ධජය මෙන්ම මීගමු ලොයලා විදුහලේ කොඩිය ද නිල්, සුදු සහ ලේරතු පාට  හෙවත් මෙරූන් වර්ණවලින් යුතුය. එහෙත් එම  වර්ණයන් තිරස් අතට විහිදී ඇත. ඒ අනුව වර්ණයන්ගේ යම් සමානකමක් තිබුනද මගේ මිතුරා පැහැදිලිවම ලොයලා විදුහලේ පාසැල් කොඩිය සහ ප්‍රංශ ජාතික ධජය පටලවාගෙන ඇති බව මට පෙනීයන ලදී. ඒබව ඔහුට දන්වා එම විදුහලේ හිටපු සිසුවියකගෙන් ගෙන්වා ගත්  විදුහලේ වර්ණයන් සහ එහි අදහස් පැහැදිලි කරන පහත ඇති  විස්තරයද ඔහුට යවන ලදී.  
පැහැදිලිවම, නිල්, සුදු සහ රතු වර්ණයන්ගෙන් යුතු කොඩි ප්‍රංශය
හැර ලෝකයේ තවත් රටවල් 20කට වඩා වැඩියෙන් භාවිතා වේ. එමෙන්ම පාසැල් මෙන්ම වෙනත් ආයතන වලද එම වර්ණයන්ගෙන් යුතු කොඩි දස දහස් ගණනක් භාවිතාවේ. ශ්‍රී ලංකාවේද විවිධ ආයතන සහ දහස් ගණනක් පාසැල්වල භාවිතා වන කොඩි  අතර ද ඉහත ආකාර නිල්, සුදු, සහ රතු වර්ණයන්ගෙන් යුතු කොඩි එමටය. 

කෙසේවුවද, මාගේ මිතුරා ගේ  විමසුම පිලිබදව ආපසු සිතා බැලීමේ දී මට පෙනීගිය කරුණු දෙකක් විය. 

එකක් නම් මීගමුවේ බොහෝ දෙනා මෙන්ම ලංකාවේද ඇතැම් දෙනා තුල මීගමුව ලොයලා විදුහලට අද යොමුවී ඇති අවධානයයි. 1949 පෙබරවාරි මස 02 දින මීගමු පෙරියමුල්ල දේවස්ථාන භූමියේ කුඩාවට ඇරැබි මීගමුව ලොයලා විදුහල අද දැවැන්ත විදුහලකි. එය පහසුකම් අතින් මෙන්ම ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ වෙනත් බොහොමයක් අංශවලින් ද මහත් ඉදිරියකට පැමිණ තිබේ. 



නවීන ලෝකය ජයගැනීමට සමත් විශිෂ්ඨ ගුරු මණ්ඩලයක් මෙන්ම දක්ෂ දු පුතුන් පිරිසක්ද එහි සිටී. එහෙයින් ජාත්‍යන්තර වශයෙන් මිනිස් වර්ගයාටත් ඔවුන්ගේ ශිෂ්ටාචාරයත් කම්පාවන සිදුවීමකට ප්‍රතිචාර දැක්වීමට මීගමුවේ ලොයලා විදුහල මුලපිරුවේදෝ දැයි මහත් අදහසක් ඉහත මගේ මිතුරාගේ පණිවිඩය තුල තිබු බව මට සිතුනි. 

අනෙක නම් ලොවපුරාම Facebook සමාගම මෙන්ම වෙනත් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනද පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට ශෝකය පලකිරීමට ප්‍රංශ ජාතික ධජයේ වර්ණයන්ගෙන් මෙන්ම අයිෆෙල් කුළුන වැනි ප්‍රංශ ජාතික සංකේතයන් භාවිතා කරමින් සොව පලකල පළමු අවස්ථාව මෙය විය. එනම් එක රටක සිදුවූ, ජාත්‍යන්තර ජනමාධ්‍ය මගින් දැවැන්ත අවධානයක් ලබාදුන්, ඛේදවාචකයක් සදහා එම රටේ ජාතික වර්ණයන් හෝ  ජාතික සංකේතයන් භාවිතා කරමින්  ලෝකයේ සෑම අස්සක් මුල්ලකම ශෝකය පලකල පළමු අවස්ථාව මෙය විය.  මගේ මිතුරා ද ඉන් කුල්මත්ව සිටි බවක් පෙනුණි.

එය ලෝකය පුරාම ජාත්‍යන්තරවාදී හැගීමක් හෙවත් 'ඒක ලෝකවාසී ප්‍රජාවක්'ය යන හැගීම ප්‍රවර්ධනය කිරීමට නිමිත්තක් වුවාය යන්න පෙනේ. ඉදිරියේදී ද මේ ආකාරට ලෝකය පුරාම පොදු යහපත වෙනුවෙන් එක් හඩකින් හඩ නගන ලෝකයක් නිර්මාණය කරගැනීමට හැකි නම් මේ පොලෝ තලය කෙතරම් සුන්දර වේද !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/11/15.

