Wednesday, 30 September 2015

රන්ජන් රාමනායකගේ වැඩිහිටියන්ට පමණක් කථා සහ අපරාධ පිළිබඳ සාකච්චා සහාසිකත්වටය සහයවීම.

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහලයන අපරාධ රැල්ල දැන් පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්ව ඇති අතර එය දැන් ප්‍රවෘත්තිවලින් එහාට ගමන්කර විවිධ රූපවාහිනී සාකච්චා වැඩසටහන් වල පවා ප්‍රධාන තේමාවක් බවට පත්ව තිබේ. 

එය එක් අතකින් අපරාධවලට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ සිට  අපරාධවලට පැමිණ වියහැකි උපරිම දඩුවම ලෙස මරණ දඩුවම පැමිණවීම දක්වා ද, අනෙක් අතින් සිය දුපතටම සීමා වී ප්‍රවෘත්ති නැතිව  ඇති රටේ ප්‍රවෘත්ති මැවීම දක්වාද ගමන්කර ඇත. 

ඉකුත්දා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දෙරණ වාදපිටිය වැඩසටහනේදී ළමයින් ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් වැඩිහිටියන්ට (පමණක්) පසුගිය සමයේ සිදුවූ ළමා මරණ ගැන අදහස් දැක්වීම මෙහි එක් කූටප්‍රාප්තියකි. එය ඉතා අනවශ්‍ය ලෙස ප්‍රේක්ෂකයන්ට කරුණු උලුප්පා දැක්වීමක් වූ අතර එවැනි ආකාරයේ අදහස් දැක්වීම් අපරාධ ගැන  මහජනයාට කරුණු ඉදිරිපත් කිරීමේදී අත්‍යවශ්‍ය ද යන්න එය නරබන කෙනෙකුට සිතේ(එය අවශ්‍ය කෙනෙකුට මෙතනින් දැකිය හැක).

රන්ජන් රාමනායක මහතාගේ අදහස් දැක්වීම් පමණක් නොවේ, පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ඕනෑම අපරාධක් සම්බන්ධයෙන් රටේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලද ක්‍රියාකල ආකාරය සහාසික බව මගේ අදහසයි. එය එක් අතකින් විපතටපත් පාර්ශ්වයට තවතවත් සිත්වේදනාවන් ගෙන දෙන අතර තවත් පිරිසකට කුතුහලයක්ද, යම් මානසික තෙරපුමක් ද, විවිධ මානසික ව්‍යාදීන්ගෙන් පෙලෙන්නන්ට ආනන්දයක් ද ගෙන දෙන බව පෙනේ. 

ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා මගින් අපරාධ සම්බන්ධයෙන් සිදුකරන සියළු ප්‍රවෘත්ති සහ  සාකච්චා යම් ආකාරයකට ප්‍රමිතිගත කලයුතුය. විශේෂයෙන්ම සන්නද්ධ කැරැලි දෙකකට සහ තිස් අවුරුදු යුද්ධයකින් අනන්ත අප්‍රමාණ මිනීමැරීම්, වධහිංසා පැනවීම් සහ විවිධාකාර සහාසිකත්වයන්ගෙන් බැටකෑ රටක මාධ්‍ය මෙන්ම, එයට සහභාගීවන පුද්ගලයන්ද මිනිස් ජීවිත සහ අපරාධ ගැන ප්‍රවෘත්ති සහ  සාකච්චා සම්බන්ධයෙන් අදහස් පළකිරීමකදී මෙයට වඩා සිතිය යුතුය. ආචාර්යධර්ම පද්ධතියක සිට අදහස් පලකලයුතුය. 

අද අපට ඇත්තේ එදා මනම්පේරී ඝාතනය වූ විට හෝ සමන් කුමාර දරුවා ඝාතනය වූ විට ලත වූ ආකාරයට ඉසුරු ප්‍රියා සහ බාල චන්ද්‍රන් ඝාතනය වූ විට ලත නොවූ සමාජයකි. 71 දී, 87-89 දී පාරවල් දෙපස මරා දැමු තරුණ තරුණියන් වෙනුවෙන් දුක්වූ සමාජය මෙන් නොව උතුරේ එවැනි දේ දැක සතුටුවූ සමාජයකි. එවැනි සමාජයක මිනිස් ජීවිත සහ අපරාධ ගැන  කරන ඕනෑ ප්‍රවෘත්තියකදී හෝ සාකච්චාවකදී අපට අවශ්‍ය වන්නේ සමාජය නැවත ප්‍රකෘතිමත් කරන මාධ්‍යයන්ය. 

වහල් සේවය සදහා අප්‍රිකානු ජනයා නිර්ධය ලෙස යොදාගත් ආකාරය සහ ඒ සමයේ අප්‍රිකානු ජනයා මුහුණදුන් හිංසනයන් ගැන මෙන්ම හිට්ලර්ගේ නාසී පාලන සමයේ යුදෙව් ජනයා මුහුණදුන් හිංසනයන් ගැන ද යලි යලිත් අමු-අමුවේ සාකච්චාවට ලක්කීරීම එම සමාජයන් තුල සහාසිකත්වය ප්‍රතිසමාජගත කිරීමක් යැයි බටහිර පිළිගත් මතයක් පවතී. ඒහින් එවැනි කරණා සම්බන්දයෙන් සිදුකරන අදහස් දැක්වීම් දැඩි අවදානයකින් කරනමෙන් එම රටවල මාධ්‍ය ආයතනවලට නිලවශයෙන් නීත්‍යනුකූලව දැනුම් දී තිබේ. 

එසේ නොවන සෑම අවස්ථාවකදීම සිදුවනුවේ අපරාධ පිළිබඳ ප්‍රවෘත්ති සහ සාකච්චා සහාසිකත්වටය කොයියම්ම ආකාරයකින් හෝ සහයදීමක් යැයි පිළිගැනේ. 

අපරාධ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සහ සාකච්චාවලදී එම ස්ථාවරය අපේ රටවලටද ගැලපෙන ලෙස පිළිපැදීමට දැන් කාලය එලබ ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
30/09/15.

පින්තූරය - Pieter Bruegel the Elder ගේ The Fall of the Rebel Angels (1562) චිත්‍රයය.


Friday, 25 September 2015

මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන් !!!!!!!


කුඩා ධීවර ගම්මානයක් වූ මීගමුව ලංකාවේ ප්‍රධාන නගර පහෙන් එකක් ලෙස වර්ධනයවීම ආරම්භවනුයේ පෘතුගීසින් පැමිණ එහි කොටුවක් ඉදිකර එතෙක් අරාබි වෙළෙදුන් කරගෙන ගිය කුරුදූ, පුවක්, ගම්මිරිස් සහ කරවල ආදී ද්‍රව්‍ය වෙළදාම ඔවුන් පලවාහැර අත්පත්කර ගැනීමත් සමගය. ඒ සමග එතෙක් මීගමුවේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද ද්‍රව්‍ය නැව් ගත්කල ප්‍රධාන නැව්තොටුපල පිහිටි කම්මල්තුරේ අත්හල පෘතුගීසින් වර්තමාන මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේ සිය කටයුතු සදහා වරායක් සහ කොටුවක් ඉදිකරන ලදී. කම්මල්තුරේ යන නම එම ප්‍රදේශයට ලැබෙනුයේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද නැව් ප්‍රතිසංස්කරණය කල කම්හල් එහි පැවති නිසා බව Cosme Jose Costa (1990) ගේ  ශාන්ත ජෝසප් වාස් / ශා. ජුසේවාස් ගමන් විස්තරවල සදහන් වේ - Life and achievements of blessed Joseph Vaz: Apostle of Canara and Sri Lanka)  

ආචාර්ය සුසන්ත ගුණතිලකගේ (2010) A 16th Century Clash of Civilizations: The Portuguese in Sri Lanka කෘතියට අනුව නම් පෘතුගීසින් අවස්ථා කිහිපයකදීම කම්මල්තුරේට, වර්තමාන පෝරුතොට හෙවත් පැරණි පාරුතොටට, ද්‍රවිඩ භාෂාවෙන් (ඇල මතින් ඉදිකළ) 'ලී පාලම' හෙවත් පළගාතුරෙයි (Palangathure) හෙවත් වර්තමාන පළගතුරේ යන ප්‍රදේශවල පිහිටි ඉදිකීරීම්වලට පහර දී කොල්ලකෑම් සිදුකර ධන-ධාන්‍ය රැගෙන ගෝවේට පලාගිය බව සදහන් වේ. 

කෙසේවෙතත් පෘතුගීසින් මීගමුව කුට්ටිදූව ආශ්‍රීත ප්‍රදේශයේ කොටුවක් ඉදිකළේ එය මීගමුව කලපුව සහ මුහුද යන දෙකම එකවර නිරීක්ෂණය කල හැකි නිසාත්, අවශ්‍ය අවස්ථාවකදී කලපුව දෙසට පලායාමේ හැකියාව  නිසාත් යැයි පෙනේ. පෘතුගීසින්ට කෙසේවුවද එම අවස්ථාව ලන්දෙසින්ට නම් 1640 පෙබරවාරියේදී උදාවෙන ලදී. ඒ මීගමුව කොටුව අල්ලාගැනීමට ලන්දෙසි කොමදෝරු Philip Lucasz එල්ල කල පළමු ප්‍රහාරයේදී පෘතුගීසින්ගේ ප්‍රතිප්‍රහාරයන්ගෙන් බේරීමට ඔවුන් මීගමු කලපුවට ඇතුල්වූ විටය. ලන්දෙසි කොමදෝරු Philip Lucasz ගේ නෞකාව මීගමු කලපුවේ කොටුවන බව පෘතුගීසින් සිතාසිට ඇත. 