Saturday, 14 November 2015

We are all vulnerable no safer than Parisians !!! අප සියල්ලන්ම පැරීසියානුවන් මෙන්ය

We are all vulnerable 
No safer than Parisians,
We all are living in the state of terror
No land is a safe haven,

But we all overcome it
As the French passed the 'Reign of Terror',
At the age of revolution, in the struggle for 'liberty, equality and fraternity,'

And so on and so forth, 
Against all acts of barbarism, and for humanism.

13/11/15, our thoughts and prayers are always with you Parisians !!

අප සියල්ලන්ම පැරීසියානුවන් මෙන්ය, ඔවුන්ට වඩා අප කිසිසේත්ම සුරක්ෂිත නොවනු ඇත. අපි සියල්ලන්ම දැන් ත්‍රස්තව සිටිමු, කිසිදු දේශයක් තවදුරටත් ආරක්‍ෂිත නොවේ !! 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
14/11/15. 

Friday, 13 November 2015

මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/?


මේ 1977 දෙසැම්බර් 13 වෙනි දින මීගමුව අවට සංචාරයක නිරතවූ නෙදර්ලන්ත සංචාරකයින් දේපලක් ගනු ලැබූ ඡයාරූපයකි. 

මම මෙයට පෙරද  මගේ facebook පිටුවේ මීගමුව කොටුව සම්බන්ධයෙන් ක්‍රි. ව. 1600 ගනන්වල සිට ක්‍රි. ව. 1986 දක්වා විවිධ යුගවලදී මීගමුවේ කොටුව ගැන අදින ලද මෙන්ම ගනුලැබූ ඡයාරූපයද කිහිපවරක් පළකර ඇත. ඒ අද ගරාවැටීමට අසන්නව ඇති මීගමුව කොටුවට සියළුම දෙනාගේම අවධානය යොමුකරවීම සහාය. ඒ සම්බන්ධයෙන් පැහැලිවම යම් උනන්දුවක්  මීගමු ජනයා තුල ඇතිවූ බව අපි දනිමු. එහෙත් රජයේ අවධානය ඒ සදහා යොමු කරවා ඒය රැක ගැනීමට තවම යමක් කල නොහැකිව ඇත. 

කෙසේවුවද, පසුගිය සතියේ දී මීගමුව කොටුව සහ මීගමුවේ සෙසු සංස්කෘතික උරුමයන්ගෙන් කිහිපයක් ශ්‍රී ලංකා මාධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානයට සහ පිරික්සුමට  ලක්ව තිබේ. ඇත්තවශයෙන්ම, මීගමුව කොටුවේ දැන් තත්වය ඔවුන් බලාපොරොත්තුවූවාටත්  වඩා සෝචනීය බව පහත ඡයාරූප වලින් පවා පෙනීයනු නියතය. 
 මෙයට පෙරද මීගමුව කොටුව සහ මීගමුවේ සෙසු සංස්කෘතික උරුමයන් ශ්‍රී ලංකා රජයේ නිලදරුවන්ගේ අවධානයට සහ පිරික්සුමට අනෙකවාරයක් ලක්වූ බව අපි දනිමු. එහෙත් සිදුවූ දෙයක් නොමැත. මීගමුව කොටුව රැකගැනීමට 1997 දී නෙදර්ලන්ත රජය සමග ඇතිකරගත් ගිවිසුමට ද සිදුවූ දෙයක් නොමැත. 

එහෙත් දැන් ඇත්තේ මීගමුවේ ජනයාගේ වැඩි චන්දයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරක් ඇති 'යහපාලන' රජයය. ඔවුන්ගේ ප්‍රධානම සංවර්ධන වැඩපිලිවල ලෙස හදුන්වන 'මෙගාපොලිස්' හෙවත් බස්නාහිර මහනගර  සංවර්ධන වැඩපිලිවල යටතේ මීගමුව නගරයද   සංචාරක පුරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. පසුගිය සතියේ ශ්‍රී ලංකා මාධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානයට සහ පිරික්සුමට මීගමුව කොටුව සහ මීගමුවේ තවත් සංස්කෘතික උරුමයන්ගෙන් කිහිපයක් ලක්වීමත්, 'යහපාලන' රජයේ ප්‍රධාන  සංවර්ධන වැඩපිලිවල වන 'මෙගාපොලිස්' හෙවත් බස්නාහිර මහනගර  සංවර්ධන වැඩපිලිවලට මීගමුව නගරයද ප්‍රධාන සංචාරක පුරයක් ලෙස ඇතුල්කර තිබීමත් තුල, මීගමුවේ  සංස්කෘතික උරුමයන් රැකගැනීමට නව උනන්දුවක් ජනිත වී තිබේ. 

දැන් අවශ්‍යවන්නේ අප සියල්ලන්ම අපට හැකි සෑම සියලු ශක්ති ප්‍රමාණයකින්ම ඇතිවී ඇති නව තත්වය තුල, මෙම රජය යටතේ හෝ,  මීගමුවේ කොටුව සහ මීගමුවේ සෙසු සංස්කෘතික උරුමයන් රැකගැනීමට කටයුතු කිරීමය.  ඒ සම්බන්ධ අපේ උනන්දුව අපි කිසිසේත්ම අඩුකර නොගත යුතුය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
13/11/2015.