එහින්  මීගමු කලපුව මුහුදට වැටෙන මෝයකට අවට ඔවුන් රැකවල්ලා සිට ඇත. එහෙත් එවකට මීගමුව කොටුව භාරව සිටි පෘතුගීසි සෙනවියා වූ සෙබස්තියන් කස්ටලි ලාන්සා (Sebastian Castelli Lanza) පුදුමයට පත් කරමින් ලන්දෙසි කොමදෝරු Philip Lucasz මීගමුව කලපුවේ මුහුදට පිහිටිලා පිහිටි පටු ස්ථානයකින් ඇලක් කපා නැවත මුහුද දෙසින් පැමිණ මීගමුව කොටුව අල්ලාගෙන තිබේ. අනතුරුව ලන්දෙසි එහි සිටි සියළුම  පෘතුගීසි සෙබළුන් අනුකම්පා විරහිතව කපාකොටා මරා දැමු බවත් සෙබස්තියන් කස්ටලි ලාන්සා (Sebastian Castelli Lanza) ඇතුළු කිහිපදෙනෙක් පලාගිය බවත් ජේසු නිකායික පූජකවරුන්ගේ සටහන් වල සදහන් වී තිබේ (Charles Ralph Boxer (1958) 'Christians and spices' / 'Portuguese missionary methods in Ceylon, 1515-1658'). මෙලෙස මීගමුව කලපුවේ මුහුදට පිහිටිලා පිහිටි පටු ස්ථානයකින් ඇලක් කැපු ප්‍රදේශය වර්තමානයේ ද  හදුන්වනුයේ කැපුන්ගොඩ නමිනි. අද එය මීගමුව තලාහේන පේරුවේ සහ දුන්ගාල්පිටිය අසල පිහිටි ගම්මානයකි.
මීගමුව කොටුව සහ ඒවට ප්‍රදේශයේ වටිනාකම අවබෝධකරගත් ලන්දෙසින් 1644 ජනවාරියේදී Francois Caron ගේ නායකත්වයෙන් මීගමුවේ සිය බලය තහවුරු කරගැනීමත් සමග මීගමුව කොටුව සහ අවට ප්‍රදේශය නාගරික කලාපයක් ලෙස දියුණු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව මීගමුව කොටුව වටා දිය අගලක් ද මීගමුව කලපු ඉවුරේ බැම්මක්ද, මීගමුව කොටුවේ සිට නගරය දෙසට දිවයන සේ තිරස් සහ සිරස් මාවත් තුනක්ද ඉදිකල බවට 1744 දී ජොහාන් වුල්ෆ්ගන් හෙයෙද්ට් (Johann Wolfgang Heydt) අදින ලද ඉහත චිත්‍රය  මෙන්ම Ron Van Oers (2000) ගේ 'Dutch Town Planning Overseas During VOC and WIC Rule (1600-1800)' කෘතියද සාක්ෂිදරයි. සිරස් අතට දිවගිය මාවත් වැල්ලවීදිය (Sea Street),  මහ වීදිය (Main Street), මුදලියාර් පාර (Mudaliyer  Road) ලෙස නම් කර තිබු අතර තිරස් අතට දිවගිය මාවත් පළමුවන, දෙවන සහ තුන්වන හරස් වීදි (Cross Streets) ලෙස හදුන්වන ලදී.
1796 පෙබරවාරි මාසයේදී මීගමුව ඉංග්‍රීසි පාලනයට නැතිවීමත් සමග මීගමුව කොටුවේ දකුණු සහ නැගෙනහිර  කොටස් පමණක් ඉතුරුකර, සෙසු කොටස් කඩා මීගමුව කොටුව නැවත සකස් කර එය සිරකදවුරක් බවට පත්කලද, ලන්දේසීන්ගේ නගර සැලැස්මට හානියක් නොකරන ලදී. ඒ වෙනුවට මීගමුව කොටුවේ සිට නගරය දෙසට දිවයන සේ ලන්දේසින් ඉදිකළ සිරස් මාවත් තුනට තවත් සිරස් මාවත් දෙකක් ඉදිකරන ලදී. ඒ මීගමුව පැරණි වරාය ආශ්‍රිතව පැවති රේගු සහ ගුදම් ගබඩා වලට ගිය 'ගුදම් පාර' (Customs House Road) සහ වෙරල අයින දිගේ දිව ගිය ජෝර්ජ් රජ මාවතත්ය (King George Drive).  ඉහත සදහන් කල නගර සැලසුම් අද ද මීගමු නගරයේ දැකිය හැකි බව මෙම සිතියම් දෙස බැලීමේදී පෙනේ. 
1909 වන විට මීගමුව නගරය මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේ සිට තවත් සැතපුම් 02ක් දුරට පැතිර ගියද මීගමුව කලපුව වටා දිවගිය කලපු ඉවුරේ බැම්ම තවදුරටත් ශක්තිමත්ව පැවති බව Henry William Cave ගේ (1910) 'The Ceylon Government Railway' කෘතියේ එන මෙම ලිපියේ මුල්ම  ඡයාරූපයේන් තහවුරුවේ.
එදා මීගමුව නගරය ගොඩනැන්වූ නගර සංවර්ධන සැලැස්ම අද මීගමුව නගරයේ අනවසර ඉදිකිරීම් සහ දේශපාලන බල අධිකාරීන්ගේ මැදිහත් වීම් මගින් සිදුකල අවධිමත් ක්‍රියාමාර්ග නිසා සම්පුර්ණයෙන්ම විනාශ වී  ගොසිනි. ලන්දේසින් ඉදිකළ මීගමුව කලපුව වටා දිවගිය කලපු ඉවුරේ බැම්ම කඩා දමා ඇතමුන් එහි නිවෙස් තනා ඇත. තවත් කොටසක්  චීන අවන්හල් හිමියකුගේ බුක්තියට පවරා දී ඇත. අදට ද එංගලන්තයේ වෙයිමෞවුත් (Weymouth) මුහුදු වෙරළ පින්තූරයේ දකිනවිට මගේ පියා පවසනුයේ මීගමුව කොටුවපිටිය අසල මුහුදු වෙරළ ද පැවතියේ ඒ ආකාරයටම බවයි. එකල සෙනසුරාදා සහ ඉරිදාට දහස් ගණන් ජනයා ළමා ලපටීන් සමග කරදිය පෑගීමට පැමිණි මීගමුව කොටුවපිටිය අසල මුහුදු වෙරල අද කරවල මුදලාලිලා කිහිපදෙනෙකු කරවල විකිණීමට යොදාගෙන සම්පුර්නයෙන් විනාශ කොට තිබේ. 

නව රජය විසින් පිහිටවීමට යනවා යැයි කියන මීගමු සංවර්ධන කමිටුවේ නායකත්වය ලබාගැනීම සදහා මීගමු එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් ප්‍රනාන්දු සහ අමාත්‍ය නිමල් ලාංසා අතර බල අරගලයක් හටගෙන ඇතැයි පුවතක් කියවුවෙමි. එහෙත් මේ සංවර්ධන කමිටුව මීගමුව සංවර්ධනය කිරීමට ඉදිරිපත් කරන සැලැස්ම කුමක්දැයි අපි සියල්ලන්ම ඉතා ඕනෑකමින් බලා සිටිමු. මේ වනවිටද මීගමුව නගරය වර්ග කිලෝමීටර් 5-7 අතර පරාසයකට පැතිර ගොස් තිබේ. ඒහින් එය කොටස් කිහිපයකට බෙදා සංවර්ධන කිරීම උචිතය. විශේෂයෙන්ම, 

1. පැරණි මහාධිකරණ උසාවි සංකීරණය කෞතුකාගාරයක් බවට පත්කර, පැරණි මීගමුව කොටුව, දෙවන එලිසබෙත් මහ රැජින පවා පැමිණි මීගමුව නව තානායම,  පැරණි ලන්දේසි නිවාස පිහිටි ප්‍රදේශය, මීගමුව පැරණි තානායම,  සහ ඒවට කලපු තීරයත් මීගමුව පෞරාණික නගරය (Ancient Quarter) ලෙසද,

2.  මීගමුව ලුවිස් පෙදෙස ආශ්‍රිත ප්‍රදේශය සංචාරක පුරවරය ලෙසද (Tourist Quarter),

3.   මීගමුව නගර මාධ්‍ය වානිජ්‍ය නගර මාධ්‍ය ලෙසද (City Centre),

4. මීගමුව ලෙල්ලම, මාළු වෙළද සංකීරණය සහ මීගමු කලපුවේ දුපත් ධීවර සහ කරවල නිෂ්පාදන ප්‍රදේශ ලෙසද (Fisheries Quarter),

5. සෙසු ප්‍රදේශ නාගරික ජනයා ජීවත්වන කලාපය හෙවත් (Residential Quarter) ලෙසද,   

සංවර්ධනය කිරීම උචිත බව මගේ අදහසයි. 

ඒ සියල්ලටම පෙර මීගමුව කොටුව පිටිය අසල පිහිටි සුන්දර වෙරල තීරය කරවල මුදලාලිලා කිහිපදෙනාගෙන් බේරාගෙන, ඔවුන්ට මීගමුව කලපුවේ දුපතක් හෝ වෙන්කරදී, නැවතත් එංගලන්තයේ වෙයිමෞවුත් (Weymouth) මුහුදු වෙරළ සේ සුන්දර වෙරල තීරයක් බවට පත්කරන්නේ නම් මීගමුවට වසන්තය පැමිණෙන බව නොවරදවාම කිවහැක. 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
25/09/2015.

Wednesday, 9 September 2015

මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා !!!!


ඉහතින් දක්වනුයේ 1909 දෙසැම්බර් මස 01 වෙනි බදාදා දින මීගමුව දුම්රිය ස්ථානය ප්‍රථමවරට විවෘත කල දිනයේදී ගනු ලැබූ ඡයාරූයකි. ඉන් පසු වර්ෂයේ, එනම් 1910 වර්ෂයේම, බ්‍රිතාන්‍යයේ Cassell and company limited ආයතනය මුද්‍රණය කර ඇති Henry William Cave ගේ “The Ceylon Government Railway” කෘතියේ 232 පිටුවේ පල කල මේ ඡයාරූපය සහ තවත් ඡයාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයට අදාල තොරතුරු රැස්කර ඇති ලේඛනාගාරවල තවමත් සුරක්ෂිතව තිබේ. 

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය යටතේ ලංකාවේ ප්‍රවාහන සේවයට දුම්රිය එක්වීමත් සමග මීගමුවට ද දුම්රිය මාර්ගයක් අවශ්‍ය බව මුලින්ම ප්‍රකාශකර ඇත්තේ 'පහත රට වැවිලිකරුවන්ගේ සංගමය' විසිනි. ඒ 1880 අගභාගයේ දීය.  මීගමුවේ පදිංචිව සිටි පැරණි ව්‍යාපාරික පවුලක් වූ  'ද කෘස් (de Croos) පවුලේ සහෝදරයින් 'පහත රට වැවිලිකරුවන්ගේ' සංගමයේ ප්‍රබල ක්‍රියාකරුවන් වූ විට මීගමුවට දුම්රිය මාර්ගයක් දිනාගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කර තිබේ. 

එයින් ඔවුන්ට ඔවුන්ගේ පොල්, කොප්පරා සහ කුරුදු කොලඹට ප්‍රවාහනය කිරීමේ වාසිය සැලසෙනවා මෙන්ම බස්නාහිර පළාතේ කොලඹට පසු පැවති විශාලතම නගරය වූ මීගමුවට තවදුරටත් අංග සම්පුර්ණ නගරයක් ලෙස දියුණුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙන ලදී. 
මේවන විටත් කොලඹ-නුවර දුම්රිය මාර්ගය යටතේ  1864 දෙසැම්බර් 27 වන දින බ්‍රිතාන්‍යයන් විසින් හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය නමින් වර්තමාන  ගම්පහ දුම්රිය ස්ථානය පිහිටා ඇති (ඒ වනවිටත් ගම්පහ නගරයක් ලෙස වර්ධනය වී නොතිබිණි) ස්ථානයට නොදුරින්ද, රාගම හන්දියේද දුම්රිය ස්ථාන ගොඩනගා තිබුනද බ්‍රිතාන්‍යයට එම දුම්රිය ස්ථානවලින් සැලකියයුතු අදායමක් නොලැබේන ලදී. 