Friday, 6 November 2015

පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය මීගමුව



මීගමුව නගර මාධ්‍යයේ පිහිටි ශා.පීතර දේවස්ථානය, මීගමුවටත්, ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයටත්, විශේෂවූ කරුණු-කාරනා කිහිපයක් සගවාගත් සූවිශේෂ දේවස්ථානයකි. එය එක් අතකින් මීගමුවේ ප්‍රබල 'සූර්ය' කුලයන් තුනෙන් එකක් වූ මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රෞඩත්වයත්, අනෙක් අතින් පෘතුගාලයේ රජතුමා සහ රෝමයේ පාප්තුමා ලංකාවේ එකවිට ගෙනගිය 'ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ ද්විත්ව පාලනය' පැවති සමයේදී මීගමුවේ කතෝලිකයන් ක්‍රියාකලේ කෙසේද යන්න විමසා බැලීමට ද හොද තෝතැන්නකි. 


දැනට වසර 150කට පමණ පෙර, එනම් 1864 දී, ඉදිවන මීගමුව ශා.පීතර දේවස්ථානය ගොඩනගනු ලබනුයේ මීගමුව 'දූව' දූපත කේන්ද්‍රකරගනිමින් සිටි මිහිදුකුලසූර්යවරුන් මීගමු නගර මධ්‍යට සංක්‍රමණයවීමත් සමගය. ඒ වනවිටත් මීගමුව 'මහවීදිය' කේන්ද්‍රකරගනිමින් සිටි කුරුකුලසූර්යවරුන්ට
ද,වැල්ලවීදීය කේන්ද්‍රකරගනිමින් සිටි වර්ණකුලසූර්යවරුන්ටද, සිය ආගමීක සහ සංස්කෘතික ජීවිතයේ අවශ්‍යතා සදහා වෙන වෙනම දේවස්ථාන පැවති අතර නගර මධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන්ටද ඒ සදහා නව දේවස්ථානයක් අවශ්‍ය විය. එකල 'දූව' දුපත අද මෙන් මීගමුව ප්‍රධාන ගොඩබිම හා පාලම් මගින් සම්බන්ධවී නොතිබු හෙයින්, මිහිදුකුලසූර්යවරුන්ට ඔවුන්ගේ මහ පල්ලිය වූ දූවේ 'සින්ද්‍රාති මාතා' පල්ලියට නිතර යාත්‍රා කිරීම කරදරකාරීවීම ද නගර මධ්‍යට සංක්‍රමණයවූ ඔවුන්ට නව පල්ලියක අවශ්‍යතාවයන් දැඩිව දැනීමට හේතු වෙන්නට ඇත. 


එහෙත් කුලපරම්පරා අනුව පල්ලි පවා බෙදී තිබු එකල, එකිනෙකාට දෙවෙනි නොවූ මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය සහ වර්ණකුලසූර්ය නම් වූ මීගමුවේ බලවත් 'සූර්ය'වරුන්ගේවූ පරම්පාරික අනන්‍යතාවයන් තවදුරටත් නොනැසී ඉදිරියට ගෙනයාමට ඔවුන් තුල තිබු මහත් ලැදියාව නිසාම මීගමු නගර මධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන්ට මීගමුව ශා. පීතර නමින් නව පල්ලියක් මීගමුව නගර මධ්‍යයේ ඉදිකිරීමට ඇත්ත වශයෙන්ම බලපෑ මුලික කරුණ බව නොවහලා ප්‍රකාශකල හැක. 

ඉහත සදහන් කල මීගමුවේ 'සූර්ය' වරුන් ගේ ඉතිහාසය ආසන්න වශයෙන් වසර 1000ක් වත් පැරණිය. ඒ ක්‍රි.ව.1848-97 අතර කාලයේදී ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයෙකු වූ හියු නෙවිල් මහතා (Hugh Neville) එකතුකළ තමන්කඩුවේ කරාව වංශිකයන් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන සිටි පුස්කොලපොත් නිසාය. අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සූචී අංක Or. 6606 (54) and Or. 6606 (139) යටතේ ඇති 'හියු නෙවිල් එකතුවේ' (Hugh Nevill collection) මෙම පුස්කොලපොත් සුරක්ෂිතව තැම්පත් කර තිබේ. එම තොරතුරු අනුව මීගමුවේ මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය සහ වර්ණකුලසූර්යවරුන් ක්‍රි.ව.1154-1264 අතර කාලයේ සිට මීගමුවේ ජීවත්වූ ප්‍රබල කුලපරම්පරා තුනක් බවට සාක්ෂි මතුවේ. එය එක් අතකින් මීගමුවේ ඉතිහාසය ගැන විමර්ශනයේදී ද සැලකියයුතු වැදගත් සාධකයකි.
1978 නව දිස්ත්‍රික් සිමාමායිම් නිර්ණය කිරීමේදී දිස්ත්‍රික්කය විය යුත්තේ මීගමුව නොව ගම්පහ යැයි තරයේ පෙනීසිටී, එම ක්‍රියාදාමය සදහා යම් බුද්ධිමය දායකත්වයක් සැපැයූ, මහාචාර්ය ඒ.වී සුරවීරගේ 'රාජාවලිය'ට (1964) අනුව නම් මීගමුවේ මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය සහ වර්ණකුලසූර්යවරුන් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවේ කාවේරි පත්තම්, කිල්ලක්කාර් සහ කාන්චිපුරම් සිට ක්‍රි.ව.1410-1467 ක් අතර කාලයේ මන්නාරමේ සිට මීගමුව දක්වා වූ ප්‍රදේශ අල්ලාගෙන සිටි ඉන්දියානු මුක්කර් (Mukkara) ගෝත්‍රිකයන්ට එරෙහිව සටන් කිරීමටය. සටනින් ජයගත් සූර්යවරුන්ගේ කුරුකුලසූර්ය පරපුරට මීගමු මහවීදියත්, කුරණවීදියත්, වර්ණකුලසූර්යවරුන්ට වැල්ලවීදියත්, මිහිදුකුලසූර්යවරුන්ට මීගමු දූවත් VI වන පරාක්‍රමබාහු රජතුමා විසින් පවරා දුන් බව එහි සදහන් වේ.

එහෙත් H.A.P. අභයවර්ධනගේ (1978) 'කඩ ඉම්පොත් විමර්ශනය', T.S. ධම්මබන්දු ගේ (1962) 'කෞරාව් වංශ කථාව', M.D. Raghavan ගේ (1961) 'The Karava of Ceylon', ආදි කෘතියන් රාශියක මෙයට වඩා වෙනස් විස්තර සදහන් වේ. මෙම කෘතිවලට අනුව මීගමුවේ 'සූර්ය' වරුන්ගේ ඉතිහාසය පළමුවන ගජබා රජ යුගය (ක්‍රි.ව.113-136) දක්වා දිවයයි. 

එමෙන්ම මුලින් විස්තරකල රාජාවලියේ සදහන් පරාජය කරනු ලැබූ ඉන්දියානු මුක්කර් (Mukkara) ගෝත්‍රිකයන්ගෙන් පැවත එන මුක්කුවාර්වරුන් (Mukkuvar) ක්‍රි.ව.1850 වනවිටත් මීගමුවේ සිටි බවට C. Brito විසින් (1876) පලකරන ලද 'The Mukkuva Law of Ceylon' නම් කෘතියේ එන නඩු විස්තරයක් කියවීමේදී පෙනීයයි. (මීගමුවේ මුන්නක්කරය සහ මුක්කුවාර්වරුන් අතර යම් සම්බන්දයක් පවතීද ? ඒ.වී සුරවීර, ඔහුගේ රජාවලිය, ඔහුගේ 'ගම්පහ දිස්ත්‍රික් පුරවැනුම' සහ සූර්යවරුන් සම්බන්ද වෙනත් විස්තර පසු අවස්ථාවක වෙනම සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තුවෙමි.) 

කෙසේවුවද, මෙලෙස මීගමුවේ මුල්බැසගත් 'සූර්ය'වරුන් ධීවර කර්මාන්තය සිය ප්‍රධාන රැකියාව කරගත්තද, 16වන සියවසවනවිට කුරුකුලසූර්යවරුන්ගෙන් සමහරෙක් කෝට්ටේ රජුගේ නාවික හමුදාවට නායකත්වය සපයමින් ක්‍රමයෙන් රජයේ රැකීයා සදහා යොමුවීම අරබා තිබු අතර ඇතමෙක් මීගමුව අත්හැර කොළඹ අවට ප්‍රදේශයන්ට සංක්‍රමණයවී තිබුණි. (කුරුකුලසූර්යවරුන්ගේ ඉහත ක්‍රියාකාරිත්වය තමන්කඩුවේ පදිංචිව සිටි කරවා ජනයා විවේචනය කළබවත්, පෘතුගීසින් මීගමුව අල්ලා ගැනීමෙන් අනතුරුව ඔවුන් තමන්ව පවාදුන් බවත් තමන්කඩුවේ පුස්කොලපොත් එකතුකිරීමට ගිය හියු නෙවිල් (Hugh Neville)ට පැවසුබව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති 'හියු නෙවිල් එකතුවේ' (Hugh Nevill collection)ඇති විස්තර වල සදහන් වේ.

කුරුකුලසූර්යවරුන්, එසේවනවිට 'සූර්ය'වරුන්ගේ වර්ණකුලසූර්යවරුන් දිගින් දිගටම මීගමුව කේන්ද්‍ර කරගනිමින්, රටපුරාත්, විශේෂයෙන් හලාවත සිට මීගමුව දක්වාත්, මුලික වශයෙන්ම ධීවර කර්මාන්තයේ ආධිපත්‍ය පතුරුවමින් එම විෂයෙහි කෙළ පැමිණි වෘත්තිය ධීවරයන් බවට පත්වුහ. 

එහෙත් මේ සියල්ලන්ටම වඩා වෙනස් ලෙස, මිහිදුකුලසූර්යවරුන් සිය මුහුදු විෂය සහ යාත්‍රා පිළිබද දැනුම පෙරටු කරගනිමින් සම්ප්‍රදායක ධීවර කර්මාන්තයටත්, මාදැල් ධීවර කර්මාන්තයටත් වඩා එහා යමින්, විදේශ වෙළදාමේ යෙදෙන්නටත් යොමුවන ලදී. 