එහෙත් 'පහත රට වැවිලිකරුවන්ගේ' සංගමයේ ඉල්ලීම් මල්පල ගන්වමින් 1907 ජුලි මස 03වන දින හෙන්රි ආතර් බ්ලේක් (Sir Henry Arthur Blake) ආණ්ඩුකාරයා විසින් මීගමුව දුම්රිය මාර්ගයට මුල්ගල තබන ලදී. ඉන් වසර 02කට පසු, එනම් 1909 දෙසැම්බර් මස 01 දින, මීගමුව දුම්රිය ස්ථානය විවෘත කලවිට එතෙක් මීගමුවේ සිට කරත්ත සහ පාරු මගින් කොළඹට ගෙන ගිය පොල්, කොප්පරා, කුරුදු සහ කරවල මීගමුවේ සිට දුම්රිය මගින් කොළඹට ගෙනයාම අරබන ලදී. රාගමින් ප්‍රධාන දුම්රිය මාර්ගයට එක්කල මීගමුව-කොළඹ දුම්රිය මාර්ගයේ කදාන, ජා-ඇළ, සීදුව සහ කටුනායක යන ප්‍රදේශවලද දුම්රිය ස්ථාන පිහිටුවා තිබු අතර එම ප්‍රදේශවල ප්‍රාදේශීය නිෂ්පාදන ද  මෙම මාර්ගය ඔස්සේ කොළඹට ප්‍රවාහනය කල බව Henry William Cave ගේ “The Ceylon Government Railway” කෘතියේ 231 පිටුවේ සදහන් වේ. 
තවද මීගමුව ගැන පිටු දෙකක වර්ණාවක් කරන  Henry William Cave දක්වනුයේ මීගමුව යනු මල්, පලතුරු වලින් පිරි, හරිත වර්ණ, පිරිසිදු චිත්‍රසදෘශ්‍ය, නැතහොත් චිත්‍රාකාර, දර්ශනීය නගරයක් වන බවයි (Negombo is one of the most  picturesque towns in Ceylon). දිස්ත්‍රික්කයක් ලෙස මීගමුව කෙතරම් සශ්‍රීකද, කෙතරම් හොදින් පාලනය වන්නේ දැයි Henry William Cave ඉදිරිපත් කරන විස්තරය සහ අද මීගමුව නගරය මුහුණපා ඇති ඉරණම ලෙස බැලූවිට ඉතාමත් කනගාටුවක් සිතට දැනේ. 
විසිවන සියවසේ මුල්කාලයේදී මීගමුව නගරයේ සිදුවූ සීග්‍ර වානිජ්‍ය සහ වෙළද ව්‍යාපාරවල වර්ධනයට මීගමුව දුම්රිය මාර්ගය මහත් ආශිර්වාදයක් වූ අතර එය 1926 දී පුත්තලම දක්වා දීර්ඝකරන ලදී. මුලින්ම ඉදිකළ මීගමුව දුම්රිය ස්ථානය 1970 දශකයේදී තවදුරටත් විශාලකර එය වේදිකාවන් 03ක් සහ ගුවන්පාලමක් සහිත දුම්රිය ස්ථානයක් බවට පත්කරන ලදී. 

එකසිය පස්වසරක් (105) සපුරා ඇති මීගමුව දුම්රිය ස්ථානයට සිදුකල එකම නවීකරණ ක්‍රියාවලිය එය වූ අතර අදටත් දිනකට 8,000 කට වඩා භාවිතාකරන මීගමුව දුම්රිය ස්ථානය නුතන යුගයට ගැළපෙන ලෙස නැවත නවීකරණය කිරීමට දැන් කාලය පැමිණ තිබේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
09/09/2015.

Thursday, 3 September 2015

Mystic Pizza සහ காக்கா முட்டை (Kaaka Muttai/කාක මුට්ටයි) Pizza


1988 දී තිරගතවූ Mystic Pizza නම් ඇමරිකානු චිත්‍රපටිය ද, මේ දිනවල දකුණු ඉන්දියාවේ පමණක් නොව ලොව පුරාම වෙසෙන දෙමල චිත්‍රපටි රසිකයන් අතර වඩාත්ම කථාවට ලක්ව ඇති காக்கா முட்டை (කාක මුට්ටයි) හෙවත් කාක බිත්තර නම් දෙමල චිත්‍රපටිය ද නව ගෝලීය ප්‍රාග්ධන සමුච්ච්න ක්‍රියාවලිය විසින් සංස්කෘතිකකරණය කල ආහාරයක් වන පීසා (Pizza) කෑම වටා දිවයන චිත්‍රපටි දෙකකි. 

දහනවන සියවසේ ඉතාලියේ නාපෝලි (Naples) පළාතේ ගැමියන් අතර ප්‍රචලිත සරල ආහාරයක් වූ පීසා (Pizza) දෙවන ලෝක යුද්ද සමයේ ඇමරිකාවට සංක්‍රමණය වූ ඉතාලි ජනයා විසින් ඇමරිකාවට හදුන්වා දෙන ලදී. ඉතාම කෙටිකලක් තුල ඇමරිකාවේ මිලියන 40 කට වඩා වැඩි පිරිසක් රසබැලූ ආහාරයක් ලෙස ජනප්‍රිය වන පීසා (Pizza) කෑම, අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත ගෝලීය ආහාරයක් වනුයේ 1958 දී ෆ්‍රෑන්ක් සහ ඩීන් කාර්නි (Frank and Dan Carney) සොහොයුරන් ඇමරිකාවේ 'විචිටා' විශ්ව විද්‍යාල භුමියේ(Wichita State University) අරම්භ කල 'Pizza Hut' අවන්හල් 1977 දී පෙප්සි කෝලා (PepsiCo) සමාගම මිලදී ගැනීමත්, ඩෝමිනෝස් (Domino's) සහ පපා ජෝන්ස් (Papa Johns)  නම් Pizza (පීසා) අවන්හලවල් බෙයින් කැපිටල් (Bain Capital) ආයතනය මිලදී ගැනීමෙන් අනතුරුවය. ඉන් අනතුරුව Pizza (පීසා) සමග ප්‍රවර්ධනය වූ නව සමාජ-සංස්කෘතික සබදතා කොයි ආකාරයක් ගනිනේ දැයි යන්න ගැන යම් අදහසක් ඉහත චිත්‍රපටි තුලින් ගම්‍ය කරගත හැක.

 Mystic Pizza නම් ඇමරිකානු චිත්‍රපටිය, ඇමරිකාවේ Connecticut ප්‍රාන්තයේ වෙරළ අද්දර පිහිටි පෘතුගීසි ජනයා බහුලව වෙසෙන Mystic නම් ධීවර ගම්මානයේ වීවෘත කල කුඩා Pizza Hut අවන්හලක සේවය කිරීමට පැමිණෙන නව යොවුන්වියේ පසුවෙන කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිතය ඇසුරින් දිග හැරෙන්නකි. ජීවිතයේ විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීමට Pizza (පීසා) අවන්හලේ සේවයට පැමිණෙන මෙම තරුණියන් තිදෙනාගෙන් කෙනෙකුගේ අරමුණ වන්නේ යේල් (Yale University) විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමට මුදල් සොයා ගැනීමය. තව කෙනෙකුගේ අරමුණ වන්නේ තම පෙම්වතා සමග විවාහ වී යහපත් පවුල් ජීවිතයක් ගත්කිරීමය. අනෙකාගේ අරමුණ වන්නේ සුදුසු සහකරුවෙකු සොයාගැනීමය. 

එහෙත් සුදුසු සහකරුවෙකු සොයාගත්ත ද Pizza (පීසා) අවන්හලක සේවයකරන තමාගේ සමාජ තත්වය එයට හරස්වෙන අවස්ථාවන්ද යෙදෙන බව තම පෙම්වතාගේ නිවසේ රාතී‍්‍ර ආහාරයකට ගිය ඇයට ඒත්තුගැන්වේ. එහෙත් ඒ හැලහැප්පීම් හමුවේ සිය ඉල්ලකයන් කරායැමට මේ තරුණියන්ට හැකිවෙන අයුරැ චිත්‍රපටය අවසානයේ පෙන්නුම් කරයි. එය තමන් කුමන ජාතියකට අයත් වුවත්, කුමන රැකියාවක නිරතවුවත්, ජිවිතයේ මොනතරම් හැලහැප්පීම් සිදුවූවත් තමතමන්ගේ ජීවන අරමුණු කරායෑමට අමෙරිකානු සමාජයේ ඕනෑ තරම් ඉඩඇති බව ප්‍රේක්ෂකයාට ඉදිරිපත්කරන බවක් පෙන්වයි. එක් අතකින්  Mystic Pizza චිත්‍රපටිය Pizza (පීසා) ත්, Pizza Hut අවන්හල් වල සේවය කරන්නන්ගේ සමාජ-ජීවන අරගලයත්, ඇමරිකානු සමාජයේ එක් පැතිකඩ කුත්, ජුලියා රොබට්ස් (Julia Roberts) නම් ඇමෙරිකානු නිළියත් ලෝකයට හොදින් හදුන්වාදුන් චිත්‍රපටියකි.


අනෙක් අතට,  காக்கா முட்டை (කාක මුට්ටයි) චිත්‍රපටිය පියා සිරගතව ඇති පවුලක, දිළිදු මවගේ සහ අචිචිගේ රැකවරණය ලබමින් චෙන්නායි (පැරණි මදුරාසිය / Madras ) නගරයේ කොන්ක්‍රීට් පැල්පතක වෙසෙන ළමයින් දෙදෙනෙකුගේ පීසා කෑමට ඇති ආශාව කේන්ද්‍ර කරගනිමින් දිග හැරෙන චිත්‍රපටියකි. ඇම්. මනිකනාදන් (M. Manikandan) නම් නවක අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටිය තවත් සම්මාන දිනු අධ්‍යක්ෂකවරයෙක් වන විට්ට්‍රිමාරන් (Vetrimaaran) සහ දකුණු ඉන්දියාවේ දැන් ජනප්‍රියම නළුවා මෙන්ම 2011 දී රංගනය පිළිබදව ඉන්දියානු ජාතික සම්මානය දිනූ නළුවා ද වන ධනුෂ් (Dhanush) විසින් මුදල් වියදම් කර නිපදවූ චිත්‍රපටියකි.

ටොරොන්ටෝ, රෝම්, ඩුබායි සහ තවත් ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලවල් ගණනාවක්ම නියෝජනය කර සුවිශේෂ විචාරක ඇගයීම් වලට ලක්ව තිබීම නිසාම මෙම චිත්‍රපටිය  ඉන්දියාවේ නිල වශයෙන් එළිදැක්වූ දිනයේම (05/06/15) දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගැනීමට සමත්වූ අතර තිරගතවී සතියක් යාමටත් මත්තෙන් චිත්‍රපටිය නිපදවීමට වැය වූ මුළු මුදල උපාය දීමට සමත්වූ බව වාර්තා වේ. අනෙක් අතට, එය ළමා චිත්‍රපටිය ලෙස වර්ගකර තිබීම තුල මෙම චිත්‍රපටිය මේතාක් සිදුකල ඉපැයිම් වාර්තාගත තත්වයට පත්ව තිබේ.  

එහෙත් මෙම චිත්‍රපටියට හිමිවී ඇති ස්ථානය තීරණය කිරීමෙහිලා වඩාත් බලපා ඇති කාරණය වන්නේ එයට හිමිවී ඇති ඉහල විචාරක ඇගයීම්ය. බොහෝ  විචාරකයින්ට අනුව මෙම චිත්‍රපටිය ප්‍රේක්ෂකයාව 'මායාව තුල ගිල්වනු වෙනුවට යථාර්ථය තුල ජීවත් කිරීමට වෙර දරන චිත්‍රපටියකි'. ගෝලීය ප්‍රාග්ධනයට ඉන්දියානු දොරටු විවර කිරීම හරහා පැමිණෙන නව පාරිභෝජන සහ සංස්කෘතික රටා මගින් සමුච්ච්නය වන නව ලිබරල් ප‍්‍රාග්ධනය විසින් හසුරුවන මිනිස් ආශාවන්, අයිතින්, ජනමාධ්‍ය, දේශපාලන ක්‍රියාකාරීත්වයන්, සමාජ ඇගයුම් සහ වටිනාකම් පිළිබඳව ඉතා සරලවත්, පොදුවේ කාටත් තේරුම් ගතහැකි අයුරකිනුත් සමාජගත කිරීමට මෙම චිත්‍රපටිය සමත්වීම ඉහත සදහන් කල විචාරක ප්‍රතිචාරයන්ට හේතු වූ බව පෙනේ. 