ක්‍රි.ව.1830 වනවිට ද මෙම මිහිදුකුලසූර්යවරුන්ගෙන් තිදෙනෙක් වූ මිහිදුකුලසූර්ය ජුවාන් ප්‍රනාන්දු, මිහිදුකුලසූර්ය දුමින්ගු ප්‍රනාන්දු සහ මිහිදුකුලසූර්ය පේදුරු ප්‍රනාන්දු යන සහෝදරයින් තිදෙනෙකුට රුවල් නැව් පවා හිමිව තිබූන බවත්, ලෝකප්‍රකට 'දූවේ පාස්කු' සංදර්ශනය සදහා භාවිතා කරන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව නිර්ණය කල ඉන්දියාවේ බටහිර වෙරළේ වූ කේරළයේ පිහිටි කොචින් ග්‍රාමයේ සිටි ප්‍රකට ප්‍රතිමා ශිල්පයෙක් වූ 'ජාකොමේ මේස්ත්‍රා' හමුවීමට ගොස් ඇත්තේ ද එම නැව්වලින් බවත් මීගමු දුවේ පාස්කු ඉතිහාසය පිළිබද පොතපතවල සදහන් වේ. 

තවද ක්‍රි.ව.1837 දී එම ප්‍රතිමාව රැගෙන ඒමට ගිය තවත් මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රධානින් කිහිපදෙනෙකු වූ මිහිදුකුලසූර්ය ජෝශප් ස්ටීවන් ද මෙල්, මිහිදුකුලසූර්ය මනුවෙල් ජෝන් තිසේරා, මිහිදුකුලසූර්ය ජුවාන් කුරේරා, මිහිදුකුලසූර්ය රොමෙල් වාස් සහ මිහිදුකුලසූර්ය දියාගු පීරීස් ආදින් ද ඉන්දියාව බලා යාත්‍රා කලබව මීගමුවේ පාස්කු ඉතිහාසය පිළිබද පතපොතවල තවදුරත් සදහන්ය. 
මේ අනුව මිහිදුකුලසූර්යවරුන් ඒවනවිටත් ආනයන, අපනයන වෙලදාම් තුලින් ඉන්දියාවේ පෘතුගීසි පාලන ප්‍රදේශයවූ ගෝවේ (Goa) නගරයේ සිට දකුණු ඉන්දියාවේ කොරමන්ඩල් ප්‍රදේශ දක්වා සබදතා ගොඩනගාගෙන සිටිබව පැහැදිලිය. එය කෙතක් දුරට විහිදී ගොස් තිබුනේදයත් ඉන්දියාවේ මිෂනාරි කටයුතුවල නිරතවූ, එහෙත් ශ්‍රී ලංකාවට ආගන්තුක වූ, සිරියානු-පෘතුගීසි මිෂනාරිකයන් වූ ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා ඉන්දියාවේ ගෝවේ (Goa) සිට මීගමු දූව දේවස්ථානයේ තේවාවන් සදහා පැමිණීමත්, ඉන්දියානු බටහිර වෙරළ ප්‍රදේශයේ මුහුදු වැද්දන්ගේ නැටුමක් වූ 'ජවුසන් ජල්ලියා' හෙවත් 'ජවුසන් නැටිල්ල' ආදී සංස්කෘතික අංග මීගමු දුවට පැමිණීමත් දැක්විය හැක. (මෙම නැටුම් සම්ප්‍රදායන් මනමේ නාටකයට පවා භාවිතාකර ඇති බවත්, මනමේ නාටකය නිර්මාණය කිරීමට මීගමුවේ දූවේ මිහිදුකුලසූර්යවරුන්ගේ කලා නිර්මාණ මහත් පිටුවහලක් සපයා ඇති බවත් මම මීට පෙර ලියා ඇත - එය මෙතනින් කියවිය හැක.) 

මෙලෙස සම්ප්‍රදායික ධීවර කර්මාන්තයෙන්ද, 'මාදැල්' ධීවර කර්මාන්තයෙන් සහ විදේශ වෙළදාමෙන්ද ධනවත්ව සිටි මීගමු දූවේ මිහිදුකුලසූර්යවරුන්, 'රජතුන් කට්ටුව' සහ 'පාස්කු නාට්‍ය' රගදැක්වීමත්, 'ජවුසන් නැටුම්' ආදීයත් නිසා සංස්කෘතික අංගනයන්ගෙන් ද විරාජමානව සංස්කෘතික වශයෙන් ද පොහොසත්ව සිටින ලදී. තවද, ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයේ මුල්කාලය වනවිට මෙම මිහිදුකුලසූර්යවරුන්ගෙන් සමහරෙක් රජයේ වෙන්දෙසියේ විකුණන අවසරලත් රා රේන්ද හිමියන් හෙවත් 'රේන්ද රාළ' ද, පොල් වතුහිමි ධනවතුන් බවට ද පත්විය.