චිත්‍රපටියේ කථාවට අනුව දිළිදුකම නිසා පාසැල් නොයන ළමයින් දෙදෙනාගේත්, මවගේත් මුල්ම පැතුම වනුයේ සිරගතවී ඇති (හේතුව නොදන්වයි) සිය පියා සහ සැමියාව නිදහස් කරගැනීම සදහා නීතීඥයන්ට ගෙවීමට මුදල් සොයාගැනීමය. මව කුඩා බෙලෙක් කම්හලක වැඩ කරන අතර දරුවන් රේල් පාරේ වැටී ඇති ගල් අගුරු එකතුකර විකුණමින් ඉහත පැතුම සාක්ෂාත් කරගැනීමට වෙහෙස වේ. හරි හමන් කෑමක් නැති මෙම දරුවන් අවශ්‍ය ශක්තිය (ප්‍රොටීන්) සපයා ගැනීම සදහා අසල ඉඩමක බෝගසේ ඇති කාක කුඩුවේ කකා බිත්තර බීම පුරුද්දක් කරගනී. එම නිසාම මෙම ලමයින්ට ලොකු කාක බිත්තරය (පෙරිය මුට්ටයි) සහ කුඩා කාක බිත්තරය (සින්න මුට්ටයි)  ලෙස නම්  පටබැදේ. ක්‍රමයෙන් විකසිත වන මෙම කුඩා දරුවන් මුලින්ම සෙල්ලම් බඩු ඉල්ලමින් සිය මවට කරදර කරන අතර පසුව රූපවාහිනී යන්ත්‍රයක්  ලබාදෙන මෙන් සිය මවට ඇවිටිලි කරයි. සිය මවට මෙන්ම අචිචිටද ප්‍රදේශයේ දේශපාලකයෙකුගෙන් සහන මිලට රූපවාහිනී යන්ත්‍ර දෙකක්ම ලැබීම තුල එම ප්‍රශ්නය විසදාගැනීමට හැකිවන මුත්  රූපවාහිනී යන්ත්‍රය තවත් ඉල්ලීම් ගණනාවක්ම ජනිත කරන්නක් වේ. ඒ අතර  නවතම ආහාරයක් වන පීසා (Pizza) ඔවුන්ගේ සිත්සතන් වෙලා ගන්නා අතර ඔවුන් කාක බිත්තර බිව් බෝගස කපා එම ඉඩමේ  පීසා අවන්හලක් ඉදිකිරීමත් සමග එතෙක් රූපවාහිනීයෙන් දුටු  Pizza සැබෑ ඇසින් දැක ගැනීමටත්, සියල්ල පසක තබා 'Pizza එකක් කෑම' සිය අරමුණ කරගැනීමටත් මෙම කුඩා දරුවන් පෙලබේ.  

එහෙත් එය එතරම් පහසු කටයුත්තක් නොවේ. මන්දයත්, දවසකට රුපියල් 10ක මුදලක් ගල් අගුරු එකතුකර විකුණමින් උපයන මෙම කුඩා දරුවන්ට ඉන්දියානු රුපියල් 300 වන පීසා එකක් කෑම මහත් අභියෝගයක් වන බැවිනි. දරුවන්ගේ ආශාව වටහාගන්නා ආච්චි තෝස පදම මත එළවලු අතුරා පීසා ප්‍රචාරක පත්‍රිකාවල පෙන්වන පීසා හා සමාන තෝසයක් සකස් කර දෙනමුත් එය පීසා මෙන් (මසොරෙල්ලා (Mozzarella cheese) වැනි චීස් නැති නිසා) ඇදෙන්නේ නැතයැයි කියමින් දරුවන් එය ප්‍රතික්ෂේප කරයි. එතෙක් පටන් මෙම කුඩා දරුවන්ගේ ඒකායන අරමුණ වන්නේ කෙසේ හෝ පීසා එකක් මිලදී ගැනීමය. ඒඅනුව ඔවුන් ගල්අගුරු හොරකම් කර විකිණීම, බේබද්දන්ව කුඩා කරත්තයක තබාගෙන ගොස් ගෙවල් වලට ඇරලීම, තාප්ප පිරිසිදුකර මුදල් සොයා ගැනීම ආදී කටයුතු වල නිරතවේ.

අවසානයේ අවශ්‍ය මුදල සොයා ගත්තද පීසා අවන්හලට මෙම දරුවන් වැද්ද නොගනුයේ ඔවුන්ගේ කිලිටි  ඇදුම් එහිලා නොගෙලපෙන බව එහි ආරක්ෂකයා දන්වන බැවිනි. එය පීසා කෑමට නම් එහි හා බැදී සෙසු සංස්කෘතික අංග-උපාංග ද අනිවාර්යය යන්න මෙම කුඩා දරුවන් පසක්කරදේ. පීසා කෑමට මුදල් ඇති මෙම දරුවන් අනතුරුව හොද ඇදුම් සොයා සුපිරි සාප්පු සංකීර්ණයක් ලගට ගියද  ඔවුන් එහි ඇතුල් නොවෙනුයේ එයින් ඔවුන් එලවා ගනු ඇතැයි යන බිය නිසාය. එහෙත් පසුව ඔවුන් සුපිරි සාප්පු සංකීර්ණයෙන් ඇදුම් මිලට ගෙන පැමිනේන 'වීදියේ කෑම' ප්‍රිය කරන තවත් කුඩා ළමයින් දෙදෙනෙකු සමග  'වීදියේ කෑම' සහ ඔවුන් මිලදී ගත් ඇදුම් හුවමාරු කරගනිමින් එම බාධකයද ජයගනී.  එය එක් අතකින් මුදල් ඇති එකා සාමාන්‍යයෙන් පාරේ විකුණන 'වීදියේ කෑම' රසවිදීමටත්, මුදල් නැති එකා සුපිරි කෑම රසවිදීමටත් යොමුකරවන විෂම ආශාවන් සහ පන්ති විඥනයන් සිහිකැදවන්නකි. එහෙත් නැති එකාට එහි ඇති අභියෝගය කෙබදුද යන්න සිහිකැදවන්නේ චිත්‍රපටියේ ඉන් අනතුරුව දිගහැරෙන කොටස්වලිනි.