මීගමුව නගර මධ්‍යයේ ශා.පීතර දේවස්ථානය ගොඩනන්වන මීගමු දූවේ සිට සංක්‍රමණය වූ මිහිදුකුලසූර්යවරුන් වුයේ 1.මිහිදුකුලසූර්ය අන්තොනි ප්‍රනාන්දු, 2.මිහිදුකුලසූර්ය දිමින්ගු ප්‍රනාන්දු, 3.මිහිදුකුලසූර්ය සන්තියාගෝ ප්‍රනාන්දු, 4. මිහිදුකුලසූර්ය දියෝගු කුරේරා, 5. මිහිදුකුලසූර්ය ජුවාන් පිංතු, 6.මිහිදුකුලසූර්ය ක්ලැරා පිංතු, 7.මිහිදුකුලසූර්ය ජුවාන් ප්‍රනාන්දු, 8. මිහිදුකුලසූර්ය රොමෙල් වාස් සහ 9.මිහිදුකුලසූර්ය දිමොන්ගෝ තිසේරා ආදීන් බවත් ඔවුන් ක්‍රි.ව.1838 සිට මීගමු නගර මධ්‍යයේ නිත්‍ය පදිංචිකරුවන් වූ බවත් මීගමු ශා.පීතර දේවස්ථානයේ 150 වසරක සමරුව සදහා නිකුත්කළ ප්‍රකාශනයේ සදහන්වේ. ඔවුන්ගෙන් ඇතමෙකු භූමදානය කර ඇත්තේද මෙම දේවස්ථානය තුලම බව අදත්ටත් මීගමුව ශා.පීතර දේවස්ථානයේ දැකිය හැකි ඉහත ආකාර සොහොන්පලක වලින් පිලිබිබුවේ.

මීගමු දූවේ සිට මෙලෙස මීගමුව නගර මාධ්‍යට සංක්‍රමණයවන එම මිහිදුකුලසූර්යවරුන් සම්ප්‍රදායික මෙන්ම මා-දැල් ධීවර කර්මාන්තයෙන්ද, විදේශ වෙළදාමෙන්ද, පොල්වතු සහ රා රේන්ද හිමිකාරත්වයේන්ද ධනවත්ව සිටි මීගමුවේ නව ප්‍රභූ පිරිසක් වූ අතර බොහෝදුරට ඔවුන්ගේ සංක්‍රමණයට හේතුවුයේ සිය ව්‍යාපාරික සහ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සදහාවූ බව පෙනේ.

ඔවුන් අතරින් ඇතමෙක් කෙතරම් ධනවත්ව සිටියේදයත්, 1.මිහිදුකුලසූර්ය අන්තොනි ප්‍රනාන්දූ හෙවත් අන්තොනි රේන්දරාළ, 2.මිහිදුකුලසූර්ය දිමින්ගු ප්‍රනාන්දු හෙවත් දිමින්ගු රේන්දරාළ, 3.මිහිදුකුලසූර්ය සන්තියාගෝ ප්‍රනාන්දු හෙවත් සන්තියාගෝ රේන්දරාළ සහ, මාදැල් මෙන්ම පොල්වතු ද හිමිව සිටි, 4. මිහිදුකුලසූර්ය දියෝගු කුරේරා යන ප්‍රභූන් සතරදෙනාගේ පෞද්ගලික ධනයෙන් පමණක්, එවකට මීගමුවේ විකිණීම සදහා අවට ප්‍රදේශවලින් රැගෙනආ කෙසෙල්කන් ආදී පළතුරු විකුණු කඩපේලිය පැවති, 'වෙල්ගම්වත්තේ' කෙසෙල්කන් කඩපේලිය අසලින් අක්කර 12ක ඉඩමක් මිලදීගෙන වසර 20ක් තුල මීගමු ශා.පීතර නමින් නව දේවස්ථානයක් ඉදිකර එහි නඩත්තුව සදහා මීගමු මඩම්පැල්ලෙන් පොල් අක්කර 35ක් ද මිලටගෙන තිබේ. 
මෙලෙස අතිමහත් ධනයක් වැයකර මිහිදුකුලසූර්යවරුන් මෙම නව  දෙව්මැදුර ඉදිකල අවදියේ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිවලින් කොටසක් රෝමයේ පාප්තුමාගේ නියෝජිතයාවූ ඉන්දියාවේ කොචින් හි අගරදගුරුතුමන්ගේ  පාලනයටද, තවත් කොටසක්  ශ්‍රී ලංකාවේ කතෝලික ධර්මය ස්ථාපිතකල පෘතුගාල රාජ්‍ය නියෝජනය කල පෘතුගාල රජගේ නියෝජිතයා වූ 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන්ගේ පාලනය යටතේ ද පැවති 'ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ ද්විත්ව පාලන' සමය විය. එවකට මීගමුවේ පැවති (කුරුකුලසූර්යවරුන්ගේ) මහවීදිය පල්ලිය, (වර්ණකුලසූර්යවරුන්ගේ) වැල්ලවීදිය පල්ලිය මෙන්ම මීගමුවේ සෙසු මීසම් ද රෝමයේ පාප්තුමාගේ නියෝජිතයාවූ ඉන්දියාවේ කොචින් හි අගරදගුරුතුමන්ගේ  පාලනය යටතේ පාලනයවිය. 

එහෙත් මීගමුවේ මිහිදුකුලසූර්යවරුන්ගේ මහ පල්ලිය වූ දූවේ 'සින්ද්‍රාති  මාතා' පල්ලිය පාලනය කලේ පෘතුගාල රජගේ නියෝජිතයා වූ 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන්ගේ පාලනය යටතේ වූ  සිරියානු-පෘතුගීසි මිෂනාරිවරුන් වන ජාකොබයිට් (Jacobite Missionaries) පියතුමන්ලා විසිනි. ඒහින් මීගමු නගර මාධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන් අභිනවයෙන් ඉදිකළ  මීගමු ශා. පීතර දෙව්මැදුරේ පාලනයද, සිය මුල් පල්ලිය වූ  දූවේ පල්ලිය අනුව යමින්, පෘතුගාල රජගේ නියෝජිතයා වූ 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන්ගේ පාලනය යටතට ක්‍රි.ව.1864 අප්‍රියල් මස 22 දින නිලවශයෙන් පවරාදෙනලදී. එම වර්ෂයේම 'ගෝවේ' (Goa) අගරදගුරුතුමන් විසින් මෙම පවරාදීම නිලවශයෙන් පෘතුගාලයේ එවකට රජතුමාවූ  පළමුවන කාලෝස් රජතුමාට දන්වා යවා ඇති අතර ඒ සදහා පෘතුගාලයේ රජතුමන් විසින් පිරිනැමූ ගෞවරව ප්‍රණාම, සන්න්නස් සහ පදක්කම් ආදිය ලබාගත්තේ මීගමු ශා. පීතර දෙව්මැදුර ඉදිකිරීමට අතිමහත් කැපවීමත්, ධනයත් වැයකල මිහිදුකුලසූර්යවරුන්ගේන් කවරෙක්දැයි සොයාබැලිය යුතුය.
කෙසේවුවද ක්‍රි.ව.1886 ජුනි 23 දින, 13වන ලියෝ පාප්තුමා සහ පෘතුගාලයේ කාලොස් රජ අතර අත්සන්කල ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික පල්ලිවල භාරකාරත්වය කොළඹ අගරදගුරුවරයාගේ පාලනයට නතුකර දුන් අතර ඒ සමග පෘතුගාලයේ රජතුමා සහ රෝමයේ පාප්තුමා ලංකාවේ එකවිට ගෙනගිය 'ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ ද්විත්ව පාලන' සමය අවසන් වනලදී. ඉන් අනතුරුව දූවේ පල්ලිය සහ මීගමු ශා. පීතර දෙව්මැදුරේ පාලනයෙන් 'ගෝවේ'  ජාකොබයිට් පියවරුන් ඉවත්ව ගියහ. වසරක් පමණ කාලයක් පියතුමේක් නොමැතිව සිටි ඔවුන්, පසුව කුරුකුලසූර්යවරුන්ගේ මහවීදිය මීසම යටතේ ද, එහෙත් මිහිදුකුලසූර්යවරුන්ගේ අනන්‍යතාවය තුල වෙනමම මීසමක් බවටද පත්වනලදී. 

ක්‍රි.ව.1837 දී ඉන්දියාවේ 'ජාකොමේ මේස්ත්‍රා' නිර්මාණය කල 'දූවේ පාස්කු' සංදර්ශනය සදහා භාවිතා කරන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව ඉන්දියාවේ කොචින් ග්‍රාමයේ සිට මීගමුව දූවට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රධානින් කිහිපදෙනෙකු වූ මිහිදුකුලසූර්ය රොමෙල් වාස්, මිහිදුකුලසූර්ය මනුවෙල් ජෝන් තිසේරා සහ මිහිදුකුලසූර්ය දියාගු කුරේරා ආදින් ද දූවේ සිට මීගමු නගර මාධ්‍යට සංක්‍රමණයවූ මිහිදුකුලසූර්යවරුන් අතර සිටි හෙයින් සෑම වසර 2කට වරක්ම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව අභිනවයෙන් ඉදිකළ 
 මීගමු ශා. පීතර දෙව්මැදුරට ගෙනවිත් එහි 'තුන්පැය දානය' සහ 'කුරුස යාගය' මහා සිකුරාදා සිදුකිරීමට තීරණය කිරීමද මෙම දේවස්ථානයටත්, එය ඉදිකළ මිහිදුකුලසූර්යවරුන්ටත් මීගමුවේ සුවිශේෂී ස්ථානයක් අත්කර දීමට සමත්විය. 