අවශ්‍ය මුදල් සහ ඇදුම් පැලදී මේ කුඩා දරුවන් පීසා කෑමට නැවතත් පීසා අවන්හලට යනමුත් එහි ආරක්ෂකයා මෙම කුඩා දරුවන්ට පහරදී එලවනුවේ මුදල් තිබුනද, ඇදුම් තිබුනද පීසා කෑමට පැමිණීමට උබලා කවුදැයි සරදම් කරමින්. බලාපොරොත්තු කඩවන මෙම කුඩා දරුවන් හිස්ලුලු අත දිවයන අතර මෙම සිද්ධීය වීඩියෝ කරගැනීමට තවත් කුඩා දරුවන් පිරිසක් සමත්වේ. එම වීඩියෝව අත්කරගන්නා වැඩිහිටියන් දෙදෙනෙකුකගෙන් එක් අයකු එය පීසා අවන්හල් හිමියාට පෙන්වා මුදල් සොයාගැනීමට යන අතර අනෙකා එය රූපවාහිනී නාලිකාවකට විකුණා මුදල් සොයාගනී. ඒ සමග පීසා කෑමට පැමිණි දිළිඳු දරුවන්ට පහර දී එලවා දැමීම ජාතික ප්‍රශ්නයක් ලෙස ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවල විකාශනය කරන අතර මාධ්‍ය ඔස්තාර්ලා සහ බුද්ධිමතුන් ප්‍රශ්න කරනුයේ මුදල් ගෙවා හෝ සාමාන්‍ය ජනයාට පීසා (Pizza) අවන්හලකට ගොඩවී කෑමක් කෑමට නොහැකිද ? ඇමෙරිකාවේ, යුරෝපයේ සහ වෙනත් බටහිර රටවල සාමාන්‍ය ජනයාට එසේ කිරීමට හැකි නම් ඉන්දියාවේ අපිට එසේ කල නොහැක්කේ මන්ද? යනුවෙනි. සිද්ධීයට මුහුණදුන් කුඩා දරුවන්ට පවා නොදැනුවත්වම ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවලින් ජාතික දේශපාලනයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්කල ඔවුන්ගේ ප්‍රශ්නය විසදෙනුයේ, පොලිසියේ මැදිහත්වීමෙන් සොයාගන්නා  කුඩා දරුවන් දෙදෙනාව රතුපලසකින් පීසා (Pizza) අවන්හලක්ට කැදවා ඔවුන්ට පීසා සංග්‍රහයකින් සැලකීමෙනි. තම පීසා (Pizza) අවන්හලට ලැබුණු විශාල මාධ්‍ය ආවරණය හමුවේ මාධ්‍ය ඉදිරියට පැමිණෙන පීසා (Pizza) අවන්හල් හිමියා කියා සිටිනුයේ  පීසා (Pizza) දුප්පත් පොහොසත් සැමට රසවිදිය හැකි ආහාරයක් බවත් එය කෑමට පොහොසතෙක්ම වීමට අවශ්‍ය නැති බවත්ය. එහෙත් අපමණ උත්සයකින් අනතුරුව පීසා (Pizza) එකක රසබලන ඉහත සදහන් කල ළමයින් දෙදෙනා පීසා (Pizza) අවන්හලෙන් පිටවී යන්නේ 'ඒවා තමන්ගේ ආචීචී  තෝස පදම මත එළවලු අතුරා පිසූ පීසා තරම්වත් රස නැතියි' කියමිනි.

 ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලියට හසුව සංස්කෘතිකකරණය වූ ඇමෙරිකාවේ, යුරෝපයේ සහ බටහිර සාමාන්‍ය ජනයාගේ වීදී ආහාරයන් ආසියානු-අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපයේ අඩු දියුණු රටවලට පැමිණෙන විට සුපිරි ආහාරයක් වන්නේ කුමන ආකාරයකට ද ? ඒමෙන්ම විශාල මුදලක් ගෙවා, මහත් ආයාසයෙන් ඒවා රස බලන එම ජනයාට තම තමන්ගේ පුරුදු ආහාර මෙන් ඒවා රස නැත්තේ ඇයි දැයි ? යන විවිධ පැතිකඩයන් මෙම  காக்கா முட்டை (කාක මුට්ටයි) චිත්‍රපටියෙන් හොදාකාරව පෙන්නුම් කරයි. එය එක්තරා ආකාරයකින් ලංකාවේ ඇතැම් කොටස් වලට මැක් ඩොනල්ඩ් (McDonalds), KFC, පීසා (Pizza) ආදිය සුපිරි කෑම වෙන්නේ කෙසේද ? ඒවායින් කෑවද, ඇතැම් කොටස් වලට, ඒවා හොද්දක්-බතක් තරම්වත් රස නැති සේ දැනේන්නේ  ඇයි වැනි පැතිකඩයන් පෙන්නුම් කරන්නකි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
(03/09/2015)