වර්තමානයේ දී  මුන්නක්කරය පාලම හරහා වීදියක්, වීදියක්   ඔස්සේ උත්කර්ෂවත් ලෙස දිවෙන, බැතිසිත් ඇති සියලුම මීගමු ජනයාගේ මහත් භක්ති අභ්‍යාසයක් වන, ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාව දූවේ පල්ලියේ සිට මීගමු නගර මාධ්‍ය පිහිටි ශා. පීතර දෙව්මැදුරටත් නැවත වසරකට පසුව දූව පල්ලියටත්  වැඩමකිරීම පාගමනින් සිදුකරයි. එහෙත්, මුන්නක්කරය පාලම ඉදිකර නොතිබූ අතීතයේදී එය හැමිල්ටන් ඇලේ සිට ඇදී ගිය පාරු යාත්‍රා ඔස්සේ දූව පල්ලියත්ට, දූව පල්ලියේ සිට නැවත ශා. පීතර දෙව්මැදුරටත් රැගෙන යාම සිදුකර තිබේ. ඇල දෙපස සිට, මහවීදිය පාලම මතසිට, කලපු ඉවුරේ සිට, දූව වෙරල අද්දර සිට පාරුයාත්‍රා ඔස්සේ රැගෙන යන ආශ්චර්යමත් ක්‍රිස්තුප්‍රතිමාවට රතුමල් දැමු ජනයා ගැන අසා ඇත්තෙමු. මීගමු ජනයාට අද අත්විදීමට නොලැබෙන එම භක්ති අභ්‍යාසය කෙතරම් චමත්කාර ජනකවීමට ඇද්දැයි මට අනේකවාරයක් සිතේ ?

මීගමු නගර මාධ්‍යට සංක්‍රමණයවූ  මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රභූ කාර්යභාරය මීගමුව ශා. පීතර දෙව්මැදුර ඉදිකිරීමෙන් පමණක් නැවතුනේ නැත. ක්‍රි.ව.1903 ජුලි 03 දින ගුරුවරුන් තිදෙනෙක් සහ ළමුන් 33 දෙනෙකුගේන් පටන්ගත් මීගමුව ශා. පීතර විදුහලද, මීගමුව පෙරියමුල්ල පල්ලියද, නාත්තන්ඩිය පල්ලියේ දුර්දු ගුහාවද, ක්‍රි.ව. 1910 දී ඔප්පු අංක 2678 දරන නෙලුම්පිටිය පල්ලිය සහ එයට අයත් අක්කර 16 ඉඩමද  මිහිදුකුලසූර්යවරුන්ගේ ප්‍රභූවරයෙකු වූ මිහිදුකුලසූර්ය ජුවාම් ප්‍රනාන්දූ මහතා ඇතුළු මිහිදුකුලසූර්ය ප්‍රභූන්ගේ සත්කාර්යන් සදාකාලිකව සටහන් කිරීමට සමත්ව ඇත.

ඉහත ආකාරයට  මිහිදුකුලසූර්ය, කුරුකුලසූර්ය හෝ වර්ණකුලසූර්ය ආදීය ලෙස විවිධ නම් සදහන් කුලපරම්පරාවල් පිලිබදව අධ්‍යන අරමුණු සදහා පමණක් වෙන වෙනම සලකා බැලුවද, මීගමුවේ එවැනි කිසිදු භේදයක් කිසිදු වැසියෙක් තුලින් දැකගත නොහැකි බව එක්වරක් හෝ මීගමුවට පා තැබූවෙකුට වැටහෙනු නොඅනුමානය. ඒ සියල්ලටම වඩා මීගමුව සම්බන්දයෙන් මා සිදුකරමින් ඇති අධ්‍යන කටයුතුවලදී මා සොයාගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක මීගමුවේ තරම් විවිධත්වයක් නැත. ඒහි ඇති විවිධ ජන වර්ග, විවිධ භාෂා කථා කරන,  විවිධ ආගම් අදහන පිරිසක් තරම් සමගියෙන්, සතුටින් සහ සහයෝගයෙන් එකටඑක්ව  එකටසිටින ජනපිරිසක් ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් සොයාගත නොහැකිය. ඒ මීගමුවේ අපේ ආඩම්බරය ය. 


* මෙම තොරතුරු සොයාගැනීමට මීගමුව හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ පුතුණුවන් වන රුචිත කුරේරා මහතා දැක්වූ සහයෝගය මම මහත් අගයකොට සලකමි. එම පවුලේ පරම්පාරික ඡයාරූප පවා මගේ මේ අධ්‍යනයෙදී මා හට ලබාදෙන ලදී.  ඒ සියල්ල සම්බන්දයෙන් මා නැවත වාරයක් ඔවුනට ස්තුතිවන්ත වෙමි.

*මෙහි පළකර ඇති ඡයාරූප අතරින් කිහිපයකම ගෞවරවය සහ අයිතිය හිමිවියයුත්තේ https://www.facebook.com/kurusayagaya/. ඒ සම්බන්දයෙන් මම ඔවුනට ස්තුතිවන්ත වෙමි. 

* තවද මෙම අධ්‍යනයෙදී සොයාගත්, සියළු තොරතුරු,  ඡයාරූප මුල් පිටපත්, ඡයාරූප පිටපත් සහ අනෙකුත් බොහෝ දෑ මෙම ලිපියට ඇතුල්කිරීමට නොහැකිවීම ගැන කනගටුවෙමි. නමුත් ඉදිරි අවස්ථාවක ප්‍රකාශයට පත්කරම සදහා ඒ සියල්ල පරිසමින් තබා තිබේ.

* නම් සදහන් කිරීමට අකමැතිවු නමුත් සහයදුන් සැමට ස්තුතියි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/11/2015.